දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සජබ විරුද්ධයි

90

ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා කරන්නේ නම් ඊට වහාම විරුද්ධවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පෙරේදා (19දා) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේ මෙම තීරණය ගත් බව සජබ මන්ත්‍රීවරයෙක් ‘දිවයින’ට පැවසීය.

කොටස් වෙළෙඳපොළ වසා දමා හෝ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ආණ්ඩුව ක්‍රියා කරන බවට සහ ඒ සඳහා ලබන සතියේදී විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දින 02ක් පවත්වනු ඇති බවට පක්ෂයට ලද තොරතුරක් මත එම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම කරුණ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියකින් තොරව අයිඑම්එෆ් අරමුදලෙන් රටවල් 11ක් මේ වන විට ණය ලබා ගෙන ඇති අතර ඊට බංකොලොත් රටවල් 05ක් ද ඇතුළත් වන බැවින් මෙරට ද අයිඑම්එෆ් ණය ලබා ගැනීමට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අවශ්‍ය නොවන බව එම පක්ෂයේ අදහස වී තිබේ. විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය කළද ඒ ආකාරයෙන් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ගියහොත් මෙරට බැංකු පද්ධතියට සහ ජනතාවට සිදු වන හානිය සම්බන්ධයෙන් සජබ මන්ත්‍රීවරුන් දීර්ඝ වශයෙන් එහිදී අදහස් දක්වා ඇත.

එම දීර්ඝ සාකච්ඡාවෙන් පසු පක්ෂය එම තීරණය ගත් බව ඉහත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේය. ආණ්ඩුව මෙවැනි කටයුත්තක් සිදු කරන්නට යන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් කළ බවත් ඊට විරුද්ධ විය යුතු බවට ඔහු ප්‍රථමයෙන් අදහස් පළ කළ බවත් එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment