රටෙත් නැති යුද්දෙක බිල්ලක් වූ අනුලා

4830
කලකට ඉහත මියගිය අනුලා පවුලේ සමාජිකයන් සමග

කැලණිය ඊරියවැටිය ප්‍රදේශයේ නිසංසල පරිසරයක පිහිටි එම නිවස තුළ ඉකුත් 07 දා තෙක් පැවති සතුට සැනසුම මේ වනවිට පහව ගොස් ඇත. මේ මොහොත වනවිටත් නොනිමී ඇවිළෙන පලස්තීන – ඊශ්‍රායල් යුද්ධය විසින් ඇති කරවන ලද කම්පනය ඊට හේතුව බවට පත්ව ඇත. එම යුද්ධයේ ගොදුරු බවට පත් පිරිස අතර පලස්තීන – ඊශ්‍රායල් ජාතිකයන් පමණක් නොව එම රටවල රැකියා ආදියේ නිරත විදේශීය ජාතිකයන් ද අයත්ය. කැලණිය ඊරියවැටිය පදිංචි රත්නායක මුදියන්සේලාගේ අනුලා ජයතිලක මැණිකේ වීරසිංහ නම් ඇය ද ඊශ්‍රායලයේ රැකියාවේ නිරත ඉහත සඳහන් විදේශීය ජාතිකයන්ගේ පිරිසට අයත් එක් කාන්තාවක්ය.

ඇය සාත්තු සේවිකාවක් ලෙස විදේශ රැකියාවක් පිණිස ඊශ්‍රායලය බලා පිටත්ව යන්නේ 2013 වසරේදීය. නිත්‍යානුකූල ලෙස විදේශගත වන ඇය ඉකුත් 07 දා තෙක් තම වෘත්තීය කටයුතු අකුරට ඉටුකළ සාත්තු සේවිකාවක් වූවා පමණක් නොව එම වෘත්තියේ නිරත අයකු සතුවිය යුතු කරුණාවන්ත බව, සුහදශීලී බව උපතින්ම රැගෙන ආ කාන්තාවක් වූවාය. ගාසා තීරයට ආසන්නව පිහිටි නගරයක සාත්තු සේවිකාවක් ලෙස රැකියාව කළ ඇයගේ සේවා කාලයට වසර 10 ක් සම්පූර්ණ වන්නේ මෙම වසර තුළය. එහෙත් පලස්තීන – ඊශ්‍රායල් යුද්ධය විසින් සඟවා ගත් හෝ මරණයට පත්කළ පිරිස අතරට අනුලා වීරසිංහ ද අයත්ය. කැලණිය ඊරියවැටිය ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවස පමණක් නොව ප්‍රදේශවාසීන් පවා සසල සිතින් බලා සිටින්නේ ඇය පිළිබඳ නිවැරදි තොරතුරක් ලැබෙන තෙක්ය.

ඉකුත් දිනක එහි ගිය අපට දැකගත හැකි වූවේ තම බිරිඳ පිළිබඳ තොරතුරක් ලැබෙන තුරු නොඉවසිල්ලෙන් පසුවන සැමියකුගේ විඩාබර දෑසය. තම ආදරණීය මව නමින් උපන් අනුපමේය සෙනෙහසින් යුත් දියණියක්ය.

දැඩි මානසික ව්‍යාකූලත්වය මැද වුවද තම බිරිඳ වූ අනුලා රත්නායක මහත්මිය පිළිබඳව අප කළ විමසීමේදී ඇයගේ සැමියා වන කැළුම් ප්‍රියදර්ශන වීරසිංහ සඳහන් කර සිටියේ තම බිරිඳ මියගිය බවට සඳහන් පුවත තවමත් ඔහුට අදහාගත නොහැකි බවක්ය.

“මගේ නෝනා හරිම කරුණාවන්ත කාන්තාවක්. එයා සාත්තු සේවිකාවක් ලෙස 2013 වසරේ ඊශ්‍රායලය බලා පිටත්ව යනවා. මේ වෙද්දි වසර 10ක් මගේ නෝනා එරට රැකියාව කරලා තිබෙනවා. එයා ගොඩක් තෘප්තියෙන් තමයි රස්සාව කළේ. එදා පහුගිය හත්වැනිදා දහවල් එකත් දෙකත් අතර වෙලාවක නෝනා දුවට මැසේජ් එකක් දාලා තිබුණා එයා රැකියාව කරන ප්‍රදේශයට රොකට් ගහනවා මම ආච්චිත් එක්ක බංකරය ඇතුළට යනවා කියලා. එච්චරයි ඊට පස්සෙ අද වෙනකම් නෝනා කතා කළේ නැහැ. දුවට මැසේජ් දැම්මෙත් නෑ. මගේ නෝනව හොරු ගත්ත වගේ දෙයක් වුණේ. දුව තවමත් අම්මව ඉල්ලනවා. රට හිටිය කියලා නෑ. දුරකථන තාක්ෂණය ඔස්සේ එයා නිතරම දුව එක්ක හිටියා. අපේ පුතා ඉන්නෙ නවසීලන්තයේ. දුවයි පුතයි තමයි එයාගේ ඇස් දෙක වුණේ….”

තම බිරිඳ පිළිබඳ අප්‍රමාණ සෙනෙහසකින් යුත් සැමියකු වූ කැළුම් වීරසිංහ ඉහත සඳහන් විස්තරය සිදුකරන ලද්දේ බිඳුණු හඬින් යුක්තවය.

ලොව කොතැනක සිදු වුවද යුද්ධය බිහිසුණුය. එහි ගොදුරු බවට පත්වන්නේ මිනිස් ජීවිත හා දේපළය. ස්වාමි පුරුෂයකු ලෙස කැළුම් වීරසිංහ එම කටුක යථාර්ථයට මුහුණදී අවසන්ය. ඊශ්‍රායලයේ පිහිටි මෙරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර ඇති පරිදි ඔහුගේ බිරිඳ වන අනුලා වීරසිංහ මේ වනවිට යුද්දයේ ගොදුරක් බවට පත්ව අවසන්ය. සිවුදෙනකුගෙන් යුත් පවුලක කැණිමඬල වූ තම බිරිඳ පිළිබඳ උපන් අප්‍රමාණ සෙනෙහසින් ඔහු යළිත් තම කටහඬ අවදි කරන්නට විය.

“මගේ නෝනා ගිය අවුරුද්දෙ ලංකාවට ආවා. දින 45 ක නිවාඩුවක් ගත කරලා තමයි එයා නැවත ඊශ්‍රායලය බලා පිටත් වුණේ. ඒ කාලය අතරතුර දරුවෝ දෙන්නවත් අරගෙන ශ්‍රී පාදය වදින්න ගියා. එයා උපයාගත් මුදල් වියදම් කරලා අනුරාධපුරයේ විහාරස්ථානයක ශාලාවක් හදලා ඒක සසුනට පූජා කළා. දඹානේ ආරණ්‍ය සේනාසනයක් තිබෙනවා. ඒ ස්ථානයත් එක්ක අපි ගොඩක් සම්බන්ධයි. එතනටත් ගියා. පිනට දහමට එයා ගොඩක් කැමතියි. ලංකාවෙ ඉදිද්දී හැම පෝයකටම සිල් ගත්තා. විදේශගත වෙන්න පෙර දහම් පාසල් ගුරුවරියක් ලෙසත් සේවය කළා. මගේ නෝනා කිසිම කෙනෙකුට වරදක් කළ කෙනෙක් නොවෙයි. ඒ හින්දා ඇත්තටම ඇයට මෙවැනි විපතක් වුණා කියලා තවමත් මගේ හිත පිළිගන්නේ නෑ….”

මේ වනවිට ක්‍රියාත්මක පලස්තීන – ඊශ්‍රායල යුද්ධයෙන් අනුලා වීරසිංහ මියගිය බවට සැලවන දුක්මුසු පුවත කැළුම් වීරසිංහ වෙත වාර්තා වන්නේ ඉකුත් 07 දාය. සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වූ පුවතක් මගින් එම අසුබ ආරංචිය ඔහු වෙත සන්නිවේදනය වූ අතර කැළුම් වීරසිංහගේ පමණක් නොව ඔහුගේ දියණිය, පුතණුවන් පමණක් නොව ඥාති හිතමිත්‍රාදීන් පවා ඉමහත් කම්පනයට පත්වන්නේ ඉන් අනතුරුවය.

“මේ සිද්ධිය අපට වාර්තා වෙන්නේ පසුගිය 07 වැනිදා. නමුත් ඒක එකපාරටම පිළිගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මගේ පුතාටත් මේ ආරංචිය ගිහින් තිබුණා. පුතා මට කතා කරලා ඇහුවා ලංකාවට එන්නද කියලා. මම එපා කිව්වා. මොකද ඒ ආරංචිය නිල වශයෙන් ඒ වෙද්දි තහවුරු වෙලා තිබුණෙ නෑ. ඊට පස්සෙ මගේ දුව තානාපතිතුමාට කතා කරලා මේ ආරංචිය පිළිබඳ වැඩිදුරටත් තොරතුරු විමසුවා. එතනදී තානාපතිතුමා කියලා තිබුණා ඒ ආරංචිය පිළිබඳව තවමත් නිල වශයෙන් යමක් ප්‍රකාශ කරන්න බැහැ. මියගිය පිරිස අතර මගේ බිරිඳ ඉන්නවා නම් ඒ බව තහවුරු කරගත්තට පස්සෙ නිවැරදි තොරතුරක් ලබා දෙන්නම් කියලා. ඇත්තටම මේ වෙලාවේ තානාපති සේවය ගැන සහ ඒ තොරතුරු මත පමණයි අපිට වැඩ කරන්න වෙන්නෙ. ඒ සේවය පිළිබඳවත් අපි තෘප්තිමත්. මොකද මේ සිද්ධිය ආරංචි වූ දවසේ පටන් මේ වන තෙක්ම තානාපතිතුමා ඒ වගේම විදේශ අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ හැම ආයතනයක්ම අපිත් එක්ක ඉන්නවා.” මගේ පුතාට අවුරුදු 29 ක් වෙනවා. එයා නවසීලන්තයේ ජීවත් වෙන්නෙ. දුවට අවුරුදු 26 යි. එයත් උසස් අධ්‍යාපනය පිණිස විදේශගත වෙන්න හිටියෙ. නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් ඒක වුණේ නැහැ. දුවත් ලබන අවුරුද්දෙ විවාහ වෙන්න ඉන්නෙ. නෝන රට ගියේ පුතා උසස් පෙළ විභාගයටත් ලිව්වට පස්සෙ. මේ දරුවෝ දෙන්නගේ අනාගතය තව තවත් හැඩ කරන්න තමයි එයා නිතරම උත්සාහ කළේ. නමුත් අද මගේ නෝනා යුද්ධයක ගොදුරක් වෙලා ඉවරයි. දුව අම්මව ඉල්ලනවා. පුතා අම්මා කතා කරන කම් බලන් ඉන්නවා. මේ දරුවෝ දෙන්නත් එක්ක මමත් අද කරකියාගත හැකි දෙයක් නැතිව මොකක් හරි ආරංචියක් එනතුරු මග බලමින් ඉන්නවා.”

අප ඉකුත් 19 දා කැලණිය ඊරියවැටිය පිහිටි කැළුම් වීරසිංහගේ නිවසට ගිය පසුව අසන්න දකින්නට ලැබුණේ ඉහත විස්තර කරන ලද දේය. තම ඥාතිවරියට සිදුව ඇති විපත සැලවීමත් සමග එහි යන එන පිරිස ද සඳහන් කර සිටියේ කැළුම් වීරසිංහ පවුලට පමණක් නොව ඔවුන්ට ද අනුලා වීරසිංහගේ අඩුව තදින්ම දැනෙන බවත් යහපත් කාන්තාවක් ලෙස ඇය කාගේත් හිත් දිනාගත් තැනැත්තියක් ලෙස කල්ගත කළ බවත්ය.

තම මවගේ අකල් සමුගැනීම හේතුවෙන් බරපතළ වේදනාවට පත් අනුලා වීරසිංහගේ එකම දියණිය සොහානි ඕෂධී වීරසිංහ සඳහන් කර සිටියේ අනුලා වීරසිංහ ඇයට මවක් පමණක් නොව හොඳම යෙහෙළිය ද වූ බවය. තම මවගේ වියෝව හේතුවෙන් ඇය තවමත් පසුවන්නේ බලවත් වේදනාවෙන්ය. මේ වනවිට රජය විසින් නිල වශයෙන් ප්‍රකාශ කර ඇති ආකාරයට අකාරුණික යුද්ධය විසින් අනුලා වීරසිංහ නම් ශ්‍රී ලාංකික කාන්තාව මරණයට පත් කර ඇත. මෘත දේහය නිල වශයෙන් හඳුනාගත් පසු මෙරටට ගෙන්වීමට නියමිත අතර මෙම සටහන තබන මොහොත වන විට ද මෘත දේහය මෙරටට රැගෙන එන දිනය පිළිබඳ නිගමනය කර නැත. මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ එහි නිත්‍යානුකූල අවසරය මත අනුලා වීරසිංහ විදේශගතව ඇති බැවින් යුද්ධයෙන් මිය යන ඊශ්‍රායල ජාතිකයකුට හිමි සම්පූර්ණ වන්දි මුදලට සමාන වන්දියක් හා වරප්‍රසාද ඇයට හිමිවන බවය. එහෙත් මුළු ලොවම ලැබුණත් අනුලා වීරසිංහගේ දියණියට, පුතණුවන්ට හා කැළුම් වීරසිංහ නම් ඇයගේ ස්වාමි පුරුෂයාට ඇය නැති අඩුව පිරවීම පිණිස ප්‍රමාණවත් නැත.

රුවන් ජයවර්ධන
ඡායාරූප – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment