අයිඑම්එෆ් දෙවැනි වාරිකයත් සමග රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වෙනවා – රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ

100

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය හිමිවීමත් සමග රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වෙන බව මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අපගේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මෙරට ණය හිමියන් සහ අනිකුත් බහුපාර්ශ්වීය මූල්‍ය පහසුකම් සලසන ආයතන ක්‍රියාත්මක වන ආකාරයත් ඉතා වැදගත් වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය රාමුව තුළ ශ්‍රී ලංකාව කොතෙක් දුරට කාර්යක්ෂමද සහ කැපවීම් කරනවාද කියන කරුණු එහිදී ඉතා වැදගත් බව ද ඔහු කියා සිටියේය.

මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් පෙරේදා (14 දා) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

විදේශ ආධාර මත ආරම්භ කර අතරමග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති 200කට අධික ප්‍රමාණයක වැඩ කටයුතු ලබන වසරේ මුල් කාර්තුව තුළ යළි ආරම්භ කරන බව මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ දේශපාලන ස්ථාවරත්වය පිළිඹිබු කරමින් 2024 අයවැය යෝජනාවලිය සම්මත කර ගැනීමට හැකි වූ බව පැවසූ රාජ්‍ය ඇමතිවරයා රාජ්‍ය ආදායම සහ වියදම කළමනාකරණයට අවශ්‍ය පසුබිම මෙවර අයවැය තුළින් සකසා ඇති බව ද සඳහන් කළේය.

රටේ ආර්ථිකය පවතින්නේ ජනප්‍රිය දේශපාලන සටන් පාඨවලින් විසඳුම් සෙවිය හැකි මට්ටමක නොවන බව මෙහිදී පෙන්වා දුන් රාජ්‍ය ඇමතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන හැරෙන්නට වෙනත් විකල්පයක් නොතිබූ බවද පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා මෙසේද පැවසීය.

පාර්ලිමේන්තුවේ දේශපාලන ස්ථාවරත්වය පිළිඹිබු කරමින් 2024 රාජ්‍ය අයවැය සම්මත කර ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට දෙවැනි වාරිකය නිදහස් කිරීමට ද තීරණය කර තිබෙනවා. ඒ අනුව අප බලාපොරොත්තු වූ ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඇමරිකානු ඩොලර් මිලියන 337ක් අපට ලැබීමට නියමිතයි. ඒ සමගම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ද මීට පෙර එකඟ වූ වාරික නිදහස් කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට රජයට නොහැකි වනු ඇති බවට විපක්ෂය ජනතාව තුළ චකිතයක් ඇති කර තිබුණා. එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට නොහැකි වුණා නම් අප බලාපොරොත්තු වන ආර්ථික ඉලක්කවලට යාමට නොහැකි වෙනවා. මේ සියල්ල සාර්ථක වීම තුළ තවදුරටත් රටේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කර ගැනීමට හැකියාව ලැබෙනවා.

මීට මාස කිහිපයකට පෙර අපේ රට ආර්ථික වශයෙන් ඉතා අසීරු තත්ත්වයකට පත්ව තිබුණා. එදා සහ අද පවතින ආර්ථික තත්ත්වය දෙස බැලීමේදී මෙම සාර්ථකත්වය ඇති කර ගැනීමට උපකාර කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. එම වැඩපිළිවෙළ හැරෙන්නට රටක් ලෙස ආර්ථිකමය වශයෙන් නැඟී සිටීමට වෙනත් කිසිදු අවකාශයක් අපට තිබුණේ නැහැ.

වගකිව යුතු රජයක් ලෙස ජනතාව මුහුණ දෙන අසීරුතා අවතක්සේරු කරමින් කටයුතු කිරීමට අප සූදානම් නැහැ. නමුත් මෙවැනි තීන්දු තීරණ නොගත්තා නම් පසුගිය ආර්ථික අර්බුදයට වඩා දරුණු තත්ත්වයකට අපට ඉදිරියේදී මුහුණ දීමට සිදු වෙනවා.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment