ගිනිඅවිය ගුවන් යානය ප්‍රමාද කරයි

346

කටුනායක සිට ඉන්දියාවේ චෙන්නායි බලා පෙරේදා (06දා) දහවල් පිටත්ව යෑමට නියමිත ගුවන් යානයේ ආරක්ෂක නිලධාරීවරයා (ky Marshall) සිය උණ්ඩ පිරවූ ගිනි අවිය (පිස්තෝලය) සමග කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය (Transit Passenger Terminal) වෙත පැමිණ සිටියදී, කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් භාරයට ගැනීම නිසා එම ගුවන් යානය පිටත්ව යෑම පැය හතරකින් පමණ ප්‍රමාද වීමකට ලක් වී තිබූ බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේය.

සෑම ගුවන් යානයකම මෙවැනි ආරක්ෂක නිලධාරීවරයකු ගුවන් යානයේ, මගීන්ගේ සහ කාර්යය මණ්ඩලයේ ආරක්ෂාව පිණිස යොදවා තිබේ. එහිදී එම ආරක්ෂක නිලධාරීවරයාට, සිය ගිනි අවිය ගුවන් යානයෙන් පිටතට ගෙන යෑම සපුරා තහනම් වන අතර, එම ආරක්ෂක නිලධාරීවරයාට ගුවන් යානයෙන් පිටතට යෑමට අවශ්‍ය නම්, එම ගිනි අවිය ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වෙත භාර දිය යුතුය.

මෙසේ මෙම ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 272 දරන ගුවන් යානයේ ආරක්ෂක නිලධාරීවරයා, ඉන්දියාවේ විශේෂ කාර්ය බළකායේ නිලධාරීවරයකු වන අතර, ඔහු සිය ගිනි අවිය ද රැගෙන, මෙම ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා සමග කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික මගී පර්යන්තය වෙත පැමිණ තිබේ.

එසේ පැමිණි ඔවුන් ආපසු යමින් සිටියදී, මෙම ඉන්දීය ගුවන් යානා ආරක්ෂක නිලධාරීවරයා සන්තකයෙහි පැවති ගිනි අවිය, කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීවරයකුට දැක ගැනීමට ලැබී ඇති අතර, ඔහු වහාම ගුවන්තොටුපළ ආරක්ෂක ප්‍රධානීන් දැනුවත් කර, මෙම ඉන්දීය ආරක්ෂක නිලධාරීවරයා, කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ.

මේ ආකාරයට ගිනි අවියක් සහිතව ගුවන් තොටුපළ තුළදී අත්අඩංගුවට පත් වුවහොත්, ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සිදු කළ යුතු අතර, මෙයට සමගාමී සිදුවීම් කීපයක්ම ඇමෙරිකානු සහ රුසියානු ජාතිකයන් සම්බන්ධයෙන් පසුගිය මාසවල කටුනායක ගුවන් තොටුපළ තුළ දී ඇති වී තිබූ අතර, ඔවුන් සියලු දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.

පසුව මෙම සිද්ධියට දෙරටේ උසස් ආරක්ෂක ප්‍රධානීන් සහ තානාපති කාර්යාල මැදිහත් වීමෙන් මෙම ප්‍රශ්නය දුර දිග නොයවා විසඳා ගැනීමට කටයුතු කර තිබුණි.

ඒ අනුව 05/06 දින දහවල් 01.35 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යෑමට තිබූ මෙම ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 272 දරන ගුවන් යානය පසුව පස්වරු 05.35 ට කටුනායක ගුවන් තොටුපළෙන් චෙන්නායි බලා පිටත්ව ගොස් තිබුණි.

මේ පිළිබඳව ඉන්දියාවෙන් ලැබෙන තොරතුරු අනුව, මේ වනවිට මෙම සිද්ධියට භාජනය වූ ඉන්දීය ආරක්ෂක නිලධාරීවරයාගේ සියලු උසස් වීම් අත්හිටුවා, මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment