පුංචි ආණ්ඩුවලට 25%ක තරුණ නියෝජනය: පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

87

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත

තරුණ ප්‍රජාවට පළාත් පාලන ආයතනවල 25%ක නියෝජනය තහවුරු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා පැවසීය.

මීට පෙර තරුණ අසහන කොමිෂන් සභාව මගින් පළාත් පාලන ආයතන නාම යෝජනා සඳහා 25% ක තරුණ නියෝජනයක් ලබාදී තිබුණද, පසුගිය සමයේ එම අවස්ථාව අහිමි වී ගිය බව සඳහන් කළ මන්ත්‍රීවරයා එම අවස්ථාව නැවත ලබාදීමට දරන මෙම ප්‍රයත්නයට සියලු පාර්ශ්වවල සහය අපේක්ෂා කරන බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙරට තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා තරුණ ප්‍රජාව දායක කර ගැනීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා

තරුණ අසහන කොමිෂන් සභාව මගින් පළාත් පාලන ආයතන නාම යෝජනා සඳහා 25% ක තරුණ නියෝජනයක් ලබාදී තිබුණා. නමුත් අවාසනාවකට පසුගිය සමයේ කාන්තා නියෝජනය පිළිබඳ අයිතිවාසිකම් ලබා දෙන අවස්ථාවේ තරුණයන්ට තිබූ එම අවස්ථාව අදාළ පළාත් පාලන පනතින් ගිලිහී ගියා. එහි ප්‍රතිඵලයක් ලෙස 2018 පළාත් පාලන මැතිවරණයේදී තරුණ ප්‍රජාවට එම අවස්ථාව ලැබුණේ නැහැ. ඒ අනුව වයස්ගත පිරිසක් ඉදිරිපත් වූ පළාත් පාලන මැතිවරණයක් තමයි 2018 වසරේ පැවැතුනේ.

තරුණ ප්‍රජාවට නාම යෝජනාවල 25% ක් ලැබීමේ අයිතිය තහවුරු වන ආකාරයට පළාත් පාලන පනත සංශෝධනය කිරීම තමයි මෙම යෝජනාව හරහා සිදුවන්නේ. මෙම සංශෝධනය මම පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙනැවිත් දැන් කාලයක් ගත වී තිබෙනවා. එය පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක කාරක සභාය තුළ මෙන්ම කැබිනට් මණ්ඩලය තුළ ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්කර තිබෙනවා.

තරුණ නියෝජනය පිළිබඳ පනත දෙවතාවක් කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කර තිබෙනවා. නමුත් මෙවර තරුණ දිනයත් සමගම ඊළඟ පාර්ලිමේන්තු සැසියට මෙම යෝජනාව ඉදිරිපත් කර එය සම්මත කර ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා.

ඇතැම් විට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් පනතක් බවට පත්වීම දුෂ්කර වගේම දීර්ඝ කාලයක් ගතවන කටයුත්තක්. නමුත් මෙම පුද්ගලික පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ පනතක් බවට පත් කිරීමට අවශ්‍ය සහය ලබාදීම පිළිබඳව මම ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තරුණයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට එතුමා ලබාදෙන දායකත්වය අගය කළ යුතුය.

මෙපමණ කාලයක් අපේ රටේ පැවැති නමුත් පසුගිය කාලයේ අවලංගු වූ මෙම තරුණ නියෝජනය නැවත ලබා ගැනීම සඳහා ආණ්ඩුව නියෝජනය නොකරන අනෙකුත් පක්ෂවලින් මෙන්ම සමස්ත සමාජය තුළින්ම සහය ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment