මරණ තර්ජනවලට බයේ ඉල්ලා අස්වීමේ නරක පූර්වාදර්ශය

917

මුලතිව් දිසා විනිසුරු ටී. සරවනරාජා පසුගිය සතියේදී සිය ඉල්ලා අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිෂන් සභාවට යොමු කළේය. තමන්ට දැඩි මරණ තර්ජන එල්ලවී ඇති බවත් ඉන් හටගෙන තිබෙන මානසික පීඩනය නිසා ඉල්ලා අස්වන බවත් ඔහු සිය ලිපියේ සඳහන් කර ඇත. ටී. සරවනරාජා යනු මුලතිව් දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් විනිශ්චයකාරකමට අමතරව මහෙස්ත්‍රාත් තනතුරද පවුල් උසාවි විනිශ්චයකාර තනතුරද ප්‍රාථමික උසාවි විනිශ්චයකාර තනතුරද සුළු ආරවුල් උසාවි විනිශ්චයකාර තනතුරද බාල වයස්කාර උසාවි විනිසුරු තනතුරද දරන වැදගත් පුද්ගලයෙකි. මේ රට පාලනය කරන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන සාධක තුන මගිනි. ප්‍රජාතන්ත්‍රවාදය නමැති මහා මන්දිරයේ පියස්ස රඳා පවත්නා ප්‍රධාන ස්ථම්භ තුන ලෙස විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය හඳුනාගත හැකිය. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මේ රට කරන සමයේදී කිසියම් අධිකරණයක විභාග වූ නඩුවක තීන්දුවෙන් පසු එම තීන්දුව දුන් විනිසුරුගේ නිවස ඉදිරිපිටට ගිය කුලී මැරයෝ හූ කියන්නටත්, විනිසුරු නිවසට ගල් ගසන්නටත්, කුණුහරුප කියන්නටත් පටන් ගත්හ. මේ පිරිස අතරේ එකල පැවති යූ.එන්.පී. යට සහය දුන් කුලී මැරයෝද, ජාතික සේවක සංගමයේ සාමාජිකයෝද ජනතා විමුක්ති පෙරමුණේ මහ නඩුවේ ප්‍රධාන විත්තිකාරයකුව සිට පසුව එම පෙරමුණට ද්‍රෝහී වූ පුද්ගලයෙක්ද වූහ. නෙවිල් සමරකෝන් යනු එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල අගදී මේ රටේ සිටි අගවිනිසුරාය. ඔහු ජේ. ආර්.ගේ පෞද්ගලික හිතවතෙකි. අගමැති ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර මේ රටේ පළමුවැනි විධායක ජනාධිපති වීම සඳහා දිවුරුම් දෙන්නේද නෙවිල් සමරකෝන් ඉදිරිපිටය. හැබැයි මේ නෙවිල් සමරකෝන් ජේ. ආර්. ගේ දේශපාලන තීන්දු හා අධිකරණ තීන්දු මිශ්‍ර කර ගත්තේ නැත. එබැවින් ජනාධිපති සහ අගවිනිසුරු සමරකෝන් අතර අර්බුද ඇති විය. සාමාන්‍යයෙන් මෙවැනි අර්බුදයකදී විධායකය ජයග්‍රහණය කරයි. ඒ අනුව මැච් එක පැරදුනු නෙවිල් සමරකෝන් ඉල්ලා අස්වී ගෙදර ගියේය. රාජපක්ෂ යුගයේදී අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක ගෙදර යවන ලදී. රාජපක්ෂවරුන්ට ඇය සමග ගැටුම් තිබිණ. ඒ හැරුණුකොට 1948 නිදහස ලැබූ දා සිට මේ රටේ අධිකරණයට විශාල වශයෙන් බාධා කිරීමට කාටවත් බැරිවිය. එස්. බී. දිසානායක, රන්ජන් රාමනායක වැනි උන්දැලා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිරේ යැවීම මගින් අධිකරණය අවස්ථා කිහිපයකදීම සිය බලය සහ ස්ථාවරත්වය පිළිබඳ හැඟීම අපට මතක් කරදී ඇත.

මුලතිව් දිස්ත්‍රික් විනිශ්චයකාර ටී. සරවනරාජා ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුව මරණ තර්ජන බව ඉතා පැහැදිලිය. අපගේ දැනුම පරිදි විනිශ්චයකාරවරයකුට මරණ තර්ජන ඇතිවිය හැක්කේ පහත සඳහන් පාර්ශ්ව වෙතිනි. එනම්,

  1. පාතාලය වෙතින් (සුප්‍රසිද්ධ කුඩුකාරයකු වූ පොට්ට නවුෆර් සිය නඩුව අසමින් සිටි විනිශ්චයකාරයා වූ සරත් අඹේපිටිය මහතාට වෙඩි තබා මැරවීය. පොට්ට නවුෆර් මේ කොන්ත්‍රාත්තුව දෙනවිට ඔහු සිටියේ හිරගෙදරය. ඉතා අඩු මුදලකට විනිසුරු මැරීමේ කොන්ත්‍රාත්තුව ගන්නා ලද්දේ ආමි එකෙන් පැනගිය මෝඩ වාහෙලා හතර දෙනකු විසිනි. ඒ නිසා අපරාධය වහා හෙළිවිය)
  2. සිය පුද්ගලික සතුරන් විසිනි.
  3. විනිසුරුවා නම්මා ගැනීමට නොහැකි නිසා ඔහු සමග කෝපයෙන් පසුවන දේශපාලනඥයන් විසිනි.

ඉහත සඳහන් පාත්‍ර වර්ගයා හැරුණු විට වෙනත් පාර්ශ්වයක් විසින් විනිසුරකු මැරීමට උත්සාහ කිරීම තබා ඒ ගැන සිතීමවත් කරන්නේ නැත. උසාවියේදී කැස්සත් සාමාන්‍ය ජනයාට දවසේ ඉතිරි කොටස කූඩුවේ ලැගීමට සිදුවේ. උසාවියේදී නින්ද ගියත් ඒ පනිෂ්මන්ට් එක එහෙමම කෑමට පුළුවන. මුලතිව් දිසා විනිසුරු ටී. සරවනරාජා මැරීමට ඉන්දියාවේ රෝ සංවිධානය හෝ ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානය හෝ ඇමරිකාවේ CIA සංවිධානය හෝ මෙරටට එන්නේ නැත. එබැවින් විනිසුරුතුමාගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතන්දරය සොයාබලා ඊට වගකිව යුතු උන් අල්ලා උන්ගේ කරඇඹිය යුතුමය. එක එකාට බයේ විනිසුරන් ඉල්ලා අස්වීම ඉතා නරක පූර්වාදර්ශයකි. අපගේ අදහස නම් අධිකරණ සේවා කොමිෂන් සභාව විනිසුරු සරවනරාජාගේ ඉල්ලා අස්වීම භාර නොගෙන එතුමාට සහ පවුලේ අයට දැඩි ආරක්ෂාවක් ලබාදී දිගටම එතුමා සේවයේ යෙදවිය යුතු බවය. ඉන්දියාවේ එක ප්‍රාන්තයක්වත් වෙනම රාජ්‍යයක් නොවිය යුතු බව ඉන්දියානු නිදහස් සටනේ පුරෝගාමියකු වූ වල්ලභයි පටෙල් විසින් නිදහස් ඉන්දියාවේ පළමුවන අගමැති නේරුට කියා ඇත. එක ප්‍රාන්තයක් ඉන්දියාවේ මහ ආණ්ඩුවෙන් කැඩුනොත් සෙසු සියලු ප්‍රාන්තද කැඩී වෙන්වී ඉන්දියන් භූමිය තුළ වෙනම රාජ්‍යය 24 ක් බිහිවනු ඇතැයි පටෙල් සඳහන් කර තිබේ. මේ අනුව එක විනිසුරෙක් මෙසේ ඉල්ලා අස්වුණොත් මෙවැනි තර්ජන ඇති සෙසු විනිශ්චයකාරවරුන්ද එක වැලට ඉල්ලා අස්වනවා ඇත. එවිට නීතියේ ආධිපත්‍යය වල්වැදී වනය තුළ සිටින විෂඝෝර සතුන් නඩු ඇසීම සඳහා විනිශ්චය ආසනයට පැමිණෙනවා ඇත.

සාමාන්‍යයෙන් මරණ තර්ජනවලට බියේ විනිශ්චයකාරවරුන් වැඩියෙන්ම අස්වන රට කොලොම්බියාව වේ. මේ රටේ කුඩු මුදලාලිලා රට පාලනය කරන අතර දේශපාලනඥයන් වැඩිදෙනා එම කුඩු මුදලාලිගේ කාර්යය මණ්ඩලය බවට පත්වී ඇත. ලංකාව එසේ වියයුතු නැත.

advertistmentadvertistment
advertistmentadvertistment