තෙවැනි චාල්ස් රජු රාජාභිෂේක ලබයි

286

වසර දහසක් පැරණි චාරිත්‍ර මැද අති උත්කර්ෂවත් මංගල්‍යයකින්

තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යය සෙනසුරාදා දිනයේ ලන්ඩන් නුවරදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විය. වසර 70 කට පසු බි්‍රතාන්‍යයේ පැවැත්වෙන පළමු රාජාභිෂේකය වන මෙහිදී වසර 1,000ක පැරැණි චාරිත්‍ර විධි අනුගමනය කිරීම විශේෂත්වයකි.

මෙහිදී බි්‍රතාන්‍යයේ නව රැජින ලෙස අභිෂේක ලැබුවේ, ඩයනා කුමරියගේ දික්කසාදයෙන් පසු චාල්ස් කුමරු විවාහ කරගත් කැමිලා බෝල්ස් පාකර් ය.

දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයත් සමග රාජ්‍යත්වයට පත්වූ තෙවන චාල්ස් රජු සහ රජ මෙහෙසිය කැමිලාගේ රාජාභිෂේක මංගල්‍යය පැවැත්වුණේ ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේදීය.

වෙස්ට්මින්ස්ටර් ආසන දෙව් මැඳුරේදී රාජ මෙහෙසිය කැමිලා සමග ඔටුනු පැළඳි රජු, වර්ෂ 1066න් පසු එම දෙව් මැඳුරේදී කිරුළු පළන් 40 වැනි රාජ්‍යත්වය දරන අධිරාජ්‍යයා ලෙස ඉතිහාස ගතවිය. රාජකීය පවුලේ වෙබ් අඩවියට අනුව එක්සත් රාජධානිය යනු රාජාභිෂේකයන් සඳහා තවමත් රාජ අභිෂේක භාණ්ඩ භාවිත කරන එකම යුරෝපීය රටයි. රාජ අභිෂේක භාණ්ඩ හෙවත් රාජ කකුධ යනු ඔටුන්න, ගෝලය හා සෙංකෝලය වැනි රාජකීයත්වයේ සංකේතයන්ය. මෙම උත්සවයේ ප්‍රධාන අවස්ථාවන්හි දී රජුගේ ගෝලය, රජුගේ කුරුසිය සහිත සෙංකෝලය, සහ රජුගේ පරෙවියා සහිත සෙංකෝලය සහ අනෙකුත් අංගයන් චාල්ස් රජු වෙත පිරිනමනු ලැබීය.

රාජාභිෂේක මංගල්‍යයේදී තෙවැනි චාල්ස් රජු ඔහුගේ ජීවිතයේ එකම වරකට ශාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න පළඳිනු ලැබුවේය.

තෙවැනි චාල්ස් ශාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න පළඳින සත්වැනි රජුය. ඔහුට පෙර, දෙවැනි චාල්ස්, දෙවැනි ජේම්ස්, තෙවැනි විලියම්, පස්වැනි ජෝර්ජ්, සයවැනි ජෝර්ජ් හා අවසන් වරට 1953 දී ඇගේ රාජාභිෂේකයට එය පැළඳි දෙවැනි එලිසබෙත් රැජින ඔහුට පෙර එය පැළඳුවෝ වෙති.

තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද එක්ව සිටියහ.

එමෙන්ම කොවිඩ් වසංගත සමයේ කළ සේවය වෙනුවෙන් රැජිනගේ සම්මානයට පාත්‍රවූ ශ්‍රී ලාංකික වෛද්‍ය හරීන් ද සිල්වා මහතාද රාජාභිෂේකයට ඇරියුම් ලබා තිබුණි. බි්‍රතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයින් සියලුදෙනාම පාහේ මෙම ඓතිහාසික උත්සවය සඳහා එක්වූ අතර ඊට රාජකීයත්වය අත්හැර ගොස් අමෙරිකාවේ රැඳී සිටින හැරී කුමරුන් ද අයත් වේ. කෙසේ නමුත් ඔහුගේ බිරිඳ වන මේගන් මර්කල් හෝ දරුවන් ඊට සහභාගි වූයේ නැත.

මෙම රාජාභිෂේක උත්සවයට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ට සහ බෙලරුස්, ඉරාන, මියන්මාර, සිරියානු, ඇෆ්ගනිස්තාන සහ වෙනිසියුලානු රාජ්‍ය නායකයින් ඇරියුම් ලබා තිබුණේ නැත.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment