2008 දී ලංගම බස් රථය තුළ බෝම්බයක් තැබූ හිටපු කොටියාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

129

ප්‍රංශයට පැන්න දෙවැනි විත්තිකාර බුද්ධි අංශ සාමාජිකයා අල්ලන්න වරෙන්තු

මට්ටක්කුලියේ සිට මොරටුව දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් තුළ බෝම්බයක් පුපුරුවා හැරීම, එහි ගමන් කරමින් සිටි මගීන් ඝාතනය කිරීමට තැත්කිරීම සහ ඒ සඳහා ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීම යන අධිචෝදනාවලට වරදකරු කරනු ලැබූ හිටපු ග්‍රාම නිලධාරිවරයකුට හා විමුක්ති කොටි සංවිධානයේ බුද්ධි අංශ ප්‍රධානියකු ලෙස කටයුතු කළ විත්තිකරුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (29 දා) බරපතළ වැඩ සහිත ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය.

නාගලිංගම් මදනකරන් නමැති 67 හැවිරිදි පළමු වන විත්තිකාර ග්‍රාම නිලධාරිවරයාට එරෙහිව තිබූ අධිචෝදනා දෙකටම වරදකරු බවට පැමිණිල්ල විසින් ඔප්පු කොට ඇති බවට නිගමනය කළ විනිසුරුවරයා අධිචෝදනා දෙකටම වෙන් වෙන්ව බරපතළ වැඩසහිත ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර එකී සිරදඬුවම් එකවර ගෙවී යන ලෙසට ලබාදීමට නියම කළේය. එම විත්තිකරු සිදුකර ඇති වරද ඉතා බරපතළ බවත් යම් හෙයකින් මගීන් ඉවත් කිරීමට පෙර බස් රථය තුළ බෝම්බය පිපිරී ගියේ නම් ජීවිත හානි විශාල ප්‍රමාණයක් සිදුවිය හැකිව තිබූ බවද විනිසුරුවරයා සිය තීන්දුව මගින් පෙන්වා දුන්නේය. දෙවන විත්තිකාර ධර්මලිංගම් ජයන්තන් හෙවත් මුහන්දිරම් නමැති බුද්ධි අංශ නායකයා මේ වනවිට ප්‍රංශයට පලාගොස් ඇති බැවින් ඔහුව වහාම අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කළ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එම වරෙන්තු ජාත්‍යන්තර පොලිසිය හරහා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසටද ත්‍රස්ත විමර්ශන අශයේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය. එම විත්තිකරුට එල්ල වී තිබූ අධිචෝදනා දෙකටම වෙන් වෙන්ව ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කෙරිණි.

  1. 9. 16 වැනිදා මට්ටක්කුලිය ප්‍රදේශයෙන් බස් රථයට නැග තිබූ පළමු වන විත්තිකාර ග්‍රාම නිලධාරිවරයා එම බෝම්බය බස් රථය තුළ සඟවා කොළඹ නගර සභාව අසල දී බස් රථයෙන් බැස ත්‍රිරෝද රථයක නැග පළාගොස් තිබූ බවත් ඒ වනවිට බස් රථයේ මගීන් 50කට ආසන්න ප්‍රමාණයක් සිටියත් එම පාර්සලයට හිමිකරුවකු ඉදිරිපත් නොවීම නිසා වහාම ක්‍රියාත්මක වූ බස් රථයේ කොන්දොස්තරවරයා මගීන් බස්සවා ඉවතට ගැනීමට පියවර ගෙන තිබිණි.

කොන්දොස්තරවරයාගේ විමසිලිමත්භාවය නිසා ජීවිත හානි කිසිවක් සිදුනොවූ නමුත් පළමු විත්තිකරුගේ අභිලාසය වී ඇත්තේ විශාල ජීවිත ප්‍රමාණයක් විනාශ කිරීම වන බව අධිකරණයට පැහැදිලි වන්නේ යැයි පෙන්වා දුන් විනිසුරුවරයා ඔහු වසර 15කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම හා වයෝවෘධභාවය සලකා මරණ දඬුවම වෙනුවට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන බවද විවෘත අධිකරණය හමුවේ දී පෙන්වා දුන්නේය.

එල්ටීටීඊ සංවිධානයේ බලවත් ග්‍රහණයට හසුවී තිබූ ප්‍රදේශයක සේවය කළ සිය සේවාදායකයා එම සංවිධානයේ අතකොලුවක් බවට පත්වී එම අපරාධය සිදුකරන්නට ඇතැයි විත්තිකාර හිටපු ග්‍රාම නිලධාරිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු පෙන්වා දුන්නේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment