අවිස්සාවේල්ලේදී වෙඩි කෑ මන්න රමේෂ්ගේ මහ මොළකරු

1510

සීතාවකපුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන කොඩිතුවක්කු මහතාගේ නිල කාමරයේ ඒ මහතා ඉදිරියේ දණින් වැටී සිටින කෙසඟ තරුණයන් සිව් දෙනෙකි. මොවුන් සිව්දෙනා විවිධ අපරාධවලට සම්බන්ධ වී සිටි ඉතාම ලාබාල වයසේ පසු වූ තරුණයන් වූහ.

පාතාල අපරාධ මර්දනය කිරීම මෙන්ම පාතාල මැරයන්ට නිසි දඬුවම් දීම සම්බන්ධයෙන් මනා දැනුමක් ඇති චන්දන කොඩිතුවක්කු මහතා තමන් ඉදිරියේ දණින් වැටී සිටින ලාබාල වයසේ පසුවන මේ තරුණයන් දෙස සිය තියුණු දෑස් යොමා සිටියේය. නිහැඬියාව බිඳමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හඬ අවදි කළේය.

“මම තමුන්ලා මෙතන්ට ගෙන්නුවේ අවවාදයක් දෙන්න. ඒක අවවාදයක් වගේම අනතුරු ඇඟවීමක් තේරුණාද?”

“තමුන්ලා අවිස්සාවේල්ලට විතරක් නෙමෙයි මේ අහල ගන් හතටම මහා පිළිලයක් වේගෙන එනවා කියලා මට දැනගන්න ලැබුණා.“

“අවිස්සාවේල්ලට චන්ඩි ඕනෙ නැහැ. පාතාලයෝ ඕනෙත් නැහැ. මමත් හොඳ පාතාල කෙළිකාරයෝ එක්ක හැප්පිච්ච කෙනෙක්. ඒ නිසා මං මේක තමුන්ලට දෙන පළවෙනි අවවාදයත් අවසාන අවවාදයත් කියලා හිතා ගන්නවා.”

“ආයුධ අතට අරන් සෙල්ලං දාන්න ලෑස්ති වෙන්න එපා. මගේ අවවාද අහන්නෙ නැතිව ආයුධ අතට ගත්තොත් අපිටත් සිද්ධවෙනවා ආයුධ වලින්ම උත්තර දෙන්න”

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා උච්ච ස්වරයෙන් කියද්දී කෙසඟ තරුණයන් තිගැස්සුණෝය. මේ සිද්ධිය වන්නේ මීට වසර 2කට පමණ උඩදී ය. චන්දන කොඩිතුවක්කු මහතා මෙසේ අවවාද කළේ අවිස්සාවේල්ලේ අංකුර පාතාලයන් වෙමින් සිටි ළාබාල තරුණයන් පිරිසකට ය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඉදිරියේ දණින් වැටී සිටි තරුණයන් අතර පසු කලෙක අවිස්සාවේල්ලට පමණක් නොව මුළු රටටම පිළිලයක් වූ මන්නා රමේෂ් ද සිටියේය. මන්නා රමේෂ් බිහිකර ගත් පාතාල කල්ලියේ ඔහු යටතේ සිටි සමීපතම මැරයන් දෙදෙනා වූ තල්දූවේ මහේෂ් සහ නදීර ද ඒ අතර වූහ.

පාතාල අපරාධකරුවන් පිළිබඳව මනා දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන කොඩිතුවකු තමන් ඉදිරියේ සිටින මේ ලාබාල තරුණයන්ගේ අනාගතය කල්තියාම දුටුවේය. මේ තරුණයන් කිසියම් දිනෙක මහා අපරාධකාරයන් වනු ඇතැයි කියා තේරුම් ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඔවුන් යහමඟට ගැනීමට අවවාද අනුශාසනා කළේය. එහෙත් කොඩිතුවක්කු මහතාගේ අවවාද ගඟට කැපූ ඉනි මෙන් විය. මන්නා රමේෂ් ඇතුළු පිරිස අවිස්සාවේල්ල කේන්ද්‍ර කර ගනිමින් පාතාල කල්ලියක් බිහිකර ගත්තේය.

අධිකාරම් මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියංජන හෙවත් මන්නා රමේෂ් උපත ලබන්නේ 1992 වර්ෂයේ පෙබරවාරි 22 වැනිදා ය. ඒ යාලගම නාපාවලදී ය. තල්දූව බෞද්ධ විiාලයෙන් සහ අවිස්සාවේල්ල ශාන්ත මරියා විiාලයෙන් අපොස සාමාන්‍ය පෙළ දක්වා ඔහු අධ්‍යාපනය ලැබුවේය. රක්‍ෂණ ආයතන කීපයක රැකියාව කළ ද ඒ රැකියාවලින් ඔහු සෑහීමට පත් වුණේ නැත. එකවරම යහමින් මුදල් ඉපයීම රමේෂ්ගේ සිහිනයක් වී තිබුණේය.

බල්ලන් මරා හෝ මුදල් ඉපයීමේ ප්‍රතිපත්තියේ සිටි රමේෂ් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සිය ආදායම් මාර්ගය කර ගත්තේය. ඒ වනවිට අවිස්සාවේල්ලේ සහ තල්දූවේ රස්තියාදුකාරයන් කීපදෙනෙකුම රමේෂ්ගේ සමාගමට එක්ව සිටියහ. තල්දූවේ මහේෂ් සහ නදීර ද ඒ අතර වූහ. කසිප්පු ව්‍යාපාරය දිගින් දිගටම පොලිසියෙන් වැටලීම නිසා එය අතහැර දැමූ මහේෂ් පතල් කර්මාන්තයට අත ගැසුවේය. අලුත් ව්‍යාපාරය හරහා යහමින් මුදල් අතපත ගාන්නට පටන් ගත් මහේෂ් අවිස්සාවේල්ල ප්‍රදේශය පුරා කිසියම් ආධිපත්‍යයක් ගොඩනගා ගන්න උත්සාහ කළේය.

ඒ වනවිට අවිස්සාවේල්ලට පිළිලයක් වූ කාලකණ්ණින් රැලක් රමේෂ් වටා රොක්ව සිටියහ. තමන්ට එරෙහි වන පුද්ගලයන් භීතියට පත් කිරීමට මන්නා පිහි ඇතුළු තියුණු ආයුධ ළඟ තබා ගන්නට රමේෂ් කටයුතු කළේය. රමේෂ් ප්‍රියන්ජන මන්නා රමේෂ් යනුවෙන් අවිස්සාවේල්ල පුරා කුප්‍රකට වන්නේ එතැන් සිටය. තමන්ට එරෙහි වන පුද්ගලයන් මන්නා පිහිවලින් කපා කොටා තුවාල කිරීමට රමේෂ් ඇතුළු උගේ කල්ලියම ක්‍රියා කළහ. පතල් කර්මාන්තය කරගෙන යන අතරතුර මංකොල්ලකෑම්, හොරකම් කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නොයෙකුත් නීති විරෝධී ක්‍රියාවල නිරත වෙමින් මුදල් ඉපයීම රමේෂ්ගේ ප්‍රධාන ආදායම් මාර්ග විය.

නීති විරෝධී පතල් කැනීම මෙන්ම මැණික් ව්‍යාපාරිකයන්ට තර්ජනය කර කප්පම් මුදල් ලබා ගැනීම මන්නා රමේෂ් ජයටම කරගෙන ගියේය. රමේෂ් විසින් සිදුකළ මුල්ම මිනිස් ඝාතනය වාර්තා වන්නේ 2018 වර්ෂයේදී ය. ඒ වනවිට යන්තම් වයස අවුරුදු 26 සම්පූර්ණ කර සිටි මන්නා රමේෂ් අවිස්සාවේල්ල ප්‍රදේශයේදී පුද්ගලයකු කපා කොටා ඝාතනය කළේය. 2021 වර්ෂයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කළ මන්නා රමේෂ් බන්ධනාගාරගත කෙරිණි. බන්ධනාගාරයේදී විවිධ අපරාධකාරයන් දැන හඳුනාගත් රමේෂ් ඇප මත ඉන් පිට වන්නේ මහා අපරාධකාරයකු වීමේ සිහින දකිමින් ය. භද්‍ර යෞවනයේ පසු වූ රමේෂ් ඒ වනවිට පෙම්වතියක් ඇසුරු කරමින් සිටියේය. ඇය නමින් ප්‍රියමාලි ය. රමේෂ් මේ තරුණියට බෙහෙවින් ආදරය කළේය. මනා රූසපුවක් ඇති ප්‍රියමාලී දකින ඕනෑම කෙනෙකුගේ සිත වසඟකර ගැනීමට සමත් වූවාය. රමේෂ්ගේ කල්ලියට සම්බන්ධ වී සිටි තරුණයකු ප්‍රියමාලිට රහසින් පෙම් බැන්දේය. කාලයක් තිස්සේ සිතේ සිරකරගෙන සිටි මේ ප්‍රේම යෝජනාව තරුණයා විසින් ප්‍රියමාලිට යෝජනා කරන්නේ එය තවදුරටත් සිරකරගෙන සිටිය නොහැකි නිසා ය.

කවිෂ්ක නමැති මේ තරුණයාට ප්‍රියමාලි ද ඇලුම් කළාය. රමේෂ් නමැති මැරයාට මෙන්ම ඒ මැරයාගේ ගෝලයකු වන කවිෂ්කට ද එක ලෙස ප්‍රේම කිරීමට ප්‍රියමාලිට සිදුවිය. එහෙත් මේ ද්විත්ව රංගනය වැඩි දවසක් රහසක් ලෙස තබා ගැනීමට ප්‍රියමාලිට හැකි වුණේ නැත.

“උඹ අර කවිෂ්කයා එක්ක යාළුයි නේද? මට ඇත්ත කියපං”

ප්‍රියමාලිගේ මේ සම්බන්ධය ගැන දැනගත් මන්නා රමේෂ් ඇගෙන් මේ ගැන විමසුවේය.

“එයා තමයි මා එක්ක යාළු වුණේ. මං බැහැ කිව්වා. ඒත් එයාගෙන් බේරෙන්න බැරි වුණා”

මන්නා රමේෂ්ගේ තරම දන්නා ප්‍රියමාලි කිසිවක් නොසඟවා හෙළි කළාය. මන්නා රමේෂ් යක්‍ෂාවේෂ වුණේය. තමන් සමඟ එකට සිටින එකකු තම පෙම්වතිය ඩැහැ ගැනීමට උත්සාහ කිරීම ගැන රමේෂ් සිටියේ දැඩි වෛරයෙන් යුතුවය. මන්නා රමේෂ් සිය සමීපතම සඟයා වූ තල්දූවේ මහේෂ් කැඳවා කවිෂ්කට පාඩමක් ඉගැන්වීමට සැලසුම් කළේය.

“මට කරපු වැඩේට ඕකව පරලොව යවන්න ඕනෙ. උඹ මේ වැඩේ කරපං. තව කොල්ලො දෙන්නෙක් මං දෙන්නම්.”

රමේෂ් සිය කල්‍යාණ මිත්‍රයා බඳු වූ මහේෂ්ට කීවේය. තම පෙම්වතිය වූ ප්‍රියමාලිට කතාකර ඇයගේ මාර්ගයෙන් කවිෂ්ක අවිස්සාවේල්ල නගරයේ සුපිරි වෙළෙඳ සලක් අසලට ගෙන්වා ගැනීමට රමේෂ් කටයුතු කළේය.

සුපිරි වෙළෙඳ සල ඉදිරිපිටදී කවිෂ්ක කපා කොටා ඝාතනය කිරීම මන්නා රමේෂ්ගේ සැලසුම වී තිබුණේය. මේ කිසිවක් නොදත් ප්‍රියමාලි කවිෂ්කට දුරකථනයෙන් කතාකර අවිස්සාවේල්ල නගරයේ සුපිරි වෙළඳ සලක් අසලට පැමිණෙණ ලෙස දැනුම් දුන්නාය.

ඒ වනවිට තල්දුවේ මහේෂ් සහ රමේෂ්ගේ ගෝලයන් දෙදෙනෙක් ඒ අසල රැකවල්ලා ගෙන සිටියහ. තම පෙම්වතියගේ සුන්දර මුහුණ දැකීමේ අරමුණෙන් කවිෂ්ක සුපිරි වෙළෙඳ සල අසලට ආවේය. ඔහු තම මිතුරකු ද කැටිව ආවේ රමේෂ්ගෙන් කිසියම් තර්ජනයක් තමන් වෙත එල්ලවෙමින් තිබෙන බව දැන සිටි නිසා ය.

කවිෂ්කගේ සිතුවිල්ල ඒ අයුරින් ම ක්‍රියාත්මක විය. සුපිරි වෙළෙඳ සල ඉදිරිපිට රැක සිටි තල්දූවේ මහේෂ් ඇතුළු මැරියන් කවිෂ්කට මන්නා පිහිවලින් පහර දුන්නෝය. දෙනෝදාහක් දෙනා මේ අපරාධය දෙස බලා සිටිය ද කිසිවකුත් එය වළක්වාලීමට උත්සාහ ගත්තේ නැත. ඒ මේ මැරයන්ගේ තරම නගරවාසීන් දන්නා නිසා ය. අවන්ත තල්දූවේ තරුණයෙකි. ඔහුද මන්නා රමේෂ්ගේ මිතුරෙකි. තල්දූවේ මහේෂ්ව ද හොඳින් දන්නා හඳුනන අමන්ත කොහේදෝ සිට මේ අපරාධය සිදුවන ස්ථානය වෙත දිව ආවේය.

“යකෝ බලු වැඩ කරන්න එපා. ඕක නවත්තපං. මේකත් අපේම එකෙක්. ඕක නතර කළේ නැත්නම් තෝව මං මරණවා…”

අවන්ත කෑ ගැහුවේය. කවිෂ්ක සහ ඔහුගේ සගයා කපා කොටා ඝාතනය කිරීමට උත්සාහ කරන මහේෂ් ඇතුළු සගයන් අතරට පැමිණි අවන්ත දැඩි වෙහෙසක් දරා ඒ ප්‍රහාරය ව්‍යර්ථ කළේය. අවන්තගේ කඩාවැදීමෙන් තම සැලසුම අවුල් වීම නිසා මහේෂ් සගයන් ද සමඟ පලා ගියහ. බරපතළ කැපුම් තුවාල සහිතව රෝහල් ගත කළ කවිෂ්ක සහ ඔහුගේ සගයා අවන්ත නිසා දිවි ගලවා ගත්හ.

“අර අවන්තයා අපේ ප්ලෑන් එක කාලා දැම්මා. ඒකා මැදට පැනලා අරූව බේරා ගත්තා. අවන්තයා අපිට චැලේන්ජ් කළා ප්‍රසිද්ධියෙම…”

කවිෂ්ක ඝාතනය කිරීම ව්‍යර්ථ වූ ආකාරය ගැන තල්දූවේ මහේෂ් මන්නා රමේෂ්ට කීවේය. රමේෂ් යක්‍ෂාරූඩ වුණේය. කොප්යෙන් වෙව්ලමින් ඒ පාපතරයා කෑ ගැසුවේය.

“ඔය අවන්තයා කොහොමටවත් මට අල්ලන්නෙ නැහැ. ඕකා කවදා හරි අපිට ගේම ඉල්ලනවා. ඒ නිසා ඕකව ඉවර කරලා දාන්න ඕනෙ. ඌ කව්ද මගේ වැටවලට ඇඟිලි ගහන්න.”

අවන්ත ඝාතනය කර ඔහුගෙන් පළිගැනිමේ සැලසුම මන්නා රමේෂ් ඇතුළු සගයන් විසින් සකස් කරන්නේ එතැන් සිටය. මන්නා රමේෂ්ගේ වැඩිමහල් සොහොයුරා චූටිය. චූටි ද අවිස්සාවේල්ල ප්‍රදේශයේ චණ්ඩියෙකි. ටයිල් ප්‍රියන්ත නමින් හඳුන්වන ව්‍යාපාරිකයකුගේ රියැදුරු මෙන්ම ආරක්‍ෂකයා ලෙස රැකියාව කරන චූටි සිය සොහොයුරා වන මන්නා රමේෂ්ගේ කල්ලියේම සාමාජිකයෙකි. අවන්ත මරා දැමිමේ සැලසුම සඳහා රමේෂ් සිය සොහොයුරා වන චූටිව ද සම්බන්ධ කර ගත්තේය. තල්දූවේ මහේෂ් නදීර ඇතුළු කීපදෙනෙකුම මේ ප්‍රහාරය සඳහා සූදානම් වූහ.

අවිස්සාවේල්ලේදී වෙඩි කෑ මන්න රමේෂ්ගේ මහ මොළකරු

අවන්ත තල්දූව මංසන්ධියේ සිටින බවට ලැබුණු තොරතුරක් මත මන්නා රමේෂ් ඇතුළු මැරයන් පිරිස එහි කඩා වැදුණේ ය. කිසියම් මොහොතක මන්නා රමේෂ්ගෙන් තමන්ට ප්‍රතිප්‍රහාරයක් එල්ල වන බව දැන සිටි අවන්ත තල්දූව නගරයේ තරුණයන් පිරිසක් සමඟ ඊට මුහුණ දීමට සූදානමින් සිටියහ. මන්නා රමේෂ් මේ බව දැන සිටියේ නැත. රමේෂ් ඇතුළු පාතාල සගයන් තල්දූවට කඩාවැදුණේ කිසිදු උපද්‍රවයකින් තොරව අවන්ත ඝාතනය කර පලා යැමටය.

එහෙත් සිදු වුණේ මන්නා රමේෂ් සිහිනයකින් හෝ නොපැතූ සිදුවීමකි. කඩු පොලුවලින් සන්නද්ධව සිටි අවන්ත ඇතුළු තල්දූවේ තරුණයන් මන්නා රමේෂ් ඇතුළු මැරයන්ට පන්න පන්නා පහර දුන්නෝය. මන්නා රමේෂ්, තල්දූවේ මහේෂ්, නදීර ඇතුළු මැරයන් දිවගොස් දිවි ගලවා ගත්ත ද රමේෂ්ගේ වැඩිමහල් සොහොයුරා චූටි කොටු වුණේය. අවන්ත ඇතුළු තරුණයන් චූටිට වටකර ගෙන පහර දුන්හ. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ චූටි තවමත් සිටින්නේ රෝහල්ගතව ය. මේ සිදුවීමෙන් මන්නා රමේෂ් දැඩි ලෙස කම්පනයට පත් වුණේය. තමන්ට එරෙහිව මෙවැනි ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි මන්නා රමේෂ් කිසිවිටෙකත් සිතුවේ නැත. පාතාල ලෝකයේ කෙරුම්කාරයකු ලෙස තමන් ගොඩනගා ගෙන සිටින අභිමානය සුන්නත්දූලි වී යන ආකාරය ඔහුට පෙනුණේ ය.

“අවන්තය නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා. මුන් සෙට් එකම නැති කරලා දැම්මෙ නැත්නම් අපට අවිස්සාවේල්ලෙ රෙදි ඇඳන් ඉන්න බැරි වෙනවා.”

මන්නා රමේෂ් සිය සහචරයන් සමඟ මේ ගැන කියමින් කෑගැසුවේය.

“මිනිස්සු අපිට කොයි තරම් බයෙන්ද හිටියේ. මෙහෙම වුණාම අපිව කිසිකෙනෙක් ගණන් ගන්නේ නැහැ. හෙටම අපි අවන්තයට වැඩක් දෙන්න ඕනෙ.”

මන්නා රමේෂ් සිය පාතාල සගයන්ට කීවේය. අවන්ත වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුම සකස් වන්නේ ඉන් අනතුරුවය. තල්දූවේ මහේෂ් අවන්තට වෙඩි තැබීමේ කාර්යය භාර ගත්තේය.

“ මං මීට ඉස්සර වෙඩි තියලා නැහැ රමේෂ් අයියා. ඒත් මේක අපේ වැඩක්නේ. කොහොම හරි මං ඒක කරනවා. උඹ බයවෙන්න එපා. උඹේ අභිමානය නැති වෙන්න අපි දෙන්නෙ නැහැ.”

තල්දූවේ මහේෂ් මන්නා රමේෂ්ගේ දෑත් දැඩිව අල්ලා ගෙන කීවේය. ඉකුත් මැයි මස 26 වැනිදා රාත්‍රියේ තල්දූවේ මහේෂ් සහ නදීර ක්‍රියාත්මක වුණේය. අවන්ත තල්දූව සමන් දේව ප්‍රතිමාව ආසන්නයේ සිටින බවට ලැබුණු තොරතුරක් මත මහේෂ් සහ නදීර යතුරුපැදියෙන් එහි ආහ. යතුරුපැදිය පැදවූයේ නදීරය. එහි පිටුපස පිස්තෝල අවියක් අමෝරාගෙන සිටි තල්දූවේ මහේෂ් අවන්ත ඉලක්ක කර වෙඩි තැබුවේය. ඔහු වෙඩි තැබීමේ දක්‍ෂයකු නොවීම නිසා අවන්තට දිවි ගලවා ගන්නට හැකි විය. එහෙත් වෙඩි ප්‍රහාර කීපයක් එල්ල වීම නිසා ඔහු තුවාල ලැබුවේය. අවන්ත ඝාතනයට එවරත් ගත් උත්සාහය ව්‍යර්ථ විය. ඒ වනවිට මන්නා රමේෂ් ඇතුළු කල්ලියට එරෙහිව තල්දූවේ තරුණයන් පෙළගැසෙමින් සිටියහ. විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් ද තල්දූවෙන් බිහි වූ සංවිධානාත්මක කණ්ඩායමට එක්ව සිටියේ මන්නා රමේෂ්ගේ කල්ලියට එරෙහිව සටන් වැදීමට ය.

“දැන් තිබෙන තත්ත්වය එච්චර හොඳ නැහැ. මං හෙමීට මාරු වෙනවා. උඹ මෙහෙ වැඩ ටික බලාගෙන හිටපන්. මොකද උන් ගේම ඉල්ලන්නේ මගෙන්. මං ඩුබායිවලට පනින්න සේරම ප්ලෑන් එක හදාගත්තා. මට එහෙ ඉඳන් උඹලව බලාගන්න පුළුවන්.”

මන්නා රමේෂ් තම සමීපතම පාතාල සගයා වූ තල්දූවේ මහේෂ්ට කීවේය. පාතාල කල්ලියේ ක්‍රියාකාරකම් සියල්ල ඔහු වෙත භාර කළ මන්නා රමේෂ් හොර රහසේම ඩුබායි රාජ්‍යය වෙත පලා යන්නේ ජීවිතය ආරක්‍ෂා කර ගැනීම සඳහා ය.

“නැතිවෙච්ච අපේ අභිමානය අපි කොහොමහරි ගොඩනගාගන්න ඕන. ඒ නිසා තල්දූවේ සෙට් එක ඉවරයක් කරලා දාන්න ඕනෙ. ඒ වෙනුවෙන් ඕනෙම මුදලක් වියදම් කරමු…”

ඩුබායි රාජ්‍යයේ නවාතැන් ගත් මන්නා රමේෂ් සිය සඟයා වූ මහේෂ්ට දුරකථනයෙන් කතාකර කීවේය. තල්දූවේ කල්ලියට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමට මන්නා රමේෂ් විවිධ සැලසුම් සකස් කළේය. මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා මුදල් ඉපයීම මෙන්ම අවිස්සාවේල්ල, රත්නපුර ඇතුළු ප්‍රදේශ ගණනාවක ධනවත් පුද්ගලයන්ට මරණීය තර්ජන එල්ල කරමින් කප්පම් මුදල් එකතු කිරීම පටන් ගත්තේය.

මේ ප්‍රදේශවල මැණික් ව්‍යාපාරිකයන් රැසක්ම මන්නා රමේෂ්ගේ තර්ජනයන්ට ගොදුරු වූහ. මන්නා රමේෂ්ගේ තරම හොඳින් දන්නා බොහෝ ව්‍යාපාරිකයන් හොර රහසේම ඔහුට කප්පම් මුදල් ලබා දී ජීවිත බේරා ගත්හ. කප්පම් මුදල් ලබා නොදෙන ව්‍යාපාරිකයන්ට මන්නා රමේෂ් සිය ගෝල බාලයන් යොදවා විවිධ හිංසා පීඩා කළේය. කොටින්ම ඒ වනවිට මන්නා රමේෂ්ගේ පාතාල කල්ලිය මුළු අවිස්සාවේල්ලටම මහා හිසරදයක් බවට පත්ව තිබුණේය. මන්නා රමේෂ්ගේ සොහොයුරා රෝහලේ ඇඳක් මත ඔත්පලව සිටින අයුරු මෙනෙහි වන වාරයක් වාරයක් පාසා ඔහුගේ වෛරය ගිනිපුල`ිගු මෙන් පුපුරන්නට විය.

“අවන්තයා මරණ කල් මට නින්ද යන්නේ නැහැ. මේ වැඩේ කල් අරින්නෙ නැතිව කරන්න ඕනෙ. මං වැඩකාරයෙක් හොයාගත්තා. ලඩියාගේ ගෝලෙයක් ඌ. නියම ෂුවර් කෙනෙක්. අපි අද හෙටම මේ වැඩේ කරමු….” මන්නා රමේෂ් තම සැලසුම පිළිබඳ සියලු තොරතුරු මහේෂ්ට කීවේය. “හරි රමේෂ් අයියා. උඹ බයවෙන්න එපා. ප්ලෑන් එක මං දැනටමත් හදලා තියෙන්නේ. එය ෂුවර් විතරක් මට දීපං. ඉතුරු හරිය මං බලාගන්නම්.”

තල්දූවේ මහේෂ් කීවේය. ලඩියා යනු පාතාල ලෝකයේ කෙරුම්කාරයෙකි. කසුන් යුද හමුදාවෙන් පලා ආ සෙබළෙකි. ලඩියාගේ පාතාල කල්ලියේ කුලී ඝාතකයකු වන කසුන් අවන්ත ඝාතනය සඳහා සම්බන්ධ කර ගත්තේය.

ප්‍රහාරය සඳහා අවශ්‍ය කරන යතුරුපැදිය, ටී. 56 ගිනි අවිය තල්දූවේ මහේෂ් විසින් සොයා ගත්තේය. අවන්ත ඇතුළු සහචරයනගේ ගමන් බිමන් සොයා බැලීමට ඔත්තුකරුවන් යෙදවීම ද මහේෂ් විසින් සිදු කළේය. ඉකුත් සැප්තැම්බර් 20 වැනිදා රාත්‍රියේ අවන්ත ඇතුළු පිරිස තල්දුව දෙනිගහපිටිය ප්‍රදේශයේ මළගෙදරක බූරු ක්‍රීඩාවේ නිරත වෙමින් සිටින බවට තොරතුරු මහේෂ් වෙත ලැබෙන්නේ ඔත්තුකරුවන් මාර්ගයෙන් ය.

ඒ වනවිටත් මහේෂ් සහ කසුන් ප්‍රහාරය සඳහා සූදානමින් සිටියෝය. අවන්තයයි තවත් හතරදෙනෙකුයි ත්‍රීවීලර් එකකින් එනවා. උන් තල්දූව හන්දිය පැත්තට එන්නේ. මහේෂ්ගේ ඔත්තුකරුවෙකු ලබාදුන් තොරතුරු ඔස්සේ ඔවුන් ක්‍ෂණිකව ක්‍රියාත්මක වූහ. යතුරුපැදිය පැදවූවේ තල්දූවේ මහේෂ් ය. ටී 56 ගිනි අවිය ද රැගෙන කසුන් එහි පිටුපස ගමන් කළේය. තල්දූව දෙනිගහපිටිය මාර්ගයේ ගුරුපළුගොඩ වංගුව ආසන්නයේදී අවන්ත ඇතුළු සගයන් පැමිණි ත්‍රිරෝද රථය කොටුකර ගැනීමට මහේෂ්ට හැකි විය. කසුන් අත වූ ටී 56 අවිය ක්‍රියාත්මක වුණේය. අවන්ත ඇතුළු සගයන් ගමන් ගත් ත්‍රිරෝද රථය වෙත වෙඩි වරුසාවක් එල්ල කළ මහේෂ් සහ කසුන් පලාගියේ අවන්ත පරලොව යනු ඇතැයි සිතා ගෙනය. එහෙත් අවන්තගේ පණ නැසිය නොහැකි බව ඔවුන් දැන ගන්නේ ප්‍රහාරය එල්ල වී පැය ගණනකට පසුවය. වෙඩි ප්‍රහාරවලින් අවන්තගේ කල්ලියේ සගයන් දෙදෙනකු අවසන් ගමන් ගොස් සිටියහ. එවරත් බරපතළ තුවාල ලබා අවන්ත දිවි ගලවා ගත්තේය.

“මේකට පණ හතක් තියෙනවද කොහෙද? කී පාරක් මූව මරන්න හැදුවද හැම පාරම බේරෙනවා.”

තල්දූවෙ මහේෂ් සිය ප්‍රහාරය පිළිබඳව මන්නා රමේෂ් දැනුවත් කළේය. අවන්ත දිවි ගලවා ගත් බව ඇසීමෙන් මන්නා රමේෂ් දැඩි ලෙස කෝපයට පත් වුණේය. දැන් කරන්න දෙයක් නැහැ. පොලිසිය උඹ පස්සෙ පන්නනවා ඇති. උඹ කොහොම හරි මාරුවෙලා හිටපං. හැම දෙයක්ම මං බලා ගන්නම්. ඕනෙ වෙලාවක මට කතා කරපං.”

මන්නා රමේෂ් තම කල්‍යාණ මිතුරා මෙන්ම පාතාල සගයා වූ මහේෂ්ට කීවේය. ප්‍රහාරයෙන් පසු මහේෂ් හම්බන්තොට ප්‍රදේශයට පලා යන්නේ ටික කාලයක් එහි සැඟවී සිටීමට ය.

තල්දූවේ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත ආරම්භ කෙරිණි. සීතාවකපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රසන්න ජයලත් මහතාගේ මෙහෙයෙවීමෙන් ආරම්භ කෙරිණි. මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශය මගින් ද වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබිණි. අවිස්සාවේල්ල පොලිසියේ විමර්ශන නිලධාරීන්ට පෙර විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් ක්‍රියාත්මක වී සිටියහ.

හම්බන්තොට ප්‍රදේශයේ සැඟවී සිටි මහේෂ් විශේෂ කාර්ය බළකා නිලධාරීන් භාරයට පත්වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස ය. තල්දූවේ මහේෂ් හම්බන්තොට පොලිසිය වෙත භාරදීමෙන් පසු විමර්ශන කටයුතු සඳහා ඔහු අවිස්සාවේල්ල පොලිසිය වෙත රැගෙන ආවේය. ප්‍රශ්න කිරීම් සඳහා පැය 72ක කාලයක් තල්දූවේ රමේෂ් රඳවා ගන්නට පොලිසියට අධිකරණයෙන් අවසර ලැබුණේ ය.

තම සමීපතම සගයා තල්දූවේ මහේෂ් අත්අඩංගුවට පත් වූ බව ඇසීමෙන් මන්නා රමේෂ් දැඩි කම්පනයට පත් වුණේය. තම සගයා බේරා ගැනීමට රමේෂ් දැඩි උත්සාහයක නිරත වුණේය. එහෙත් එය සාර්ථක වුණේ නැත.

මේ අතර මහේෂ්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් ආරම්භ කළ අවිස්සාවේල්ල පොලිසියේ විමර්ශකයන් ඔහු ආයුධ සඟවා ඇති ස්ථාන හඳුනා ගත්හ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත මේ අවි සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළහ. අවන්ත ඇතුළු පිරිස ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට යොදා ගත් ටී 56 අවිය මානියංගම ඇත්පන්තිය පාරේ නිවසක සඟවා තිබෙන බව මහේෂ් පොලිසියට හෙළි කළේය.

ඒ අනුව අවිස්සාවේල්ල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එච්. ඒ. එස්. ෆොන්සේකා ඇතුළු නිලධාරීන් පිරිසක් තල්දූවේ මහේෂ් රැගෙන ඉකුත් 14 වැනිදා රාත්‍රියේ එහි ගියහ. එහෙත් සිදු වුණේ වෙනත් දෙයකි. ටී. 56 අවිය පෙන්වනා වෙනුවට මහේෂ් එහි සිටි පොලිස් නිලධාරියකුගේ ගෙල තම දෑත් විලංගුවලින් සිරකර ගෙන සෙසු නිලධාරීන්ට තර්ජනය කළේය.

“මට යන්න දීපලාල්ලා. නැත්නම් මූව මෙතනම මරණව බෙල්ල හිරකරලා. මහේෂ්ගේ තර්ජනය හමුවේ පොලිස් නිලධාරීන් කළබල වූහ. මහේෂ්ගේ ග්‍රහණයට හසු වී සිටි පොලිස් නිලධාරියා ද ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටියේය. පොලිස් නිලධාරියා බේරා ගැනීමට මහේෂ්ට වෙඩි තබනවා හැරෙන්නට කළ යුතු වෙනත් දෙයක් ඉතිරිව තිබුණේ නැත.

පොලිස් නිලධාරීන් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් තල්දූවේ මහේෂ් අවසන් ගමන් යන්නේ මුළු අවිස්සාවේල්ලටම විරාමයක් තබමින් ය. තම කල්‍යාණ මිත්‍රයා මෙන්ම පාතාල සගයා වන තල්දූවේ මහේෂ්ගේ මරණය ඇසීමෙන් ඩුබායි හි සැඟවී සිටින මන්නා රමේෂ් දැඩි ලෙස කම්පනයට පත් වුණේය. මහේෂ් මියයෑම තම දෑතම අහිමි වූවාක් බඳු විය. ඒ මන්ද යත් මන්නා රමේෂ්ගේ සියලුම පාතාල ක්‍රියාකාරකම් පිටුපස සිටියේ මහේෂ් වීම නිසා ය.

මේක කරපු උන්ගෙන් මං පළිගන්නවා. උඹල එකෙක් ඉතුරු කරන්නේ නැහැ. උන්ගෙ පවුල්වල උන්ගෙනුත් මං පළිගන්නවා.

මන්නා රමේෂ් පොලිස් නිලධාරීන්ට ශාප කරමින් කෑගැසුවේය. ඉන් නොනැවතුනු මන්නා රමේෂ් අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රසන්න ජයලත් මහතාගේ ජංගම දුරකථනයට ඩුබායි සිට ඇමතුමක් ගත්තේය.

“උඹ දැනගනින්. උඹලා ඔය මැරුවේ මගේ දරුවෙක් වගේ හිටපු එකාව. ඒකෙ වාඩුව මං වැඩි දවසක් යන්න ඉස්සර ගන්නවා. උඹවයි උඹේ පුතාවයි මරලා මං මගේ දරුවා නැති කරපු පලිය උඹලගෙන් ගන්නවා. පරිස්සම් වෙලා හිටපල්ලා. මන්නා රමේෂ් අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාට දිගින් දිගටම තර්ජනය කළේය.

මහේෂ් මරුමුවට පත් වූ මෙහෙයුමට සම්බන්ධ වූ සියලුම නිලධාරීන් මරා දමන බව කියමින් මන්නා රමේෂ් තර්ජනය කරන්නට පටන් ගත්තේය. මේ පාතාල මැරයාගේ තර්ජන ගර්ජන හමුවේ පොලිසිය සැලුණේ නැත. මේ වනවිට මන්නා රමේෂ්ට එරෙහිව ඇති සියලු චෝදනා පොලිසිය ගොනු කර හමාරය. ඒ චෝදනා සියල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හරහා යොමුකර මන්නා රමේෂ් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ලබා ගැනීමට පොලිසිය කටයුතු කර හමාරය. ඩුබායි රාජ්‍යයේ සුර සැප විඳිමින් මෙරට අහිංසක ජනතාව භීතියට පත් කරමින් මන්නා රමේෂ් වැනි කාලකණ්ණීන්ට ආයුෂ නැත. තල්දූවේ මහේෂ් එහෙමත් නැත්නම් මන්නා රමේෂ්ගේ පාතාල කල්ලියේ මහ මොලකරු පොලිස් වෙඩි පහරින් මියගිය පුවත සැලවීමත් සමඟම තල්දූවේ ජනතාව ප්‍රීතිඝෝෂා පවත්වන්න වූහ. ඔවුන් රතික්‍ඳ්ඤා පත්තු කරමින් තම ප්‍රීතිය මෙන්ම පාතාල මැරයන්ට සිය විරෝධය ප්‍රකාශ කළෝය. තල්දූවේ මහේෂ්ගේ අවසන් කටයුතු සිදු කෙරුණු දින අවිස්සාවේල්ල තල්දූව ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාව රතික්‍ඳ්ඤා දල්වමින් සිය ප්‍රීතිය සැමරුවේ පාතාල මැරයන් තවදුරටත් තම ප්‍රදේශවලට අවශ්‍ය නැති බව පවසමින් ය. මීට වසර දෙකකට උඩදී සීතාවකපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන කොඩිතුවක්කු මහතාගේ නිල කාමරයේ දණ ගහගෙන ඒ මහතාගේ අවවාද අනුශාසනා අසා සිටි තල්දූවේ මහේෂ් අද ජීවතුන් අතර නැත. එදා කොඩිතුවක්කු මහතාගේ අවවාද අසා මහේෂ් යහමගට ගියේ නම් ඔහු අදටත් ජීවතුන් අතරය. අවි අතට ගන්නා පාතාලයන්ට අවියෙන්ම උත්තර දෙනවා හැරෙන්න වෙන විකල්පයක් නැත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment