ශ්‍රී ලංකා බාලිකාවෝ කෙස් ගසෙන් පරදිති

344

අන්තර්ජාතික ක්‍රිකට් සභාව පළමු වතාවට පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් අතර තරග වටයේ ශ්‍රී ලංකාව තරග වැදි දෙවැනි තරගය හෙවත් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයෙන් තියුණු තරගාවසානයකදී එක් ලකුණක ජයක් ශ්‍රී ලංකා බාලිකා පිල හමුවේ වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු බාලිකාවෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 133 ක් පමණි. තීරණාත්මක අවසන් පන්දුවාරයේදී ශ්‍රී ලංකා ජයග්‍රහණයට ලකුණු 12 ක් ලබා ගත යුතු වුවත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි.

පළමු පන්දු 3 දී ලකුණු 5 ක් ලබා ගනිමින් අවසන් පන්දු 3 සඳහා පරතරය ලකුණු 07 ක් දක්වා අඩු කිරීමට දුලංගා දිසානායක සහ විහාරා සෙව්වන්දි සමත් වුවත් කඩුලු අතර

දිව යෑමේදී විහාරා සෙව්වන්දි ද, ඊළඟ පන්දුවේදී දුලංගා දිසානායක ද දැවී යෑම නිසා අවසන් පන්දුවේදී

ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 6 ක් බවට පත්විය. එහෙත් නවක පිතිකාරිණිය වූ රශ්මි නේත්‍රාංජලීට ලබා ගත හැකි වූයේ ලකුණු 4 ක් පමණි.

පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 කට ලකුණු 134 ක් ලබා ගැනීමට සමත් විය. අඩු ලකුණු සංඛ්‍යාවකට දකුණු අප්‍රිකානු පිල නවතාලීම වෙනුවෙන් පන්දු යැවීමෙන් කැපී පෙනුනු විදුශිකා පෙරේරා ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගනිද්දී දෙව්මි විහංගා ලකුණු 22 කට කඩුලු 2 ක් දවා ගත්තාය.

පන්දුවට පහර දීමේදී සුමුදු නිසංසලා (05), මුළු ලකුණු සංඛ්‍යාව 11 දී දැවී ගියත් නෙත්මි සේනාරත්නට එක් වූ විශ්මි ගුණරත්න දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 37 ක සම්බන්ධතාවක් පවත්වමින් සාර්ථක හඹා යෑමකට අවශ්‍ය අඩිතාලම එක් කර දුන්හ.

අංක 4 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි දෙව්මි විහංගා පන්දු 23 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් ලකුණු 37 ක් ලබා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූවාය.

ලකුණු සාරාංශය

දකුණු අප්‍රිකානු පිල පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 134 යි – (කයිලා රෙයිනෙක් 43, සිමන් ලෝරන්ස් 14, මැඩිසන් ලෑන්ඩ්ස්මන් 21, ජෙනා එවන්ස් 22, කාබෝ මෙසෝ 12, විදුෂිකා පෙරේරා 25/3, දෙව්මී විහංගා 22/2, හරිනි පෙරේරා 17/1, විහාරා සෙව්වන්දි 24/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 133 යි – (නෙත්මි සේනාරත්න 37, දෙව්මි විහංගා 37, මනුදි නානායක්කාර 17, විශ්මි ගුණරත්න 12, කයිලා රෙයෙන්කේ 16/2, මියාන් ස්මිට් 13/1, රෙෆිල්වි මංචෝ 33/1, මැඩිසන් ලෑන්ස්ඩ්මන් 21/1)

advertistmentadvertistment
advertistmentadvertistment