වැලේ වැල්

1130

2019 අන්තිමට චීනයට කොවිඞ් බෝ වුණාට, ඉන්දියාවටත් ලංකාවටත් එම වසංගතය එන්නේ 2020 මුල හරියේදී එක විටය. එදා පටන් අද දක්වා කොවිඞ් වලින් මියගිය ඉන්දියානුවන් ගණන හාර ලක්ෂ අනූ එක්දාස් හත්සීයකි. ලෙඬේ වැලඳුණු සම්පූර්ණ ගණන හාරකෝටි තුන් ලක්ෂ හැත්තෑඑක්දාස් පන්සීයකි. කොවිඞ් හැදුනු දා පටන් අද දක්වා ශ‍්‍රී ලංකාවේ මියගිය රෝගීන් ගණන පහළොස්දාස් තුන්සිය හැට නවයකි. ලෙඬේ හැදුනු සම්පූර්ණ ගණන හයලක්ෂ හත්දාස් එකසිය හතරකි. බිලියන එකහමාරකට කිට්ටු ජනගහනයක් ඉන්දියාවේ සිටියි. එනම් මිලියන එක්දාස් පන්සීයකි. මිලියන විස්සකට චුට්ටක් වැඩි ජනගහනයක් ශ‍්‍රී ලංකාවේ සිටී. එය සමාන වන්නේ ඉන්දියාවේ සිටින ජනගහනයෙන් හැත්තෑ පහෙන් එකකටය. මේ අනුව ඉතා වැදගත් කාරණයක් පෙනී යයි. එනම් ජනගහනයට සාපේක්ෂව බැලීමේදී ශ‍්‍රී ලංකාවේ කොවිඞ් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉන්දියාවේ කොවිඞ් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවට වැඩි බවයි. කොවිඞ් නැවත පැතිරෙමින් පවත්නා මේ අවධියේදී අප ඒ ගැන සාකච්ඡා කළ යුත්තේ ඉහත සඳහන් ගණන් හිලව් සිහි තබාගෙනය.

සමස්තයක් වශයෙන් ගත්කල ලංකාවත් ඉන්දියාවත් යන දෙකම ජන විඥ්ඥානය පැත්තෙන් යම් ප‍්‍රමාණයකට අවිද්‍යාත්මකය. මේ දෙරටේම මිනිස්සු දෙවියන්, භූතයන් සහ යකුන් පස්සේ ඕනෑවට වඩා දුවන්නාහ. දේව ලෝකයේ සහ භූත පෙරේත ලෝකවල සැබෑ තත්ත්වය පියවි ඇසින් දකින්නට හැකිනම් අපට පෙනී යනු ඇත්තේ කුමක්ද? බැතිමතුන් සහ පුද පූජා පවත්වන්නවුන්ගෙන් බේරීම සඳහා පෙර කී ලෝකවල සිටින අදෘශ්‍යමාන බලවේග දුවන හැටිය. අවසන් විග‍්‍රහයේදී පෙනී යන වැදගත් තව කාරණයක් තිබේ. එනම් ශ‍්‍රී ලංකාවට වඩා අවිද්‍යාත්මක තැනක ඉන්දියාව සිටින බවයි. දෙවියන්ගේ භාරයට පත්කරනු පිණිස මෘතදේහ ගෙඟ් පාකර යැවීමක් ලංකාවේ නැත. එහෙත් ඉන්දියාවේ එම පුරුද්ද තිබේ. මහා පොළවෙන් යට වැවෙන (ලූනු සහ අල වර්ග) ආහාරයට ගැනීම අකැප බවත් මනු ලොව පහළවන මනුෂ්‍යන් අනුභව කළ යුත්තේ පොළොවෙන් උඩට මතුවන එළවළු කොටස් පමණක් බවත් හිතන මිනිස්සු ලංකාවේ නැත. එහෙත් ඉන්දියාවේ බ‍්‍රාහ්මණ වංශිකයෝ එසේ කල්පනා කරති. මේ කල්පනාව නිසා ඉන්දියාවේ සිටි සුවිශේෂ උගතුන් කිහිප දෙනෙක්ම මන්ද පෝෂණයෙන් මිය ගොස් ඇත. ශ‍්‍රී ලංකාව ඒ තරමට විඥ්ඥානවාදී නැත. එහි අර්ථය විය හැක්කේ මේ රටේ මිනිසුන් වඩාත් විද්‍යාත්මක මතවාදයක ජීවත්වන බවය. එහෙත් අවසානයේ ගණන් හදා බැලීමේදී පැහැදිලි වන්නේ වඩාත් විද්‍යාත්මක රටේ ජීවත්වන වැඩි ජනගහනයකට කොවිඞ් වැළඳී ඇති බවත් ඉන් විශාල පිරිසක් මියගොස් ඇති බවත්ය. වැඩි වශයෙන් අවිද්‍යාත්මක ඉන්දියාව මොන ම`ගුල කළත් ඒ රටේ ජනගහනයට සාපේක්ෂව කොවිඞ් ආසාදිතයන් ගණන සහ කොවිඞ් මරණ සංඛ්‍යාව අඩුවී ඇත.

කොවිඞ් 19 වසංගතයක් ලෙස පැතිරෙන්නට පටන්ගත් දා පටන් ලංකාව ඉතා මෝඩ ලෙස කටයුතු කළේය. කොවිඞ් වලට රට වැසූ මුල් දවසට පැය 24 ට පෙර මේ රටේ සියලූ සුපර් මාර්කට් වලට රොක්වූ කෝටි සංඛ්‍යාත ජනයා පස්සට පස්ස අතුල්ලමින්ද කටට කට අතුල්ලමින්ද බඩු මිලට ගත්හ. රට වැසූ ගමන් මේ සුපර් මාර්කට් පොකුර පත්තු වූ අතර ක‍්‍රමයෙන් රෝගී ගහනය සහ පරලොව යන ගහනය ඉහළ යන්නට පටන් ගත්තේය. පසුගිය සිංහල අවුරුද්දට රට අරින ලද අවස්ථාවේදීද මෙයම සිදුවිය. ක්‍රෙඩිට් කාඞ් වලින් බිල් ගෙවා ෆන් ගැනීම සඳහා මේ රටේ ජනයා නුවරඑළියට දුවන්නට පටන් ගත්හ. එහිදී හටගත් සිංහල අලූත් අවුරුදු කොවිඞ් පොකුර නිසා නැවතත් රට වැසීමට සිදුවිය. මීට දෙසතියකට පෙර දින හතරක නිවාඩුවක් සහිත සති අන්තයක් තිබිණ. කොවිඞ් වලට බම්බු ගසා ගන්නැයි කී මේ රටේ ජනයා සති අන්තයේ ටි‍්‍රප් ගියහ. මේ වනවිට කොවිඞ් වසංගතය නැවතත් ඉතා භයානක ලෙස පැතිර යන්නට පටන්ගෙන ඇත. ගිය සැරේ රට වහන විට නම් පිට රටින් බඩු ගෙන ඒමට ආණ්ඩුව අත ඩොලර් තිබිණ. මෙවර කොවිඞ් මුරයේදී පිට රටින් බඩු ගෙන්වීමට ආණ්ඩුව අත ඩොලර් නැත. මේ නිසා යම් හෙයකින් නැවතත් වසංගත තත්ත්වයක් මතුවී රට වැසීමේ අවශ්‍යතාවක් මතු වුවද එය කර ගැනීමට ආණ්ඩුවට බැරිය. එහෙම කළොත් මේ රටේ ජනයා මිය යන්නේ කොවිඞ් නිසා නොව බඩගින්න නිසාය. ශ‍්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ඉතා නරක තැනකට ගමන් කර තිබේ. මේ ගමන කොතරම් අනර්ථකාරී ද යත් කිසියම් තැනක කිසියම් දෙයක් නැවතුනොත් නැවතුනාමය. ආණ්ඩුව මේ තත්ත්වය කළමනාකරණය කරන්නේ දැඩි දුෂ්කරතා මැද බව අපි දනිමු. පිළිගනිමු. එහෙත් සෑම විටම ආණ්ඩුවට වැල් නැත්නම් මිනිසුන්ට වැලේ වැල් නැතිවේ. ශ‍්‍රී ලංකාව මේ පසුකරන්නේ වැල් සහ වැලේ වැල් නැති වකවානුවකි. මේ වකවානුව හරියට කළමනාකරණය නොකර ගත්තොත් අනාගතයේදී අලූතින් වැල් පැල කර ගැනීම සඳහාවත් කෙනෙක් ඉතුරු නොවනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment