සභාපතිකම ගන්න හිටපු සභාපති ඩීල් දාලා – හිටපු පාපන්දු උප සභාපති රංජිත් රොඩි්‍රගෝ මාධ්‍ය හමුවකදී කියයි

144

පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය මේ අවස්ථාවේ තමන්ට ලබා ගැනීම සඳහා ඉඩ ප්‍රස්ථාව සලසා දෙන්නේ නම් ඊට පසුව එන නිලවරණයේ දී සභාපති ධුරය ලබා ගැනීමට අවශ්‍ය සහාය තමන් විසින් ලබා දෙන බව හිටපු පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා තිදෙනකු වෙත පොරොන්දු වී ඇති බව හිටපු පාපන්දු උප සභාපති රංජිත් රොඩි්‍රගෝ මහතා ඊයේ (28 වැනිදා) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

මෙවර සභාපති ධුර අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින ජේ.ශ්‍රී. රංගා මහතා වෙත සහ මීට පෙර සභාපති ධුර අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ මනිල් ප්‍රනාන්දු මහතා වෙත සහ තමන්ගේ ලේකම් හරහා තමන් වෙත හිටපු සභාපතිවරයා එසේ පොරොන්දු දී ඇති බව ද රංජිත් රොඩි්‍රගෝ මහතා කීය.

හිටපු සභාපතිවරයාගේ මේ දෙබිඩි පිළිවෙත ඔහුගේ සභාපති ධුර කාලය පුරාමත් දක්නට ලැබුණු බවත් මෙරට ක්‍රීඩා අමාත්‍යාංශයට එක පොරොන්දුවක් දී, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට සහ ආසියානු පාපන්දු සම්මේලනයට තවත් පොරොන්දුවක් දී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පැමිණ වෙනස්ම දෙයක් කරමින් මේ දෙබිඩි රංගනය ඔහු එදා සිදු කළ බව ද රංජිත් රොඩි්‍රගෝ මහතා සඳහන් කළේය.

මෙවර පාපන්දු නිලවරණය සඳහා පත්කර ඇති නිලවරණ කමිටුව ද පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරමින් එකම ගැසට්ටුවේ සඳහන් වගන්ති උපයෝගී කරගෙන විවිධ පාර්ශ්වයන් සඳහා විවිධ ආකාරයෙන් කටයුතු කර ඇති බවත් නිලවරණ කමිටුව ගැසට්ටුවට අනුව නිවැරැදිව කටයුතු කළේ නම් හිටපු සභාපතිවරයාට මෙවර නිලවරණය සඳහා ඉදිරිපත් විය නොහැකි බව ද හිටපු සභාපතිවරයා පැවසීය.

කවදාවත් නිසි මූල්‍ය කළමනාකරණයක් නැතුව පාපන්දු සම්මේලනය තම පෞද්ගලික බූදලයක් ලෙස භාවිතා කරමින් කටයුතු කළ හිටපු සභාපතිවරයා පාපන්දු සම්මේලනයේ කටයුතු සඳහා පත් කළ විවිධ කමිටු ද වචනයට පමණක් සීමා කරමින් තම හිතුමතයට පමණක් කටයුතු කළ බව ද සඳහන් කළේය.

අද පාපන්දු සම්මේලනය මෙතරම් අරාජික වූයේ හිටපු සභාපතිවරයාගේ එවැනි අදූරදර්ශී පරිපාලනය නිසා බවත් මාස 6ක් තුළ පාපන්දු ලීග සඳහා එක බෝලයක්වත් ලබා නොදී රුපියල් බිලියනයක් පමණ ඔහු වියදම් කර ඇති ඔහුට තවත් අවුරුදු හතරකට පාපන්දු පරිපාලනය භාර දුනහොත් පාපන්දු සම්මේලනය තිබුණු තැනක්වත් හොයා ගැනීමට නොහැකි වනු ඇතැයිද හිටපු පාපන්දු උපසභාපතිවරයා පැවසීය.

හිටපු පාපන්දු සභාපතිගේ අත්තනෝමතික ක්‍රියා කලාපයන්ට එරෙහිව විධායක කමිටුවේ එක අයෙක් දෙන්නෙක් හැර කිසිවකුත් අදහස් දක්වන්නේ නැති බවත් අනෙක් විධායක කමිටු නිලධාරීන්ගේ කට ඇරෙන්නේ එදිනට දෙන පැටිස් එක කෑමට පමණක් බවත් හිටපු පාපන්දු උප සභාපතිවරයා සඳහන් කළේය.

අද රටේ පාපන්දු පරිපාලනය පත්ව ඇති තත්ත්වය අනුව ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මඟින් ජාත්‍යන්තර තහනමක් පැනවූවහොත් එහි සම්පූර්ණ වගකීම හිටපු සභාපතිවරයා සහ විධායක කමිටුව භාරගත යුතු බවත් හිටපු උප සභාපතිවරයා කීය.

විධායක කමිටු අනුමැතියකින් තොරව මුදල් වියදම් කිරීම, තරගාවලි පැවැත්වීම, සේවකයන් බඳවා ගැනීම, සේවකයන්ට වැටුප් වැඩි කිරීම, දේශපාලනඥයින්ගේ නම්වලින් ක්‍රීඩා තරගාවලි පැවැත්වීම, දේශපාලනඥයින් පසුපස යෑම හිටපු සභාපතිවරයාට එරෙහිව පවතින ප්‍රධාන චෝදනා බවත් හිටපු උප සභාපතිවරයා පැවසීය. කොළඹ ආදි බෙනඩික් ක්‍රීඩා සමාජය සංගම් ශාලාවේ ඊයේ දහවල් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment