වැරදි පිළිගත්තොත් සමාව දෙන්න සූදානම් – අගරදගුරුතුමා කියයි

408

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදි සිදු කළ පිරිස් එම වැරදි කොන්ද කෙළින් තබාගෙන පිළිගන්නේ නම් සමාව දීමට සූදානම් බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා පවසයි.

අගරදගුරුතුමා මේ බව කියා සිටියේ, කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පසුගිය සිකුරාදා පැවැති දේව මෙහෙයකට එක්වෙමිනි.

එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් රංජිත් අගරදගුරුතුමා මෙසේද පැවසීය.

“පාස්කු මංගල්‍ය සිදුකරන්නට පැමිණි අපේ අහිංසක සහෝදර සහෝදරියන් සිය ගණනක් මරණයට පත් කරමින්, එදා ඒ පිපුරූ බෝම්බ, තවමත් අපිට පැහැදිලි නැහැ මොකක්ද මෙතන වුණේ කියලා. නොයෙකුත් ආකාරයේ දේවල් නොයෙකුත් අය කියන්න පටන් ගත්තා. ඒ එක එක දේවල් ඒ ඒ වෙලාවට ඒ ගොල්ලො තීන්දු කරන්න ගත්තා, මේකයි වුණේ, අරකයි වුණේ කියලා. නමුත් ඒව කිව්වට තව තවත් අලුත් කරුණු කාරණා එළිදරව්වෙමින් පවතිනවා.

අදිසි හස්තයක් මේ තුළ ක්‍රියාත්මක වුණු බව දැන් පැහැදිලි වේගෙන එනවා. යම් යම් කරුණු එළිදරව් වෙමින් පවතිනවා. ඉතිං ඒකට සමහර වෙලාවට සමහර අයට තරහා යනවා ඇති. එයාලගෙ නම් කියවෙනවා මේ කාරණාවෙදි. එයාලා ඒවට සම්බන්ධ නැත්නම් එයාලා බයවෙන්න ඕන නැහැ. නමුත් මේ පිළිබඳව කරුණු කාරණා සොයා බැලීම අදාළ අංශවල වගකීමක්. ඒ නිසා මේ අවස්ථාවේදි අපේ රටේ නායකයාගෙන් ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා, මෙන්න කරුණු හෙළිදරව් වෙමින් පවතිනවා. ඒ නිසා දැන්වත් කරුණාකරලා අපි ඉල්ලන, මේ ජාත්‍යන්තරයට පිළිගත හැකි පරීක්ෂණයක් පවත්වන්න.

ඒ වගේම යම් කිසි කෙනෙක් මේකෙදි නම් සඳහන් වෙනවානම් ඒ අය නම්බුකාර විදිහට තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වෙලා ඒවා පරීක්ෂණවලට යොමු කරන්නට කටයුතු කළ යුතුයි. ඒක තමයි අවංකකම කියන්නේ. තමන් වරදක් කළානම් ඒක හොයාගන්න ඉඩ දෙන එක. වරද කළානම් වරද පිළිගන්න, අපි සමාව දෙන්න සූදානම්. අපිට ඕන කරන්නේ ඇත්තටම මොනවද වුණේ කියන එක සොයාගන්නයි. ඒ ඇත්ත එළියට ආවට පස්සේ ඒවට සම්බන්ධ අය කරුණාකරලා පිටකොන්දක් තියාගෙන ඇත්ත පිළිගන්න. පිළිඅරගෙන ඊට පස්සේ එයින් වරද වෙච්ච අයගෙන් සමාව ලබාගන්න.

advertistmentadvertistment
advertistmentadvertistment