යළි ඉපදුනු රාජකීය වඳුරා

1557

2024 පෙබරවාරි මස 25 වැනිදා ඉරිදා

1899 සහ 1953 කාලයේදී ලැවරෙන්ටි බෙරියා නමැති මිනිසෙක් සෝවියට් දේශයෙහි ජීවත් විය. තරුණ වියට එළඹෙත්ම ඔහු ලෙනින්ගේ බොල්ෂෙවික් පක්‍ෂයෙන් දේශපාලන ජීවිතය පටන් ගත්තේය. ලෙනින් සෝවියට් දේශයේ බලය ඇල්ලූ පසු ඔහු දිගටම ඒ ආණ්ඩුවට වැඩ කළේය. ලෙනින්ගේ ඇවෑමෙන් පසු ජෝසප් ස්ටාලින් සෝවියට් දේශයේ නායකයා වූ පසු ඔහුට සෙට්වූ ලැවරෙන්ටි බෙරියා ලේ පැල්ලම් සහිත ස්ටාලින්ගේ කුණු රෙදි ටොන් ගණනින් සෝදමින්ද ස්ටාලින්ට පක්කලි වැඩ කරමින්ද ස්ටාලින් වෙනුවෙන් මිනීමරමින්ද ඉතාම පරිහානිගත ජීවිතයක් ගතකරමින්ද ජනතාවගේ අප්‍රසාදයට ලක්විය. බෙරියා අඩුම ගණනේ ස්ටාලින් වෙනුවෙන් මැරවූ ගණන ලක්‍ෂය ඉක්මවීය. දෙවෙනි ලෝක යුද්ද සමයේදී පෝලන්තයට කඩා වැදුණු බෙරියාගේ හමුදාව විසිදෙදාහක් අත්අඩංගුවට ගෙන කැලෑවකට ගෙන ගොස් ඔවුන් මරා එය හිට්ලර්ගේ එකවුන්ට් එකට බැර කළේය. ස්ටාලින් වෙනුවෙන් බෙරියා කළ කුපාඩි වැඩ සියල්ලකගේම වගකීම බෙරියා විසින්ම ගන්නා ලද්දේ වුවද අන්තිමට ස්ටාලින්ටත් ඔහු එපා විය. ස්ටාලින්ගේ මරණයෙන් පසු සෝවියට් දේශයේ නායකත්වයට පත්වන්නේ නිකිතා කෂෙව්ය. ඔහු පත්වූ සැණින් ඔහුට පන්දම් අල්ලන්නට පටන් ගත් බෙරියා තවදුරටත් පරිහානියට පත්විය. මේ අතර දවසක සෝවියට් හමුදා පැමිණ බෙරියා අත්අඩංගුවට ගත්තේය. මීළඟට ඔහුට විරුද්ධව චෝදනා රාශියක් ඉදිරිපත් කළ සෝවියට් ආණ්ඩුව ඔහුගේ කෝට්බෝට් සහ තරු සියල්ල ගලවා නඩු අසා ඔහුට පහරදී අතපය කඩා වෙඩි තබා මැරූහ. මේ කතාවෙන් කියවෙන්නේ රජයේ නිලධාරියා නිතරම අවංක විය යුතු බවය. බලය ඉදිරියේදී ඇඹරෙමින් ආණ්ඩුවේ ඉහළ නිලධාරීන්ගේ කුණු සෝදන රජයේ නිලධාරියාට නිතරම පාහේ කෙළ වේ. ඒ වූ කලී දිට්ඨධම්මවේදනීය කර්මයට උදාහරණයකි.

ලැවරෙට් බෙරියා තරමටම පීචං නොවූවද ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත යනු ආණ්ඩුවට හුණු ගාන්නට ගොස් චොර වූ හාදයෙකි. මීට දින කිහිපයකට පෙර දෙරණ රූපවාහිනිය ඔස්සේ විකාශය වූ වැඩසටහනකදී ආණ්ඩුවට මසාජ් එකක් දීම සඳහා පණ්ඩිතකම් කතාකරන්නට ගිය ඔහුට මේ වනවිට තම තනතුරද අහිමි වී ඇත. පෙර කී සාකච්ඡාවේදී නොයෙල් ප්‍රියන්ත විසින් දක්වන ලද අදහස් කිහිපයක් මෙසේය.

  1. පාඩම් කිරීම සඳහා ලයිට් අවශ්‍ය නැත. කුප්පු ලාම්පු එළියෙන්ද පාඩම් කළ හැකිය. මේ මොහොතේ මේ රටේ සිටින උසස් බුද්ධිමතුන් සහ වෘත්තීයවේදීන් වැඩිහරියක් පාඩම් කළේ කුප්පි ලාම්පු එළියෙනි. නොයෙල් ප්‍රියන්තද අවුරුදු දෙකක් කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කර ඇත.
  2. වතුකරයේ සිටින පිරිමින් වැඩිදෙනා දවල් දෙකෙන් පසු කුදාර් වෙන්නට අරක්කු බී අසිහියෙන් පසුවෙති. ගෙදර සහ පවුල නමැති සංකල්පය ඉදිරියට ගෙන යනු ලබන්නේ ගෙදර සිටින වැඩිහිටි කාන්තාවන් විසිනි.

ඉහත සඳහන් කාරණා රූපවාහිනිය මගින් ප්‍රචාරය වීමත් සමඟම නොයෙල් ප්‍රියන්තටද සැඟවෙන්නට තැන් නැතිවිය. මේ කතා දුටුගැමුණු රජ්ජුරුවන්ගේ පරම්පරාවෙන් පැවත එන මර්වින් සිල්වා කියන වර්ගයේ ගොං කතාය. මෙයට කලකට පෙර මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිව සිටි කාලයේදී මර්වින් සිල්වා ජනාධිපතිගේ දෙපාමුල බිම ඉඳගෙන සිටින ඡායාරූප ප්‍රසිද්ධ විය. ඔහු එසේ කළේ මහින්ද රාජපක්‍ෂගේ සිත් ගැනීම පිණිසය. එහෙත් අන්තිමේදී මර්වින්ගේ පුතාට කිසියම් පිරිසක් අම්බානට නෙලූ බැවින් මර්වින් මහින්ද රාජපක්‍ෂලා සමඟ තරහ වී සතර අතේ බැණ වදින්නට පටන් ගත්තේය. ළමයින්ට පාඩම් කිරීම සඳහා ලයිට් අවශ්‍ය නැති බව කීමෙන් නොයෙල් ප්‍රියන්ත ගොං කතාවක් නොව මී හරක් කතාවක් පැවැසූ බව අපගේ මතය වේ. අද තුනේ පන්තියේ ළමයින්ගේ සිට ඉහළට සිටින ළමයි අන්තර්ජාලය සමඟ එක්ව පාඩම් කරති. ලොකු පන්තිවල ළමයින්ට සූම් සංරචකය හරහා උගන්වනු ලැබේ. කොවිඩ් කාලයේදී ලංකාවේ සියලුම පාසල් පවත්වන ලද්දේ සූම් තාක්‍ෂණය හරහාය. මේ නිසා හැම ළමයෙකුටම ස්මාර්ට් ෆෝන් එකක් අවශ්‍ය විය. කාලය සමඟ වෙනස්විය යුතු බවට නවීන තාක්‍ෂණය විසින් නූතන පරම්පරාවට බලකරනු ලැබ තිබේ. ඒ නිසා නොයෙල් ප්‍රියන්ත ඔළුවෙන් හිටගෙන කීවත් තවදුරටත් කුප්පි ලාම්පුවෙන් පාඩම් කිරීමට නොහැක. එසේ කළ හැකි බව නොයෙල් ප්‍රියන්ත කියනවානම් ඔහුට කොළ අතු ඇඳගෙන වැඩට ඒමටද පුළුවන් විය යුතුය. විදුලි බිල වැඩිවීම නිසා ළමයින්ට ඇඳුම් මැද ගැනීමට බාධා ඇතිවී තිබෙන බව රූපවාහිනියේ නිවේදකයා කී අවස්ථාවේදී නොයෙල් ප්‍රියන්ත කීවේ ඇඳුම් යනු මැදීමට අවශ්‍ය දෙයක් නොවන බවය. ලයිට් බිල ඉහළ යෑම නිසා දුර පළාතක ගෙදරක ලයිට් කැපීම නිසා ඒ ගෙදර පියා දරුවන්ට පාඩම් කිරීම සඳහා අල්ලපු ගෙදරින් ලයිට් වයර් එකක් අදින විට විදුලි සර වැදී මියගොස් තිබිණ. මෙහිදී නොයෙල් ප්‍රියන්ත කීවේ එසේ මියගිය පුද්ගලයා අඩු ගණනේ මාසයකට රුපියල් පන්දහසකවත් අරක්කු ගහන නිසා විදුලි බිල ගෙවීමට බැරි වූ බවය.

වතුකරයේ පිරිමින් දවල් දෙකෙන් පසු කසිප්පු ගහගෙන නටන බවට ඔහු කළ චෝදනාව නිසා වතුකර ප්‍රජාවගෙන් ඡන්ද ලබාගෙන ජීවත්වන තොන්ඩමන් පරම්පරාවේ බාල ළමයා වූ ජීවන් තොන්ඩමන් හොඳටම කලබල වී තිබිණ. එවැනි අවස්ථා වලදී ආණ්ඩුවේ පැවැත්මට පවා තර්ජන හට ගනී. අන්තිමේදී මේ කතාව පාර්ලිමේන්තුවේදීද ඇදුනු අතර ඒ සම්බන්ධයෙන් වගඋත්තර බැඳීමට අගමැතිට සිදුවිය. ආණ්ඩුවේ ආරක්‍ෂාව වෙනුවෙන් මී හරක් කතා බහුලව කීමෙන් පසු ආණ්ඩුව තමන් ආරක්‍ෂා කරනු ඇතැයි නොයෙල් ප්‍රියන්ත බලාපොරොත්තුවන්නට ඇති. ඒත් අවසානයේදී විදුලි බල මණ්ඩලය හෝ ආණ්ඩුව ඔහුගේ පැත්ත නොගත් අතර ඔහුට තම තනතුරින්ද ඉල්ලා අස්වීමට සිදුවිය. ජනතාව සමාජ මාධ්‍ය වලින් ඉල්ලා සිටියේ ඔහුගේ රස්සාව නැති කරන ලෙසය. ඒත් ජනතාව කියන තරම් ඉක්මනින් එවැනි දේ කළ නොහැකිය. විදුලි බල ඇමැති කංචන විජේසේකර තම මාධ්‍ය ප්‍රකාශකයා වූ නොයෙල් ප්‍රියන්ත නිසා කෙතරම් අපහසුතාවට පත්වූවාද යත් සමාජ මාධ්‍ය හරහා ජනතාවගෙන් සමාව ඉල්ලීමටද පියවර ගත්තේය.

පරණ කතන්දරයකට අනුව රජුට හිතවත් වූ වඳුරෙක් රජු නිදාසිටින විට ඔහුගේ පපුවේ වැසූ මැස්සකුට කඩුවෙන් කෙටුවේය. මැස්සා ඉගිල ගිය අතර රජු දෙපලු විය. මේ වඳුරා පසුගිය අවුරුදු දහස් ගණනක් තිස්සේ පුනරුත්පත්තිය ලබමින් විවිධ විකාර දේවල් සිදුකරමින් සිටී. නොයෙල් ප්‍රියන්ත මේ වඳුරාගේ පුනරුත්පත්තියක් බව අපගේ මතය (නො)වේ.

advertistmentadvertistment
advertistmentadvertistment