යුගදනවි පෙත්සම් විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

177

ඇමෙරිකාවේ නිව් ප්‍රෝටර්ස් එනර්ජි සමාගමට කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයේ සතු කොටස් සියයට 40ක් ලබාදීම හා එම බලාගාරයට අවශ්‍ය ද්‍රව වායු සැපයීමේ කොන්ත‍්‍රාත්තුව ලබාදීම අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 5ක් විභායට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04 දා) ප‍්‍රතික්ෂේප කළේය.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් තුමා, මහරගම ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියන්, සමගි ජන බලවේගයේ පක්‍ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සමරසිංහ හා ලංකා විදුලි සේවක සංගමයේ මහලේකම් රංජන් ජයලාල් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහ එලෙස ප‍්‍රතික්ෂේප කෙරිණි.

එසේ ප‍්‍රතික්ෂේප කිරීමට හේතු විවෘත අධිකරණය හමුවේදී ප‍්‍රකාශයට පත් නොකෙරිනි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, ප‍්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ හා ඒ.ටී.බී දෙහිදෙනිය යන පංචපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී එම පෙත්සම් කැඳවිණි.

එම පෙත්සම් සලකා බැලීම සඳහා පූර්ණ විනිසුරු ම`ඬුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබූ අතර, එම පෙත්සමේ අඩංගු කරුණු ජාතික වැදගත්කමක් සහිත ඒවා වන බව පෙන්වා දෙමින් නීතිපතිවරයා කළ එම ඉල්ලීම සලකා බැලූ අගවිනිසුරුවරයා එම පංච පුද්ගල විනිසුරු මඬුල්ල පත්කළේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් හා නීතිපතිවරයා පුරා දින ගණනාවක් තිස්සේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලීම පසුගිය 23 වැනිදා අවසන් කළ විනිසුරු ම`ඬුල්ල එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන්නේද? නැතිද? යන නියෝගය පසුව නිකුත් කිරීමට තීරණය කොට තිබිණි.

ඒ අනුව ඊයේ අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ල සිය නියෝගය නිකුත් කරමින් එකී පෙත්සම් සියල්ල විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ප‍්‍රතික්ෂේප කරන බව විවෘත අධිකරණයේදී පෙන්වා දුන්නේය.

එම පෙත්සම් සලකා බැලීම ආරම්භ කිරීමට පෙරම එවකට අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ උදය ගම්මන්පිල, විමල් වීරවංශ යන මහත්වරුන් මෙන්ම අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාද ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප‍්‍රකාශ ඉදිරිපත් කරමින් එකී ගිවිසුම්වලට එරෙහිව අධිකරණයට කරුණු පෙන්වා දී තිබිණි.

කෙසේ නමුත් එම පෙත්සම් සම්බන්ධයෙන් සිය දේශනය ආරම්භ කළ නීතිපතිවරයා සියලූ පෙත්සම් අධිකරණයට ඉදිරිපත් කොට ඇත්තේ නීතිමය පියවර ගැනීමේ කාලය අවසන් වීමෙන් අනතුරුව වන බැවින් පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ප‍්‍රතික්ෂේප කරන ලෙස විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා තිබිණි.

යුගදනවි ගිවිසුම් අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම්වලට සහාය පළකරමින් එකී අමාත්‍යවරුන් තිදෙනා ගොනු කර ඇති දිව්රුම් ප‍්‍රකාශ නීතිවිරෝධී වන බැවින්, ඒවා පෙත්සම් සලකා බැලීමේ කටයුත්තෙන් ඉවත්කරන ලෙසටද නීතිපතිවරයා විනිසුරු ම`ඬුල්ලෙන් ඉල්ලා තිබුණි.

ඇමෙරිකානු සමාගමක් සමග අත්සන් කර ඇති එම ගිවිසුම් මගින් රටේ ගෑස් පර්යන්තයක් ඉදිකර පවත්වාගෙන යෑමේ අවසරය ඇමෙරිකානු සමාගමට හිමිවෙන බවත් ඇමෙරිකානු යුද නෞකාවලට පවා සේවාවන් සැපයීමේ ඉඩකඩ ඇමෙරිකානු සමාගමට විවර කරදීම ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි බවත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් විනිසුරු මඬුල්ල හමුවේ කරුණු දක්වා තිබුණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment