රටවල් 21ක  ‘මන්කිපොක්ස්’  පැතිරෙයි

342

දැනට රෝගීහු 237ක් – කැස්ස – කිවිසීම හා ලිංගික ඇසුරෙන් රෝගය පැතිරෙයි

ඊයේ (25දා) වන විට ලොව පුරා රටවල් 21කින් ‘මන්කිපොක්ස්’ රෝගයට ගොදුරු වූ බවට තහවුරු වූ හා සැක සහිත රෝගීන් 237 දෙනෙකු වාර්තා වී තිබූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.

‘මන්කිපොක්ස්’ රෝගයට ගොදුරු වූ රෝගීන් අලුතින්ම හඳුනාගෙන ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, චෙකොස්ලොවෙකියාව හා ස්ලෝවේනියාව යන රටවලිනි.

මිනිසුන් අතර පැතිර ගිය ද එතරම් දරුණු නොවන බවට ඇතැම් රටවල සෞඛ්‍ය බලධාරීන් විසින් හඳුන්වා දී ඇති ‘මන්කිපොක්ස්’ රෝගයට ගොදුරු වන සංඛ්‍යාව ඉදිරියේ දී තවත් වැඩි වනු ඇති බවට අපේක්ෂා කරන බව සෞඛ්‍ය සංවිධානය කියයි. මේ වන විට යුරෝපා, ඇමරිකානු, මැදපෙරදිග රටවලින් හා කැනඩාවෙන් ‘මන්කිපොක්ස්’ රෝගීන් වාර්තා වී ඇත. එම රෝගයට ගොදුරුවූවන් මෙන්ම ඔවුන්ගේ ආශ්‍රිතයන් දින 21ක කාලයක් නිරෝධායනයට ලක් කිරීමට බෙල්ජියම හා එංගලන්තය යන රටවල් විසින් දැනටමත් පියවර ගෙන තිබේ. මෙම රෝගී වෛරසය ශරීරගත වූ අය දින 5ත් 21ත් අතර කාලයක දී මූලික රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව මේ වන විට අනාවරණය වී ඇත. පුද්ගලයකුගෙන් පුද්ගලයකුට රෝගය ප්‍රධාන වශයෙන්ම පැතිර යනුයේ කැස්ස හා කිවිසීම යන ක්‍රියාවලින් පිට වන කෙළ හා සොටු දියර බිඳිති හරහා සහ ලිංගික ඇසුරක් හරහා බව සෞඛ්‍ය විශේෂඥයන් විසින් හෙළිදරව් කර තිබේ.

එමෙන්ම මන්කිපොක්ස් රෝගයට ගොදුරුවූවකු තුළ දක්නට ලැබෙන කුෂ්ට ස්පර්ශ වූ ඇඳුම්, ඇඳ ඇතිරිලි හා තුවා අතපත ගෑමෙන්, රෝගියකුගේ සමෙහි හටගෙන ඇති බිබිලි හෝ බිබිලි කැඩීමෙන් ඇතිවන කබොල්ලක් ස්පර්ශ කිරීමෙන්ද රෝගය අන් අයට වැළඳෙන බව එම විශේෂඥයෝ කියා සිටිති. ‘මන්කිපොක්ස්’ වෛරසය ශරීරගත වූ අය තුළ තද උණ, හිසරදය, මාංශපේශීන්ගේ වේදනාව, තුනටිය රුදාව, වසා ගැටිති ඉදිමීම, ඇඟ සීතල වීම යන රෝග ලක්ෂණ හටගන්නා බව මේ වන විට හඳුනාගෙන තිබේ.

වසූරිය රෝගය සඳහා ලබා දෙන එන්නත හරහා ‘මන්කිපොක්ස්’ රෝගයට එරෙහිව සියයට 85ක ප්‍රතිශක්තියක් ලබා දෙන බව අනාවරණය වීමත් සමගම ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක් වසූරිය රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ගන්නා ‘ඉම්වානෙක්ස්’ නමැති එන්නත් තොග ආනයනය කිරීමට පටන් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ජර්මනිය දැනටමත් අදාළ එන්නතෙන් මාත්‍රා 40,000 ක් පමණ ඇනවුම් කර තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment