පොලොන්නරුව රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් ඉස්සූ රංචුවම අල්ලයි

623

ඔක්සිජන් සිලින්ඩර් 75ක් සමග ප්‍රවාහනය කළ කැබ් රියත් දැලේ

පොලොන්නරුව මහ රෝහලේ සිදුවී ඇතැයි කියන රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් ඔක්සිජන් සිලින්ඩර් සොරකම් කර විකිණීමේ ජාවාරමට සම්බන්ධ බවට සැකපිට එම රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයකු ඇතුළු සැකකරුවන් 06 දෙනකු සමග සොරකම් කරන ලද ඔක්සිජන් සිලින්ඩර් 75ක්ද අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

ඔක්සිජන් සිලින්ඩර් ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් බව කියන කැබ් රථයක්ද පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සිලින්ඩර් තොගය අතර ලීටර් 47 වෛද්‍ය වායු සිලින්ඩර් 25ක් සහ ලීටර් 10 වායු සිලින්ඩර් 50 ක්ද වන බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සෞඛ්‍ය සේවකයා පොලොන්නරුව, රෝහල හංදිය, තඹාල පාර පදිංචිකරුවකු බවත් සෙසු සැකකරුවන් කොළඹ රාජගිරිය, හෙයියන්තුඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් හෙළිවී ඇතැයි පොලිස් නිලධාරීහු පැවැසූහ. රෝහල් සේවකයා හැර අනෙක් සැකකරුවන් සියලුම දෙනා රෝහල්වලට ඔක්සිජන් සිලින්ඩර් සපයන පෞද්ගලික සමාගමක සේවය කරන අය බවද අනාවරණය වී ඇත. ප්‍රධාන සැකකරු විසින් සොරකම් කරන ලද ඔක්සිජන් සිලින්ඩරයක් රුපියල් 30,000ක් 40,000ක් වැනි මිලට ඔක්සිජන් සැපයුම්කරුවන්ට විකුණා මුදල් ලබාගෙන ඇති බව විමර්ශනවලදී වැඩිදුරටත් හෙළි වී තිබේ.

පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂවරයාගේ නියමයෙන් සිදු කළ අභ්‍යන්තර පරීක්‍ෂණයකදී ඔක්සිජන් සිලින්ඩර් 208ක තොගයක අඩුවක් ඇති බවට හෙළිවී ඇති අතර පසුව මේ පිළිබඳව පොලොන්නරුව පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව විමර්ශනය කළ පොලාන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රසන්න ජාගොඩගේ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් සහ නඩු භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇත.
කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment