විධායක ජනපති ක්‍රමයෙන් විධායක කාරක සභාවට

226

එදා කතා සාප්පුවක් ලෙස විටෙක ගැරහුම් ලැබූ කාරක සභා ක්‍රමය පළල් මහජන දායකත්වයක් සහිතව ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමෙන් විශිෂ්ට මානව අයිතීන් රැසක් හිමිකර දීමට සමත් විය. ආණ්ඩුකාරයකුගේ සපත්තු අඩියෙන් ඕනෑම විටෙක පාගා දැමිය හැකි ලෙස කිරීටයේ බලයට නතුකර තිබුණු විධායක කාරක සභා ක්‍රමයෙන් අප කතා කරන ‘විධායක කාරක සභාව’ නිශ්චය කිරීම නොහොබි, මේ විධායක සභා ක්‍රමය ඩොනමෝර් ක්‍රමයේ ප්‍රබලතා තවදුරටත් වර්ධනය කිරීමෙන් ද දුබලතා වෙනුවට පිළියම් යෝජනා කිරීමෙන් ද වඩාත් අනර්ඝ ආණ්ඩු ක්‍රමයක් හඳුන්වාදීමට ගත් වෑයමකි.

18 වන ආණ්ඩුක්‍රමය සංශෝධනය මගින් අසීමිත බලයක් ඒකරාශී කර පුද්ගලයකුට පවරා දුන් මහජන පරමාධිපත්‍යම 19 වන සංශෝධනය මගින් අගමැතිවරයාට පවරන්නට යෙදුනි. ඒ දෙවතාවේදීම තනි පුද්ගල අධිකාරිය වෙනස් නොවී එය දරා සිටින තනතුරු නාමය පමණක් වෙනස් විය. ඔහුගේ ලැඟුම් පොළ හුදෙක් පාර්ලිමේන්තු වීමෙන් කිසිදු අධ්‍යාත්මික වෙනසක් සිදු නොවීය. එයට විකල්පයක් ලෙස කාරක සභා ක්‍රමය යෝජනා කරමු. පහත දැක්වෙන්නේ ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයේ මූලික ලක්ෂණ කීපයකි.

1927 අගෝ. 06 වන දින පත් කළ ඩොනමෝර් කොමිසම එහි වාර්තාව 1928 ජූනි 26 දින පී. ඒ. ක්ලටර්බක් විසින් එවකට යටත් විජිත ලේකම් වෙත භාරදෙන ලදී. (නන්දදේව විජේසේකර, 1962, ‘කොමිෂන් සභාවේ වාර්තාව’ (ඩොනමෝර් වාර්තාව) 1931 දී ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රමය 1947 දක්වා පැවතියේය. ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ දෙයාකාරවූ සංවිධාන ව්‍යුහයක් යෝජනා කර තිබිණි.

I. පරිපාලන කටයුතු සඳහා රැස්වෙන විධායක සභාවක්

II. ව්‍යවස්ථා සම්පාදනය සඳහා ව්‍යවස්ථාදායක සභාවක්

රාජ්‍ය මන්ත්‍රණ සභාව රැස්වූ විට සභිකයන් සියලු දෙනාම ස්ථාවර කාරක සභා හතකට වර්ග කරයි. සෑම කාරක සභාවක්ම ආණ්ඩුකාරතුමා විසින් පත් කිරීම සඳහා සභාපති තුමෙකු ඡන්ද විමසීමකින් තෝරා ගත යුතුය.

ඉහත හකුලුවා දක්වා ඇති පරිදි ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ මූලික ලක්ෂණය වන්නේ ආණ්ඩුකාරයාගේ බලය කමිටු හත (7)කට බෙදා ඒවාට සභාපතිවරයකු බැගින් පත් කර තිබීමයි. එහි ජාති හෝ ආගම් නියෝජනයකින් තොර වූවකි. එහි යටත් විජිතයක් උදෙසා සකස් කළේ වී නමුදු සංවිධාන ව්‍යුහය අතින් සුවිශේෂී වටිනාකමක් ඇති බව පෙනෙයි. කොටස් තුනක් යටතේත් එය විස්තර කළ හැකි.

  1. රාජ්‍ය ආයතන සියල්ල ස්ථාවර කාරක සභාවලට බෙදා දැක්වීම
  2. විධායක කාරක සභාවල සංයුතිය
  3. කාරක සභා පාලනය හා නීති නියාමනය පිළිබඳ ඒකක පිහිටුවීම

රජ කාලය ගැන අප තුළ කෙළවරක් නැති මිත්‍යා මත පතුරවා ඇතත් එම කාලයේදී දූෂණය හෝ දූශිකයන් රැකීම ගැන සාකච්ඡා නැති තරම්ය. කිසියම් කාර්යයක් භාරගන්නා ප්‍රධානියාට උපරිම ආරක්ෂාව සහ පහසුකම් ලැබෙන නමුත් එය අසාර්ථක වී නම් දිවි තොරවීම දක්වා අවදානමක් පවතී. මෙහි නියත ප්‍රතිඵලය වන්නේ දුර්වලයන් ඉදිරිපත් නොවීම සහ පැහැදිලි තක්සේරුවක් ඇති අයෙකු පමණක් ඉදිරිපත් වීමයි. මේ ආකාරයෙන් මහජන මුදල් හා සම්බන්ධ වගකීම් දරන්නන්ට අතිශය අවදානම් සහගත ක්ෂණිකව ක්‍රියාත්මක විය හැකි නීති සම්ප්‍රදායක් පවතී. එය දියකර හැරීම නිසා නිද්‍රාශීලී දූෂිතයන් ආයතනවල බලතල ලබා ගනී. මේ තත්ත්වය වෙනස් කළ යුතුය.

විධායක කාරක සභාවල ඉහළ නිලධාරීන් පාලනයට හා නියාමනයට ප්‍රමාණවත් බලතල සහිත විශේෂ ආයතනයක් බැගින් සෑම විධායක කාරක සභාවකටම යෝජනා කරමු. ‘කාරක සභා සාමාජිකයන් පාලනය කිරීමට හා නීති නියාමන කිරීමට ඉහළ ආයතන දෙකක් සෑම විධායක සභාවකටම යෝජනා කරමු. එහි නිලධාරීන් නීති නිලධාරීන්, පරිගණක විශේෂඥයින්, විගණන නිලධාරීන් ඇතුළත් විය යුතුය. ඔවුන් විභාග ක්‍රමයකින් හඳුනාගෙන පාර්ලිමේන්තුව විසින් පත් කළ යුතුය.

I. කාරක සභා පාලනය පිළිබඳ ඒකකය,

සෑම රාජ්‍ය ආයතනයක්ම ආවරණය වන එවැනි විශේෂ ආයතනයක් නොමැති බැවින් පවතින ක්‍රමයේදී ආයතනික විනය පවත්වා ගැනීමට ප්‍රමාණවත් ක්‍රමයක් නැත. නිරන්තර අධීක්ෂණය සහ නැවත කැඳවීමේ බලය සහිත ඉහළ ආයතනයක් මගින් දූෂිත පුද්ගලයන් වැළැක්වීමට හා මර්දනය වේගවත් ප්‍රවේශයක් ලබා දෙමු. සෑම විධායක සභාවකම මහජන නියෝජිතයන් සහ ස්ථිර සාමාජිකයින් තෝරා පත්කිරීම සඳහා එක් එක් ආයතනවල වෙනම ‘මාණ්ඩලික පාලන ඒකකයක්’ ස්ථාපිත කරයි. එම ඒකකය විසින් ආයතනවල ඉලක්ක සපුරා ගැනීමට පත්කරන නිලධාරීන් නිරන්තරයෙන්ම අධීක්ෂණය කරයි. විධායක කාරක සභාවල සාමාජිකයන් හරවා යැවීමේ බලය ද ඔවුන් සතුය.

II. නීති නියාමන ඒකකය

දූෂණ වැළැක්වීමට අතිවිශාල බලතල සහිත ක්ෂණිකව තීරණ ගත හැකි ඉහළ ආයතනයක් යෝජනා කරමු. එය කාරක සභාවට එක බැගින් වන සේ සුවිශේෂී ලෙස නියාමනය කළ හැකි ආයතනයක් විය යුතුය.

කාරක සභාවල නියෝජිත සහ තානාන්තර සාමාජිකයන්ගේ වගකීම් පැහැරහැරීම සහ දූෂණ වංචා සම්බන්ධයෙන් නිරන්තර අධීක්ෂණ සහ නීතියට යොමු කිරීම සම්බන්ධ කටයුතු භාරව මණ්ඩලයකි. යම්කිසි නිශ්චිත ඩොලර් ප්‍රමාණයක් ඉක්මවා රජයට පාඩු කිරීම හෝ වංචා කිරීම හෝ සම්බන්ධයෙන් ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ බලය සහිත මණ්ඩයකි. උදා. ඇ. ඩො. 100 කට වඩා පාඩු කිරීම හෝ වංචා කිරීම හෝ සම්බන්ධයෙන් දත්ත මත පදනම්ව ලේඛන මගින් තහවුරු වන වරදකදී අදාළ අපරාධයට සම්බන්ධ සියලුම කමිටු සාමාජිකයන් සහ අවශේෂ නිලධාරීන් එකනෙහිම තනතුරෙන් පහකිරීම සහ අධිකරණයට යොමු කිරීමේ පූර්ණ බලය ඊට පැවරිය යුතුය.

විශේෂයෙන්ම ‘කාරක සභා පාලනය පිළිබඳ ඒකකයේ’ සාමාජිකයන් විධායක කාරක සභාපති කිරීම හා නියාමනය කරන බැවින්, එහි සිදුවන අපරාධ සම්බන්ධයෙන් ද වගකිව යුතුය. එබැවින් කාරක සභිකයන්ට චෝදනා එල්ල වූ වහාම එය ඔවුන් පත් කළ හා නියාමනය කළ අධිකාරියට ද අදාළ වේ. මෙම යෝජනාව ඉතාමත් විශේෂ වටිනාකමකින් යුතුය.

මහජන නියෝජිතයන්ට හෝ ස්ථිර කාර්ය මණ්ඩලයට හෝ නඩු පැවරූ වහාම ඔවුන්ගේ නියෝජිත භාවය තාවකාලිකව අහෝසි වෙයි. ඒ වෙනුවට වෙනත් නිලධාරීන් තාවකාලිකව පත් කළ යුතුය. එසේම මහජන නියෝජිතයන් පත් කළ පක්ෂවලින් ද වෙනත් නියෝජිතයන් පිරිසක් නම් කළ යුතුය. නඩුවෙන් නිදොස් වන තෙක් ධුරයේ වැඩ කිරීම තාවකාලිකව අත්හිටු වෙයි.

සැබවින්ම ලංකාවට අවශ්‍ය වන ජනාධිපතිවරයා ලෙස මා දකින්නේ විධායක කාරක සභා එකතුවේ ප්‍රකාශකයාය. එනම් ජනතා පරමාධිපත්‍ය අනුව ව්‍යවස්ථාදායකය හ විධායකයේ අතර මැදියාය. එනම් ව්‍යවස්ථාදායකය හා විධායකය අතර පාලමක් මෙන් එකී ආයතන දෙක අතර සහයෝගය ඇති කරමින් ක්‍රියාත්මක වන ස්වෛරී පරිපාලකයෙකි.

නමුත් ජනාධිපති තේරීම සඳහා රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලකයන් පමණක් වන සේ සීමිත පිරිසකගේ ඡන්දයෙන් ඔහු තෝරා පත් කරගත යුතුය. ඊට හේතුව ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් වන අර්බුදයකි. ඕනෑම රටක බහුතරය මෝඩ, ආත්මාර්ථකාමී කෑදර පිරිසකි. එකී බහුතරයට රටේ පාලකයා තේරීමට අවස්ථාව විවරකර දුන්විට එකී බහුතරයට ගෝචර වන අයෙකු තේරී පත් වෙයි. සැබවින්ම මැතිවරණය මානසික අල්ලස් හා හැඟීම් අවධි කිරීමෙන් තොරව ක්‍රියාත්මක නොවේ. මේ නිසා දැවැන්ත මුදල් පොම්ප කිරීමක් අනිවාර්ය වේ. එහි නියත ප්‍රතිඵලය වන්නේ ජයග්‍රාහකයාට අනුග්‍රාහකයන් පිනවීමට සිදුවීමයි. රාජ්‍ය වළපල්ලට යන්නේ එතැනින්ය.

විධායක කාරක සභා ක්‍රමය වඩාත් ඵලදායී වන්නේ එහි අකෘතිය සහිත තවත් පහළ ආයතන ක්‍රමයක් ගම් නගර මට්මට ලැබෙන විටය. ඒ උවමනාව වෙනුවෙන් ගම් සභා ක්‍රමයේ අවශ්‍යතාවය ද අවධාරණය කරමු. ඉන්දියාව නිදහස ලබද්දී පංචායද් සභා නමැති ක්ෂද්‍ර පාලන ඒකකය දිගමට ආරක්ෂා කරන ලදී. මීට හේතුව මහා ඒකකයෙන් සියල්ල පාලනය කරනවාට වඩා මහා ඒකකයට යටත් කුඩා ඒකක රාශියකින් පාලනය කිරීමෙන්, වඩාත් ගුණාත්මක සහ කාර්යක්ෂම තත්ත්වයක් රටට ලැබීමයි. අනෙක් අතට එය පාරම්පරික ඥාන සම්භාරය හා ඒකාත්මිකව ඒ ඒ කලාපවල අනන්‍යතා සැලකිල්ලට ගනිමින් මහජනතාව මෙහෙය වන ප්‍රශස්ත ආයතනයකි. අප යෝජනා කරන ගම් සභාව වූකලී, පැරණි පන්නයේ කුල ක්‍රමය මත පදනම් නොවුණ සුහුරු තාක්ෂණය මත සංවිධානය වන ගැමි නියෝජිතයන්ගෙන් සැදුම් ලත් ආයතනයකි. එය දේශපාලන පක්ෂ ක්‍රමයෙන් බැහැරව ග්‍රාම කළමනාකරණය පිණිස රැස්වන බලතල සහිත කමිටුවකි. නියෝජිතයන් තෝරා ගන්නේ නිර්පාක්ෂිකව ඉදිරිපත් වන අපේක්ෂකයන් ගෙනි.

පාලන ඒකකය කුඩා වන තරමට සාපේක්ෂව ඵලදායීතාවය සහ ගුණාත්මකතාවය ඉහළින්ම ආරක්ෂා වෙයි. එපමණක් නොව රටේ පැරණි දේශපාලන සංවිධාන ව්‍යුහයේ කුඩාම ඒකකය වූ ගම් සභාවෙන් යටිතල පහසුකම් දියුණු කිරීමත් ගොවිතැන සහ කර්මාන්ත මෙහෙයවීමත් කරන ලදී. මේ ක්ෂුද්‍ර ඒකකය විසින් බිම් මට්ටමේදී විනය ඇති කිරීමට හා පාලනය කිරීමේ අපුරු වටිනාකමක් සහිතය. එයම රටේ සිවිල් ජනතාවගේ නිදහස සහ අයිතීන් ආරක්ෂා කරගැනීමට ඔවුන්ටම පහසුකම් ලබා දීමේ විශේෂ වටිනාකමක් ද ගම් සභා ක්‍රමය සතුය. පැරණි කුල ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් වන අතර දක්ෂතාවය හා නීතිගරුක වීම මත තනතුරු දැරීමේ අවස්ථාව හිමි වෙයි.

ගමට අනන්‍ය වූ තත්ත්වයන් සඳහා ගම්වාසීන්ගේ එකඟතාවය සහිත සුළු නීති පැනවීමට අයිතිය ඊට හිමි වෙයි. එසේ පනවනු ලබන සුළු නීති ගම අයත් ප්‍රාදේශීය බල ප්‍රදේශයේ අධිකරණය මගින් සහතික කරව ගත යුතුය. ඒවායේ පිටපත් අධිකරණ කොමිසමට හා ප්‍රාදේශීය සභාවට ද ලබාදිය යුතුය. එවැනි සුළු නීති ජාති, ආගම් හෝ කුල ඉලක්ක වන ඒවා නොවිය යුතුය. ගම් සභාව රැස්වී එම සුළු නීතිවලට යටත් නඩු ඇසීමටත්, දඩ මුදල් හෝ වෙනත් සාමාජීය පීඩනය සහිත දඬුවම් නියම කළ හැකිය. අවශ්‍ය නම් පහළ හෝ ඉහළ අධිකරණවලට යොමු කළ හැකිය. තවද ගමේ ඉඩම් ඒකාබද්ධ කර සමූහ ගොවිපළ පවත්වාගෙන යන්නේ ගම් සභාවෙනි. ධාන්‍ය ගබඩා පවත්වා ගැනීම හා අලෙවිය සම්බන්ධ ආයතන ඇති කර එය පාලනය කළ යුතුය. උදා. වී ගබඩා කර, සහල් කිරීමෙන් අලෙවි කර ගොවීන්ගේ නිෂ්පාදන නිමි ද්‍රව්‍යක් වශයෙන් අලෙවි කර ආදායම් උපයා දීම සංවිධානය කළ යුතුය. ග්‍රාමීය කර්මාන්ත සංවිධානය කිරීම දේශීය හා විදේශීය වශයෙන් අලෙවි කිරීමට සහාය දීම, පහසුකම් හා උපදෙස් ලබාදීම සිදු කිරීම දක්වා එහි කාර්යභාරය පළල් පරාසයකට විහිදිය හැකිය.

රාජ්‍ය ආයතන සියල්ල ස්ථාවර කාරක සභාවලට බෙදා දැක්වීම, විධායක කාරක සභාවල සංයුතිය සහ ‘කාරක සභා පාලනය හා නීති නියාමන පිළිබඳ ඒකක පිහිටුවීම යන මූලික සාධක තුන මත පිහිටුවා ඇති සංකීර්ණ ආයතන එකතුවක් වශයෙන් විධායක කාරක සභා ක්‍රමය සකස් වෙයි. මෙයට අමතරව ගම් සභාව බිම් මට්මේ සංවිධානය කළ විධායක කාරක සභාවේ වරප්‍රසාද ජනතාවට ලබාදෙයි. එයින් සමාජ ප්‍රශ්න අති බහුතරයක් නැති කළ හැකිය. සත්‍ය වශයෙන්ම සිවිල් සංවිධාන පමණක් නොව සිවිල් පුරවැසියන්ට පවා කාරක සභාවලට පැමිණ අදහස් දැක්වීමට පළල් ඉඩ පරාසයක් සකස් කළ යුතුය. එහි අදහස වන්නේ සෑම විධායක සභාවක්ම පාර්ලිමේන්තුවට පොදුවේ යටත් වන නමුත් සෑහෙන පමණකට ස්වාධීනය. ඒවා පාර්ලිමේන්තු ගොන්නක් වැනිය. එබැවින් වෙනම රැස්වීමට ඉඩකඩ හා කාර්යාලයීය පහසුකම් ලබාදිය යුතුය. විධායක සභාවක්ම පාර්ලිමේන්තුවට පොදුවේ යටත් වන නමුත් සෑහෙන පමණකට ස්වාධීනය. ඒවා පාර්ලිමේන්තු ගොන්නක් වැනිය. එබැවින් වෙනම රැස්වීමට ඉඩකඩ හා කාර්යාලයීය පහසුකම් ලබා දිය යුතුය. විධායක කාරක සභා ක්‍රමය සහ නුතන ගම් සභා ක්‍රමය කෙරේ අවධානය යොමු වේවා.

ලලීන්ද්‍ර සන්නස්ගම

advertistmentadvertistment
advertistmentadvertistment