කරාපිටිය රෝහලේ විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය කැඩිලා – පිළිකා රෝගීහු මකර කටේ

98

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිලිකා ඒකකයේ ඇති පිළිකා විකිරණ යන්ත්‍රය (කොබෝල්ට්) කැඩී ඇති බවත් මේ නිසා විකිරණ ප්‍රථිකාර ගතයුතු පිලිකා රෝගීන් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇති බැව් සමස්ත ලංකා ඖෂධ බෙදාහරින්නන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් රවි කලංසූරිය මහතා ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

මෙම යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට මේ දක්වා කටයුතු කර නොමැති බවත් මේ පිළිබඳ රෝහල් බලධාරීන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත්කොට ඇතත් ඒ සඳහා විසඳුමක් ලැබී නොමැති බවද හෙතෙම පවසයි. මේ වනවිට රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟයට අමතරව ඇතැම් රෝගීන්ට ප්‍රථිකාර කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර කැඩී ඇති අතර එම යන්ත්‍ර අලුත්වැඩියා කිරීමට විදියක් නොමැතිව පවතින බවද රවී කලංසූරිය මහතා සඳහන් කළේය.

හෙතෙම මෙසේද කීවේය.

දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවන පිලිකා රෝගීන්ට විකිරණ ප්‍රථිකාර කිරීම සඳහා මෙම යන්ත්‍රය භාවිතා කරනවා. නමුත් අද එම රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන්න බැරිවෙලා තියෙනවා. දිනකට අසාධ්‍ය තත්ත්වයේ පසුවන පිලිකා රෝගීන් 30 දෙනකුට පමණ මෙම යන්ත්‍රය මගින් විකිරණ ප්‍රථිකාර ලබාදෙනවා. දකුණු පළාතේ පමණක් නෙවෙයි බදුල්ල මොණරාගල දිස්ත්‍රික්කවල පිළිකා රෝගීන්ද විකිරණ ප්‍රතිකාර ගැනීම සඳහා යොමුවන්නේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට.

රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟයට තවමත් විසඳුමක් ලැබිලා නැහැ. පිලිකා හෘද සහ බාහිර රෝගීන්ට අවශ්‍ය ඖෂධවල හිඟයක් තියෙනවා. බාහිර රෝගීන්ට නිකුත් කරන ඖෂධ එකක් දෙකක් තමයි රෝහලේ තියෙන්නේ. අනික් ඖෂධ පිටතින් ගැනීමට සිදුවෙලා තියෙනවා’ යැයිද රවී කලංසූරිය මහතා පැවසීය.

මේ පිළිබඳ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය එස්. ඩී. යූ. එම්. රංගා මහතාගෙන් අප කළ විමසුමකදී මෙසේ කීවේය.

කොබෝල්ට් මැෂිම පරණ යන්ත්‍රයක්. මෙම යන්ත්‍රය නිතර නිතර ක්‍රියාවිරහිත වෙනවා. මෙම යන්ත්‍රය කැඩිලා කියලා ගිය බ්‍රහස්පතින්දා තමයි මට වාර්තා වුණේ. මෙම යන්ත්‍රය අලුත්වැඩියා කරන්න කොළඹින් එන්න ඕන. ලබන සතිය වනවිට මෙම යන්ත්‍රය අලුත්වැඩියා කරගන්න පුළුවන් වේවි. දැනට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිලිකා ඒකකයේ නේවාසික රෝගීන් 300ක් විතර ප්‍රතිකාර ලබනවා. පිලිකා ඒකකයේ විකිරණ ප්‍රතිකාර කිරීම සඳහා නවීන පහසුකම්වලින් යුත් තවත් යන්ත්‍රයක් තියෙනවා. එම යන්ත්‍රය මගින් දිනකට පිලිකා රෝගීන් 60කට පමණ ප්‍රතිකාර කරනවා. කොබෝල්ට් යන්ත්‍රය මගින් දිනකට දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවන පිළිකා රෝගීන් 30 දෙනකුට පමණ විකිරණ ප්‍රතිකාර කරනවා. නවීන පහසුකම්වලින් යුත් යන්ත්‍රයෙන් විකිරණ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දැනට මාස තුනක පමණ පිලිකා රෝගීන්ගේ පොරොත්තු ලේඛනයක් තිබෙනවා යැයිද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල, හිනිදුම – රවින්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment