මළ මුත්‍රා ගඳ මැදින් මේ යන්නේ අපායට නොවෙයි! 05 වැනි හරස් වීදියටයි!

539

පිටකොටුවේ බෝගහ පිටුපස පේන මානයේ
පොදු වැසිකිළියක් අවශ්‍යයි – ව්‍යාපාරික ප්‍රජාව පවසයි
කුඩ්ඩො, යාචකයෝ මහ දවල්ටත් වීදිය මැද මළ, මුත්‍රා කරයි

කැකෑරෙන හිරු එළිය ඉහළ සිට පහළට ගිනිසැර පිඹින සේය. හමන සුළඟ මළමුත්‍රා දුඟදින් යුක්ත බැවින් හොඳින් හුස්මක් ගැනීමට පවා වරම් නැත. විඩාව දැඩිව දැනෙමින් පවතින්නේ එබැවින්ය. අපි පිටකොටුව පස්වන හරස් වීදිය ඔස්සේ ඇවිද යමින් හිඳිමු. රටක බඩගිනි නිවීම පිණිස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන ප්‍රධාන වීදියක් ලෙස ගැනෙන පස්වන හරස්වීදිය ඔස්සේ ඇවිද යෑම පවා දුෂ්කරය. වීදිය අපවිත්‍රවෙමින් පවතින්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්ය. තැන තැන අපුල දනවන මිනිස් මුත්‍රා එක්රැස්වූ ස්ථාන කුඩා දියකඩිති මෙන් දිස්වෙමින් ඇත. දුඟද මතුවන්නේ එවැනි ස්ථානයන් මුල්කර ගනිමින්ය. සුළඟ විසින් එම දුඟද හතර අත පතුරවමින් ඇත. වියළි ආහාර ද්‍රව්‍ය, පලතුරු අලෙවි පිණිස නම් දරා ඇති ස්ථානයක් ලෙස ගැනෙන පිටකොටුව පස්වන හරස් වීදියේ වත්මන් තත්ත්වය ඉහත පරිදිය. එම ප්‍රදේශය මේ වනවිටත් මිනිස් වාසයට නොසුදුසු ස්ථානයක් බවට පත්වෙමින් ඇත. සිදුවෙමින් පවතින පාරිසරික හානිය නිමක් නැත. අසල බෝධිරාජ මාවත සහ පස්වන හරස්වීදිය මැදිකොට පිහිටා ඇති පිටකොටුව බෝධිරාජ විහාරය සහ බෝධීන් වහන්සේ පවා අනතුරකය. තෙල්, මල්, සුවඳ දුම් සුගන්ධය පරදමින් එම ස්ථානයට පවා මළමුත්‍රා දුඟද පැමිණෙමින් ඇත. අවට වෙළෙඳාමේ නිරත වෙළෙඳුන් පවසා සිටින්නේ මිනිස් මළමුත්‍රා හේතුවෙන් පිටකොටුව පස්වැනි හරස්වීදිය අපවිත්‍රවීමට ගැනීමත් සමග දෙපස වෙළෙඳාමේ නිරත බොහෝදෙනෙක් විවිධ රෝගාබාධයන්ට ලක්වීමේ අවදානමක් උද්ගතව ඇති බවය.

උද්ගතව ඇති තත්ත්වය දැකබලා ගැනීම පිණිස එහි ගිය අපට දැකගැනීමට ලැබුණේ පිටකොටුව 5 වන හරස් වීදියේ එක් කොටසක් මේ වනවිට “මිහිපිට අපායක්” බවට පත්ව අයුරුය. දිනපතා ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් ඔබමොබ යන එමෙන්ම ආර්ථික වශයෙන් වැදගත් ප්‍රදේශයක් ද වන 5 වන හරස්වීදියට නරක කල දසාවක් උදාවී ඇත්තේ “භූමි දෝෂයක්” හේතුවෙන් නොව, තැන නොතැන නොහඳුනන මිනිසුන් විසින් සිදුකරන මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්ය. ඒ පිළිබඳව 5 වන හරස්වීදියේ ව්‍යාපාරිකයන්, පදික වෙළෙඳුන් පමණක් නොව එම ප්‍රදේශය හරහා ගමන් කරමින් සිටි විදේශීය සංචාරකයන් පිරිසක් පවා සඳහන් කර සිටියේ මෙරට වෙළෙඳ අගනගරය තුළ පිහිටා ඇති ප්‍රධාන වීදියක් මෙතරම් අපවිත්‍රව පැවැතීම පිළිබඳව සංචාරකයන් ලෙස ඔවුන් මවිතයට පත්කරවන ලද දර්ශනයක් වූ බවය. ඔවුන්ගේ කැමරා කාච තුළ ද පිටකොටුව 05 වන හරස්වීදියේ පවතින අපවිත්‍ර බව සටහන් වන ආකාරයක්ද දැකගත හැකිවූහ.

පරිසරය කැත, හිරිකිත වුවද ඒ ආශ්‍රිතව ව්‍යාපාර කටයුතු සිදුකරන ලොකු, කුඩා ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාරික ස්ථාන හැර පියා යා නොහැකිය. අඹු දරුවන් රකිනු වස් යමක් කමක් උපයා ගතයුතුය.

වගකිවයුත්තන්ගේ අවධානය පිණිස ඒ පිළිබඳව මාධ්‍ය හමුවේ හෙළිකර සිටීමට ඔවුන් තීරණය කරනු ලබන්නේ වෙනත් පිළිසරණක් නොමැති තැනය. අප ඉකුත් දිනක එම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සංචාරයක නිරතවූවේ එබැවින්ය. එහිදී අප හා අදහස් දක්වමින් සඳහන් කර සිටියේ අධික ජනගහනයක් ගැවසෙන ප්‍රදේශයක් බැවින් පොදු වැසිකිළි පද්ධතියක අවශ්‍යතාවයක් පවතින බවත් එම අඩුපාඩුව සම්පූර්ණ කරන තුරු 05 වන හරස්වීදියෙන් මළමුත්‍රා දුගඳ පහව නොයන බවය.

පළමුව අප හා එක් වෙමින් අදහස් දක්වා සිටියේ 05 වන හරස් වීදියේ නතර කරනු ලබන රථ වාහන සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරන කාන්තාවක් වන ශ්‍රීමති මහත්මිය විසින්ය. උදේ සිට රෑවනතුරු 05 වන හරස්වීදිය මැද ඔබ මොබ යන ඇය එහි සිදුවන අකටයුතුකම් පිළිබඳව මනා අත්දැකීම් සහිත කාන්තාවක්ය.

“මගේ රස්සාව තමයි මේ අවට නතර කරන වාහනවලින් පාර්කිං අය කිරීම. ඒ හින්ද උදේ සිට රෑ වෙනකම් මම මේ හරියෙ ගැවසෙනව. මනුස්සයකුට වාහනයක් නතර කරල බිමට බහින්න බැරි තත්ත්වයක් තමයි මේ අවට තියෙන්නෙ. ඒ විතරක් නොවෙයි. මනුස්සයකුට කඩයක් ඇරගෙන බිස්නස් එක් කරන්න බෑ. හැම තැනම එක්කො මුත්‍රාකරල නැත්නම් මළපහ කරල.

ඕල්කොට් මාවතෙන් හැරිල මේ වීදිය දිගේ ටික දුරක් එද්දී ආපහු හැරිල යන්න තරම් දුගදක් එනව. වටේ ම ඉන්න හිඟන මිනිස්සු, කුඩුකාරයෝ මෙතැනට ඇවිල්ල තමයි මළමුත්‍රා කරන්නෙ. රෑ තිස්සෙ මේ අවට මළපහ කරනව. උදේ පාන්දරට පැත්ත පළාතක එන්න බෑ. දවල් දවසේ මුත්‍රා කරනව. පාරේ මුත්‍රා කරන්න එපා කිව්වොත් ඒ මිනිස්සු කුණුහරුප කියල බනිනව. ඒ හින්ද කවුරුවත් ඒ අයට විරුද්ධ වචනයක් කියන්නෙ නෑ. වැහි දවසක් වුනොත් පාරේ යන්න බෑ. මළ මුත්‍රා පාවෙනව. වගකිවයුත්තෝ මේ පිළිබඳ සැලකිල්ලක් නෑ. පරිසර පොලිසිය දවසට දෙපාරක් බයිසිකල්වල නැඟල එහාට මෙහාට යනව. ලංකාවෙ හතර වටින් එන ලොරි රථ නතර කරන්නෙ මෙතැන. උදේ ගෙනැත් නතර කරන ලොරියකට බඩු පටවන්න පැය තුන හතරක් යනව. මේ ලොරි රථවලට මුවාවෙලා තමයි මෙතැනට එන කුඩුකාරයෝ, හිඟන්නෝ මළමුත්‍රා කරන්නෙ. ඒ අයට ලැජ්ජ බයක් නෑ. පරිසර පොලිසිය හරි මැදිහත්වෙලා මේකට විසඳුමක් ඕන. එක්කෝ මේ හරියෙ පොදු වැසිකිළියක් හදන්න එහෙම නැත්නම් මේ ස්ථානය මළමුත්‍රා කිරීමට තහනම් ප්‍රදේශයක් කරල එහෙම කරන අය දැක්කොත් දඩ මුදලක් අයකරගන්න කියල තමයි මම ඉල්ලා සිටින්නෙ. නැත්නම් මේ විනාශයෙන් 05 වන හරස්වීදිය බේරගන්න බැරිවෙනවා.”

මළ මුත්‍රා ගඳ මැදින් මේ යන්නේ අපායට නොවෙයි! 05 වැනි හරස් වීදියටයි!

ඇය පවසන දේ සැබෑවක්ය. උස් හඬින් අදහස් දකිවමින් ඇය සඳහන් කර සිටියේ රූපවාහිනිය, පුවත්පත මගින් මේ පිළිබඳ දැනුවත් කර වගකිවයුත්තන්ගේ අවධානය 05 වන හරස් වීදිය කෙරෙහි යොමුකිරීම මාධ්‍ය වගකීමක් වන බවය. ඇඟෙන් සමුගත් අප 05 වන හරස් වීදිය ඔස්සේ තවදුරටත් ඉදිරියට ගමන් කරන්න වූහ. ප්‍රදේශයේ පිහිටි තොග කඩයක වෙළෙඳ සහායකයකු ලෙස සේවය කරන රගුවන් අපට මුණගැසෙන්නේ 05 වන හරස් වීදියත් බෝධිරාජ මාවතත් මුහුණට මුහුණට හමුවන අඩි 100 පාර මංසන්ධියේදීය.

කැමරාවට මුහුණදීම ප්‍රතික්‍ෂේප කළ රගුවන් 5 වන හරස් වීදිය මළමුත්‍රාවලින් අපවිත්‍රවූ වීදියක් බවට පත්වීමට බලපාන ලද තවත් කාරණාවක් විස්තර කර සිටියේ මේ ආකාරයෙන්ය.

“දැනට අවුරුදු හතර පහකට කලින් බෝධිය පිටුපස්සෙ කඩ පේලියක් හදල ව්‍යාපාරිකයන්ට භාර දුන්න. මුලින් මේ කඩ හැම එකක්ම බෝධිරාජ මාවත සහ 05 වන හරස්වීදියට දෙපැත්තෙන්ම විවෘත වෙන විදිහට තමයි හදල දුන්නෙ. පාරවල් දෙකේ යන ඕන කෙනෙකුට දෙපැත්තෙ ඉඳන් බඩු ගන්න පුළුවන් වෙන්න තමයි එහෙම කරල තිබුණෙ. ටික දවසක් යද්දි කඩහිමියෝ 05 වන හරස් වීදිය පැත්තට විවෘත වෙන පැත්ත වහල බෝධිරාජ මාවත පැත්ත පමණක් විවෘත කරන්න පුළුවන් විදිහට මේ කඩපේලිය වෙනස් කළා. ඊට පස්සෙ පිට පළාත් වලින් බඩු පටවන්න එන ලොරි රථ නතර කළේ ඒ කඩ පේලිය පිටිපස්සෙ. වටේ ඉන්න කුඩු කාරයෝ යාචක මිනිස්සු ඊට පස්සෙ මොකද කළේ මහදවල්ටත් ඇවිත් ලොරි රථවලට මුවාවෙලා මළ මුත්‍රා කරන්න ගත්ත. ඊට පස්සෙ බස් එකෙන් බහින මගියත් දුවගෙන ඇවිත් මුත්‍රා කරනව. දැන් 05 වන හරස් වීදියෙ එක කොටසක් මහජන වැසිකිළියක් ගාණට පත්වෙලා ඉවරයි. පාරක බැහැල යන්න බෑ. විෂබීජ නිසා කකුල් කුණුවෙනව. හොඳ හුස්මක් ගන්න බෑ. මළමුත්‍රා ගඳ ගහනවා. රටට ම පලතුරු දෙන්නෙ 05 වන හරස් වීදියෙන්. ඒ හින්ද මේ ප්‍රදේශයේ පිරිසිදුකම පිළිබඳව මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන. නමුත් තවමත් කාගෙවත් අවධානයක් යොමුවෙලා නැහැ. තවත් පැත්තක් තියෙනව. අද මුත්‍රා කරන්න වැසිකිළියට ගියොත් රුපියල් 50ක් අයකරනව. දවසට දෙපාරක් මුත්‍රා කළොත් මුදල රු.100 යි. ඒ හින්ද හිඟන්නො කුඩුකාරයො පමණක් නොවෙයි මේ අවට වටපිටාවෙ ඉන්න ඇතැම් පුද්ගලයොත් කිසිබයක් සැකක් නැතුව ඇවිත් මේ හරියෙ මුත්‍රා කරන්න පුරුවෙලා ඉන්නව.”

මළ මුත්‍රා ගඳ මැදින් මේ යන්නේ අපායට නොවෙයි! 05 වැනි හරස් වීදියටයි!

ඉන් අනතුරුව අප හා අදහස් දක්වා සිටියේ පිටකොටුව එක්සත් බෝධිරාජ සමිතියේ සාමාජිකයකු මෙන්ම ප්‍රදේශයේ සමාජ ක්‍රියාධරයකු වන ජිනදාස ලියනගේ මහතා විසින්ය. වසර 50ට ආසන්න කාලයක් පිටකොටුව ආශ්‍රිතව ජීවත්වන ඔහු අවට වටපිටාව පිළිබඳ නිතර සංවේදීවන පුද්ගලයෙක්ය.

“පිටකොටුව 5 වන හරස්වීදිය කියන්නෙ මීට කලකට පෙර හරි ලස්සන තැනක්. නමුත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. මනුස්සයකුට පාරේ බැහැල යන්න බෑ. වෙළෙන්දෙකුට වෙළෙදාමක් කරගන්න බෑ. වීදියෙ එක පැත්තක් තනිකරම මළමුත්‍රාවලින් පිරිල. දවල් රෑ කියල වෙනසක් නෑ. එනව තමන්ගෙ වැඩේ කරනව යනව. මුලින් මුලින් මේ අවට ඉන්න එකා දෙන්න ඇවිත් මේ අවට මුත්‍රා කරන්න ගත්ත. ඒක නතර කරන්න කවුරුත් ඉදිරිපත්වුණේ නැහැ. අන්තිමට 05 වන හරස් වීදියේ එක කොටසක් මහජන වැසිකළියක් තත්ත්වයට පත්වුණා. ඔය මිනිස්සු ඇවිත් මළ මුත්‍රා කරන හරියට මීට කලකට ඉස්සර බෝධියට අයිති ඉඩම් කෑල්ලක්. ඔතැන තමයි ඒ දවස්වල පිටකොටුවෙ තොරණ ඉදිකළේ. ඒ වගේම මුළු රට ම දන්න පිටකොටුව දන්සල දුන්නෙ ඔය ස්ථානයේ. ඔය මළ මුත්‍රා කරන ස්ථානයේ ඉඳල යාර කීපයක් දුරින් තමයි පිටකොටුව බෝසමිඳුන් වැඩ ඉන්න පූජනීය භූමිය පිහිටල තියෙන්නෙ. දෙස් විදෙස් බැතිමතුන් ඇවිත් වන්දනා කරන තැනක්. ඒ හින්ද පිටකොටුවෙ වැදගත්ම ස්ථානයක් ලෙස ඒ ප්‍රදේශය හඳුන්වන්න පුළුවන්. එහෙම ස්ථානයක් අසලින් මළමුත්‍රා දුගඳ වහනය වෙනව කියන්නෙ එක පැත්තකින් මහජනතාවට වගේම ඓතිහාසික බෝ සමිඳුන්ගේ නිරෝගී බවටත් ලොකු තර්ජනයක්.”

“මේකට එක විසඳුමයි තියෙන්න. ඔය මිනිස්සු ඇවිත් මළමුත්‍රා කරන ස්ථානය ආසන්නව ගලියක් තියෙනවා. ඒ වගේම පොදු වැසිකිළියක් ඉදිකරන්න පුළුවන් තරමේ ඉඩ කඩක් ඒ ස්ථානයේ පවතිනව. ඒ ස්ථානයේ වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම තුළ පමණයි මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න පුළුවන් වෙන්නෙ. ඒ කටයුත්ත ප්‍රමාද වෙන්න වෙන්න මේ අවට පවතින දුර්ගන්ධය නතර කරන්න බෑ. ඉස්සරහට මේ තත්ත්වය තව තවත් වැඩිවෙන එක විතරයි එහෙම නොකළොත් වෙන්නෙ. මේ අවට ඉන්න යාචකයන්ට, කුඩුකාරයන් වෙනත් වෙනත් ජල්තරකාරයන්ට පරිසරයේ පිරිසිදුකමින් වැඩක් නෑ. ඒ මිනිස්සුන්ට අධ්‍යාපනයක් නෑ. සත්තුවගේ තමයි හැසිරෙන්නෙ. මළ මුත්‍රා කරන්න එපා කියල කිව්වොත් කුණු බැනුම් අහගන්න වෙනවා. ඒ හින්ද මිනිස්සු බැනුම් අහන්න බැරිකමට මොකුත් කියන්න යන්නෙ නෑ. නොදැක්කවගේ ඉන්නව. ඒ හින්ද මේ හැමෝගෙම ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයට කොළඹ මහ නගර සභාව ඇතුළෙ උත්තර තියෙනව. මේ පිටකොටුව අවට වෙළෙඳාම් කරන ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් ඒ වගේම මහජනතාව වෙනුවෙන් මම ඉල්ලා සිටින්නෙ මේ මිනිස්සුන්ට මළමුත්‍රා කරන්න සුදුසු පරිසරයක් හදල දෙන්න කියල පමණයි….”

නම්ගම් හෙළිකිරීම අකමැතිවූ ව්‍යාපාරිකයන් මෙන්ම 05 වන හරස්වීදියේ මුණ ගැසුණ තවත් බොහෝ පිරිසක් අපෙන් ඉල්ලා සිටියේ මාධ්‍ය වගකීමක් කොට සලකමින් 05 වන හරස්වීදියට අත්ව ඇති ඉරණම පිළිබඳ රට හමුවේ හෙළිදරව් කොට ඊට විසඳුමක් ලබාදෙන ලෙසය. එහිදී මුණගැසුණ තවත් ව්‍යාපාරිකයන් පිරිසක් සඳහන් කරසිටියේ පිටකොටුව කේන්ද්‍රකර ගනිමින් මහා පරිමාණ ව්‍යාපාර පවත්වාගෙන යන කෝටිපති ව්‍යාපාරිකයන්ගේ “පෙර පාසල” 05 වන හරස්වීදිය හා ඒ අවට ප්‍රදේශ බවට පත්වූ යුගයක් පැවැති බවත් පසුකලෙක ඔවුන් මහා පරිමාණ ව්‍යාපාරිකයන් බවට පත් කරන ලද්දේ පදික වේදිකාව තුළින් ලබාගත් අත්දැකීම් තුළින් බවත්ය.

එබැවින් ඕල්කොට් මාවත ඔස්සේ පිටකොටුව 05 වන හරස්වීදියට ඇතුළුවන මහජනතාවගේ මෙන්ම එම ප්‍රදේශය ආශ්‍රිතව ව්‍යාපාරික කටයුතු සිදුකරන වෙළෙඳ ප්‍රජාවගේ නීරෝගීකම ආරක්‍ෂා කරවීම පිණිස කොළඹ මහනගර සභාව විසින් කඩිනම් වැඩපිළිවෙළක් අනුගමනය කළ යුතු බව සඳහන් කළ බොහෝ දෙනෙක් එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් තම වගකීම් නිසියාකාරව ඉටුනොකිරීමත් මෙවැනි තත්ත්වයක් හටගැනීම පිණිස එක් හේතුවක් බවට පත්ව ඇති බවත්ය.

කෙසේ වුවද එහි ගිය අපට දැකගත හැකි වූයේ මෙරට ප්‍රධානතම වෙළෙඳ අගනගරය වන පිටකොටුව 05 වන හරස්වීදිය යකුන්, ප්‍රේතයන් අරක්ගත් වීදියක් බවට පරිවර්තනය වෙමින් පවතින ආකාරයක්ය. ආහාර පාන අලෙවිසැල්, පලතුරු අලෙවිසැල් සමීපයේ මැසි මදුරුවන් සහිත මළමුත්‍රා පල්වෙමින් ඇත. ඒ හේතුවෙන් කලක් බොහෝ මිනිසුන් ගැවසුණ වීදියක් පාළුවට යමින් තිබෙන ආකාරයක් ද එහි ගිය අපට දැකගත හැකිවූහ. ආර්ථික වශයෙන් ඉමහත් වැදගත්කමක් සහිත එවැනි භූමියක් මිනිස් වාසයට සුදුසු තැනක් බවට පත්කිරීමට දැන්වත් වගකිවයුත්තන්ගේ අවධානය යොමුවිය යුතු බව අප විසින් අවධාරණය කර සිටින්නේ එබැවින්ය.

රුවන් ජයවර්ධන
ඡායාරූප –
කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment