ඊශ්‍රායලයට එරෙහිව හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන නොයෙකුත් පාර්ශ්ව කොටි ත්‍රස්තවාදීන් සහ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා අතර හටගත් හතරවන ඊළාම් යුද්ධය (අගෝස්තු 2006-මැයි 2009) සමග සංසන්දනය කර ඇත. විශේෂයෙන්ම ඉන්දියානු මාධ්‍ය ඔක්තෝබර් 7 වැනිදා සිට ඇවිලෙන ඊශ්‍රායලය – ගාසා යුද්ධය සහ ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය පත්වූ වන්නි යුද්ධය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.

ප්‍රකට ඉන්දීය මාධ්‍යවේදියෙකු සහ විචාරකයෙකු වන එම්. ආර්. නාරායන් ස්වාමි කොටි ත්‍රස්තවාදී සංවිධානයට හිමිවූ ඉරණමම හමාස් ත්‍රස්ත සංවිධානයට හිමිවිය හැකි අවස්ථාව අවධාරණය කර ඇත. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් සාකච්ජා කරන ‘Tigers of Sri Lanka (1994) සහ ‘Inside an Elusive Mind’ (2003) යන කෘතීන් දෙකේ කතෘවරයා වන ස්වාමි හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය හැකි තත්ත්වයක් උදාවී ඇති බව පෙන්වා දී ඇත.

නාරායන් ස්වාමි සඳහන් කර තිබූ ඉතාමත්ම වැදගත් කරුණක් වූයේ ද්‍රවිඩ ත්‍රස්තවාදීන්ට කිසිදු රටකින් උදව් උපකාර නොලැබුන බවත් හමාස් සංවිධානයට ඉරානය ඇතුළුව අනුග්‍රාහකයන් කිහිප දෙනකු සිටින බවත්ය.

මෙහිදී අවධානය යොමුකර ඇති කරුණු කාරණා අතර ලක්ෂ 11කට අධික පලස්තීන ජාතිකයන්ට ගාසා නගරයෙන් සහ ගාසා තීරයේ උතුරු ප්‍රදේශයෙන් වහාම ඉවත් වීමට ඊශ්‍රායලය ඔක්තෝබර් 13 දින දුන් නියෝගය නොසලකා හැරීමට හමාස් සංවිධානය ජනතාවට අණ දීම කොටි සංවිධානය 2009 දී ද්‍රවිඩ ජනතාව නැගෙනහිර වන්නියේ සිර කිරීම (මිනිස් පලිහක් ලෙස යොදා ගැනීම) සමඟ සංසන්දනය කර ඇත.

අල් ජසීරා වර්තාවක ඊශ්‍රායල් හමුදා ගාසා තීරයට ඇතුළු වුවහොත් ඇතිවිය හැකි තත්ත්වය සාකච්ජාවට ලක්කර තිබිණි. ඒ යුදෙව් රාජ්‍යට දෙවන ලෝක යුද්ධයේදී ජර්මනියට රුසියාවේ ස්ටාලින්ග්‍රාඩ් නගරයේදී අත්වූ ඉරණම හිමිවිය හැකි බව අවධාරණය කර තිබිණි.

වන්නි සහ ගාසා යුද්ධ කිසිසේත් සංසන්දනය කළ නොහැක. භූමියේ තත්ත්වය සහ භූ දේශපාලනයේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස්ය. පළමුවෙන්ම නාරායන් ස්වාමිට අවධාරණය කළ යුතු වන්නේ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ත්‍රස්තවාදය ඉන්දීය නිර්මාණයක් බවයි. එම ඉන්දියානු මැදිහත්වීම නොසලකා ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කිසිසේත් විමසා බැලිය නොහැක. දකුණු ඉන්දියාවේ දේශපාලන තත්ත්වය සලකා ඉන්දියාව ශ්‍රී ලංකාවේ කළ මැදිහත් වීම නොවන්නට අද මෙවැනි තත්වයක් උද වන්නේ නැත.

ඉන්දියාව ඇතිකළ තත්ත්වය තුළ ඉන්දියානු හමුදා

ශ්‍රී ලංකාවේ උතුරේ සහ නැගෙනහිර ස්ථානගත කිරීම (ජුලි 1987-මාර්තු 1990) සහ දෙපාර්ශ්වය අතර ඇතිවූ යුද්ධය නාරයන් ස්වාමිට අමතක වී ඇත. ඉන්දියාව ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැපුරුවේ තම හමුදා ශ්‍රී ලංකාවට එවීමට සහ සමස්ත ක්‍රියාදාමය තුළ උතුරේ සහ නැගෙනහිර ෆෙඩරල් පාලනයක් බිහිකිරීමට බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඇත්තවශයෙන්ම කොටි සංවිධානය තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට ක්‍රියාකළ ආකාරය කිසිසේත්ම හමාස් උපායමාර්ග සමඟ සංසන්දනය කළ නොහැක. නමුත් මෙහෙයුම අවසන් වන විට ඉන්දියානු හමුදා සාමාජිකයන් 1,400 ආසන්න ගණනක් මරණයට පත් විය. තුන් දාහකට ආසන්ත ප්‍රමාණක් තුවාල විය. හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මිනිස් බෝම්බ ප්‍රහාරයකින් මරා දැම්මේය. ද්‍රවිඩ ත්‍රස්තවාදීන් කණ්ඩායමක් (කොටි නොවේ) 1988 නොවැම්බර් මාසයේදී මාලදිවයිනේ ජනාධිපති මොහමඩ් අබ්දුල් ගයුම් මරා දැමීමට උත්සාහ කළේය. හමාස් ක්‍රියාත්මක තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ය.

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා තීරණාත්මකව පරාජය කිරීමේ ශක්තිය තමන්ට සතු බව කොටි ත්‍රස්තවාදීන් තදින්ම විශ්වාස කළේය. චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියගේ පාලන කාලයේදී යාපනය අර්ධද්වීපය සම්පූර්ණයෙන්ම යටත් කර ගැනීමේ අවස්ථාව කොටි ත්‍රස්තවාදීන් අතින් ගිලිහී ගියේ යාන්තමිනි. ඒ 2000 අලිමංකඩ දී හමුදාව ලැබූ පරාජයත් සමඟය.

ඊට වසර 6 කට පසුව එකවර උතුරේ, නැගෙනහිර සහ මුහුදේ එල්ල කළ ප්‍රහාර සංකීර්ණ විය. ඒ යාපනය අර්ධද්වීපය යැපුණු නැගෙනහිර මුහුදු සැපයුම් මාර්ගය අහුරා, කිලාලි-මුහමාලේ -නගර්කෝවිල් ඉදිරි ආරක්ෂක වළල්ල විනාශ කර ඊට උතුරින් ස්ථානගත කර තිබූ සියලු හමුදා කොටුකර ගැනීම එම සැලසුමයි. උපක්‍රමික න්‍යෂ්ටික අවි වලින් පවා සන්නද්ධ ඊශ්‍රායලය කිසිසේත් එවැනි තර්ජනයකට ලක් කළ නොහැක. කොටි සැලසුම් සංවිධානයේ අවසානය දක්වාම තීරණාත්මක යුද ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් ක්‍රියාත්මක කළ අතර හමාස් සංවිධානයට එවැනි බලාපොරොත්තුවක් කිසිසේත් තිබිය නොහැක. ඔවුන් ඔක්තෝබර් 7 වැනි දින එල්ල කළ ප්‍රහාරයේ ප්‍රධාන අරමුණ වූයේ ඊශ්‍රායලය යම්කිසි සැලකිය යුතු කාලයකට අස්ථාවර කිරීමයි. එම තත්ත්වය සාක්ෂාත් කර ගැනීමට අදහාගත නොහැකි වන්දියක් ගෙවීමට තමන් නියෝජනය කරන සහ තමන් ආරක්ෂක කරන බවට සපථ කර ඇති ජනතාවට සිදුවන බවට හමාස් නායකත්වය දැන සිටිය බව සහතිකය.

ඇත්ත වශයෙන්ම හමාස් ඊශ්‍රායලයට ප්‍රහාරය එල්ල කරන්නේම අතිශය විනාශකාරී ප්‍රතිප්‍රහාරයක් බලපොරොත්තුවෙන්ය. ඒ ක්ෂණික ඊශ්‍රායල් ප්‍රතිප්‍රහාරයකින් සහ තමන්ට ලෝකය ඉදිරියේ සිදුවූ ලජ්ජාව යටපත් කිරීමට යුදෙව් රාජ්‍ය යුද ක්‍රියාමාර්ග තුළ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්හායු ගේ රජය සහ ඔහුගේ ප්‍රධාන ආරක්ෂකයා වන ඇමෙරිකා එක්සත් ජනපදය අපහසුවට ලක් කිරීමයි. ද්‍රවිඩ ත්‍රස්තවාදීන් ඇතිකළ/නැතහොත් ඇතිකර ගත් තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.

පැය 48 ඇතුළත යුදෙව් ජාතිකයන් 1,300 මරා දැමීම ආඩම්බර ජාතියකට කෙලසවත් ඉවසිය නොහැක. කෝපවී සිටින ඊශ්‍රායලයට ඉවසීමෙන් ප්‍රතිචාර දැක්වීමට බලකිරීම තේරුමක් නැත.

බටහිර සහයෝගය

ගාසා යුද්ධයේදී ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටින බටහිර බලවතුන් ඊළාම් යුද්ධයේදී ද්‍රවිඩ ත්‍රස්තවාදය වෙනුවෙන් කිසිදු හිරිකිතයක් නොමැතිව පෙනී සිටියේය. ඔවුන් කවදත් පෙනී සිටියේ ඊශ්‍රායලය වෙනුවෙනි. භූ දේශපාලනයේ සැබෑ තත්ත්වය එයයි.

කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්, ඔහුගේ පවුල සහ පොට්ටු අම්මාන් ඇතුළු ප්‍රධාන ත්‍රස්තවාදී නායකයන් බේරා ගැනීමට බටහිර පදයට නටන එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඇමෙරිකාව තීරණාත්මක උත්සාහයක් ගත්තේය. ඔවුන් නොකළ දෙයක් නැත. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම කිසිසේත් නොනවත්වන බවට ගත් ස්ථාවරය නොවන්නට කොටි සංවිධානය අදටත් ක්‍රියාත්මකය.

ඇමෙරිකාව ඊශ්‍රායලයට දක්වන අනුග්‍රාහකත්වය අවධාරණය කිරීමට ලෝක බලවතා ජෝ බයිඩන් ඔක්තෝබර් 18 වන දින යුදෙව් දේශයට පැමිණියේය. ඒ ගාසා තීරයේ රෝහලකට එල්ල කළ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් 500 අධික සාමාන්‍ය වැසියන් මියගිය බවට සමස්ත අරාබි ලෝකයම ඊශ්‍රායලයට චෝදනා කරන අවස්ථාවකදීය. ඊශ්‍රායලය චෝදනා කර ඇත්තේ පලස්තීන ඉස්ලාමික් ජිහාඩ් සංවිධානය තම රට ඉලක්ක කර ක්‍රියාත්මක කළ රොකට්ටුවක් අතරමග පිපිරී යෑමෙන් ජීවිත හානි සිදුවූ බවයි. බයිඩන් එම ප්‍රකාශය සනාථ කර ඇත. එමගින් ඊශ්‍රායලයට වෙනුවෙන් කිසිදු පසුබෑමකින් තොරව පෙනී සිට ඇත.

එයට සාපේක්ෂව බටහිර කඳවුර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය විමසා බලමු. එදා වන්නි සටන අවසන් අදියරයේ දී ඇමෙරිකාව ආශීර්වාදය ඇතිව ප්‍රභාකරන් හමුවීමට එවකට මහා බ්‍රිතාන්‍යයේ විදේශ ඇමැති ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ ප්‍රංශ විදේශීය ඇමැති බර්නාර්ඩ් කුච්නර් 2009 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණියේය. එම හමුවීමට අවශ්‍ය භූමියේ තත්ත්වය නිර්මාණය කිරීමට බටහිර කඳවුර වෙනුවෙන් එම විදේශ අමාත්‍යවරු දෙදෙනා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට බල කළේය. විදේශ අමාත්‍යවරුන් අවධාරණය කළේ නැගෙනහිර වන්නියේ වහාම සටන් විරාමයක් ක්‍රියාත්මක කළ යුතු බවයි. එය කිසි ලෙසකින්වත් කළ නොහැකි බව ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය. එම බල කිරීම සමඟ එදා ශ්‍රී ලංකා සාම වෑයමේ ප්‍රධාන කොටස්කරුවන් වූ ඇමෙරිකාව, නොර්වේ, ජපානය සහ යුරෝපීය සංගමයද විය.

නමුත් බටහිර කණ්ඩායමට ගාසා හි සටන් විරාමයක් අවශ්‍ය නැත. ඒ ඊශ්‍රායල් හමුදා තවමත් මෙහෙයුම් වල දී සිටින බැවිනි. පහරදෙන යුදෙව් රාජ්‍ය සෑහීමකට පත්වනතුරු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කිසිදු යෝජනාවක් සම්මත නොකර සිටීමේ අවස්ථාව වැඩිය. රුසියාව ආරක්ෂක මණ්ඩලය කළ යෝජනාවට එරෙහිව ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ජපානය ජන්දය දුන්නේය. රටවල් හයක් ජන්දය දීමෙන් වැලකී සිටියේය. රුසියාව, චීනය, අරාබි එක්සත් එමීර් රාජ්‍ය, මොසැම්බික් සහ ගැබොන් ඊට පක්ෂව ජන්දය දුන්නේය.

ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකාව ජිනීවා දඬු කඳේ හිරකළෙත් රුසියානු යෝජනාවට එරෙහිව ජන්දය දුන් කණ්ඩායම බව තේරුම් ගත යුතුය. ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් අතුගා දමා වසර 15 කට පසුවත් අප රටෙන් පලිගන්න කටයුතු කරන්නේ අද යුදෙව් දේශය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමේ කොටසක් බව මතක තබා ගත යුතුය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය

කොටි සංවිධානය 2006 අගෝස්තු මාසයේ දෙවන සතියේ හතරවන ඊළාම් යුද්ධය ආරම්භ කරන අවස්ථාවේ ඉතාමත් ශක්තිමත් තත්ත්වයක සිටියේය. සටන ආරම්භයේදී හමුදාව බරපතළ පසුබෑමකට ලක්විය. මුහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ල බිඳ වැටුන අතර සෙබළුන් සිය ගණනක් සති කීපයක් තුළ මරුමුවට පත්විය. ඒ අවස්ථාවේ මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා හමුදාපති ලුතිනල් ජෙනරාල් සරත් ෆොන්සේකා සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය අතර ඔහුගේ පැමිණීමත් සමඟ යුද භූමියේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් වෙනස් විය.

වසර 2007 ජුනි වනවිට නැගෙනහිර හමුදාවට නතුවූ අතර 2009 පෙබරවාරි අවසන් සතිය වන විට කොටි සංවිධානය බරපතළ ලෙස පිරිහීමකට ලක්වී තිබුණි. ඔවුන්ට ගැලවීමට තිබූ එකම මාර්ගය බටහිර මැදිහත් වීමක් පමණි. ත්‍රස්තවාදීන්ගේ මුහුදු සැපයුම් මාර්ගය සම්පූර්ණයෙන්ම විනාශ අර තිබූ අතර උතුරු ශ්‍රී ලංකාව සහ දකුණ ඉන්දියාව අතර මුහුදු සැපයුම් මාර්ගය බිඳ වැටී තිබිණි. ඇත්ත වශයෙන්ම කොටි සංවිධානය අන්ත අසරණ වී සිටිය බව රහසක් නොවේ. එසේ නොවන්නට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් දෙදෙනකු නියෝජනය කරමින් එම විදේශ අමාත්‍යවරු ප්‍රභාකරන් හමුවීමට පැමිණෙන්නේ නැත. ඔවුන්ට හිස් අතින් යෑමට සිදුවීම අවධාරණය කළේ එදා ශ්‍රී ලංකා දේශපාලන නායකත්වයේ ප්‍රබලත්වයයි.

ඇමෙරිකාව – යුරෝපීය සංගමය – නොර්වේ සහ ජපානය මැදිහත් වී 2002 පෙබරවාරි මාසයේ අත්සන් කළ ගිවිසුමක් මගින් කොටි සංවිධානයේ අණසකට උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක සියල්ල යට කළේය. එදා එජාප ආණ්ඩුව ත්‍රස්තවාදයට දැක්වූයේ නපුංසක ප්‍රතිචාරයකි. කෙටියෙන් කිවහොත් ආණ්ඩුව ත්‍රස්තවාදයට යට විය. ත්‍රස්තවාදීන් 2005 අගෝස්තු මාසයේ 12 දින අප ආදරණීය විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා එතුමාගේ බුලස් පාරේ නිවාසයේදී මරා දමන අවස්ථාවේදී ඔවුන් හතරවන ඊළාම් යුද්ධයට සූදානම් වී සිටි බවට සැකයක් නැත. ඉන්පසුව 2006 අප්‍රේල් මාසයේ 25 දින හමුදාපති ලුතිනල් ජෙනරාල් සරත් ෆොන්සේකා මරා දැමීමට උත්සාහ කළේය. ශ්‍රී ලංකාව යුද්ධය ආරම්භ කළේ නැත. ඒ වසරේම ඔක්තෝබර් 01 දින ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට මරාගෙන මැරෙන ප්‍රහාරයක් පිත්තල හන්දියේදී එල්ල විය. ඒත් ශ්‍රී ලංකාව යුද්ධය ආරම්භ කළේ නැත. අවසානයේදී ත්‍රස්තවාදීන් 2006 අගෝස්තු මස දෙවන සතියේ හතරවැනි ඊළාම් යුද්ධය ආරම්භ කළේ කිලාලි-මුහමාලේ -නාගර්කෝවිල් ඉදිරි ආරක්ෂක වලල්ල බිඳදමා යාපනය තම අණසකට ගැනීමට ප්‍රයන්තයක් දැරීමෙනි.

2009 ජනවාරි වනවිට කොටි යුද්ධය පරාජය විය. 2009 ජනවාරි-මැයි කාලය තුළ නැගෙනහිර වන්නියේ ඉතා කුඩා ප්‍රදේශයක යම්කිසි ස්ථාවරත්වයක් ගොඩනගාගැනීමට කොටි සංවිධානය උත්සාහ කළේය. ඒ බටහිර මැදිහත්වීමකට අවශ්‍ය වාතාවරණය ඇති කිරීමටය. බටහිර ජන්ද අයිතිය ලබා ඇති ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් ඒ රටවල ප්‍රධාන දේශපාලන පක්ෂවලට කරන බලපෑම සුළුපටු නොවේ. ඒ ලෙසම එම පක්ෂ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඒ ඒ රටවල ජන්ද අයිතිය ලබා ඇති පුද්ගලයන්ට බලපෑම් කිරීමද රහසක් නොවේ. හොඳ උදාහරණයක් වන්නේ මහා බ්‍රිතාන්‍යයේ වෙසෙන කොන්සවේටිව් පක්ෂයට සහයෝගය දක්වන ද්‍රවිඩයන් ගාසා යුද්ධයේදී තමන් ඊශ්‍රායලය සමඟ බව ප්‍රකාශ කිරීමයි.

ද්‍රවිඩ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ඊශ්‍රායලය ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය දුන් බව අදත් කොටි සංවිධානය වෙනුවෙන් පෙනී සිටින ඔවුන් අමතක කර ඇත. ඊශ්‍රායල් වේග ප්‍රහාරක යාත්‍රා, යුද නැව්, ජෙට් ප්‍රහාරක යානා ඇතුළු අනෙකුත් උපකරණ සහ අද්විතීය පුහුණුව සහ සටන් උපක්‍රම යුදෙව් රාජ්‍ය ශ්‍රී ලංකාව සමඟ බෙදාගත් බව රහසක් නොවේ. ඊශ්‍රායල් යුද උපදේශකයන් අප පාබල හමුදා නිලධාරීන්ට අග්‍රගණයේ පුහුණුවක් මෙහිදී ලබා දුන් බව ස්තුති පූර්වකව සිහිපත් කළ යුතුය. එකම කාලයක ඊශ්‍රායල් සහ පකිස්තාන යුද පුහුණුකරුවන් මෙහි ක්‍රියාමක වූ බව සඳහන් කළ යුතුය.

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ සිට ශ්‍රී ලංකාවට ලබා දුන් ශක්තිය ඇමෙරිකාවේ ආශීර්වාදය මත සිදුවූවක් බව අප මතක තබා ගත යුතුය. ත්‍රස්තවාදීන්ගේ පාවෙන අවි ගබඩා 2007-2008 කාලය තුළ විනාශ කිරීම සඳහා නිවැරදි බුද්ධි තොරතුරු ලබා දෙමින් ඇමෙරිකාව යුද්ධය ජයග්‍රහණය කිරීමට ප්‍රබල දයාත්වයක් දුන් බවද රහසක් නොවේ. අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ඒ සම්බන්ධයෙන් තමන් ලිවූ ‘අධිෂ්ටානය’ පොතේ අවධාරණය කර ඇත.

ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කර වසර 15 ගත වී ඇත. ප්‍රභාකරන් පරලොව යැවූ දිනයේ සිට ත්‍රස්තවාදීන්ට හිස එසවීමට අවස්ථාවක් ලැබුණේ නැත. නමුත් ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළම අවධානය යොමුකිරීම කවුරු බලයේ සිටියත් එම ආණ්ඩුවේ වගකීමයි. ඔක්තෝබර් 07 වන දින හමාස් ප්‍රහාරය අවධාරණය කරන්නේ නිසි අවධානයක් යොමු නොකරන තත්ත්වයක් තුළ බරපතළ අර්බුදයකට මුහුණ දීමට සිදුවිය හැකි බවයි. නොසැලකිලිමත් ඊශ්‍රායල් ආණ්ඩුව අද තත්ත්වය අවධාරණය කර ඇත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment