ශ‍්‍රීලංගම සල්ලි කොම්පියුටර් බහිරවයා ගිලී… මුදල් ඇමැති දන්නෙත් නැතිව කෝටි 15 ක ණයකුත් අරන්

289

ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය 2018 වසරේ දී පරිගණක, ලැප්ටොප්, කැමරා හා ජීපීඑස් පද්ධති, ඉලෙක්ට්‍රොනික් ටිකට් මැෂින් මිලදී ගැනීමේදී ඇස්තමේන්තු ගත මුදලට වඩා වියදම් කොට රුපියල් බිලියන ගණන් මුදල් නාස්තිකොට ඇතැයි කෝප් කමිටුවේදී අනාවරණය වී ඇත.

ඊට අමතරව මුදල් ඇමැතිවරයාගේ අවසරයකින් තොරව ශ‍්‍රී ලංගමය එම වසරේදීම රුපියල් කෝටි 15 ක ණය මුදලක් අත්තනෝමතිකව ලබාගෙන ඇති බව ද එම කමිටුවේදී (පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව) අවධාරණය කර තිබේ.

ශ‍්‍රී ලංගමය 2018 වසරේදී පරිගණක 139 ක් හා ලැප්ටොප් යන්ත‍්‍ර 74 ක් මිලදී ගැනීමට මුදල් ඇස්තමේන්තු කර තිබියදීත් ඊට පිටින් යමින් පරිගණක යන්ත‍්‍ර 800 ක් හා ලැප්ටොප් 47 ක් මිලට ගෙන තිබේ. එහිදී රුපියල් මිලියන 89 කට අධික මුදලක් (89,977,500* වැයකර ඇත.

ලංගම සුඛෝපභෝගී බස් රථ 125 ක් සඳහා කැමරා සහ ජීපීඑස් උපාංග පෞද්ගලික සමාගමකින් රුපියල් තුන්කෝටි තිස්හය ලක්ෂයකට අධික මුදලක් වැයකර මිලදී ගෙන ඇතත් ලංගම සේවකයින් අදාළ උපකරණ සවිකළ පසුව හිතාමතාම හානි කර ඇතැයිද එහිදී හෙළිවී තිබේ.

2018 වර්ෂයේදීම ශ‍්‍රී ලංගමය ඉලෙක්ට්‍රොනික ටිකට් මැෂින් 1000 ක් ලබා ගැනීමට මුලින් රුපියල් මිලියන 35 ක් වෙන් කළද පසුව එම මැෂින් 2000 ක් රුපියල්් මිලියන 7.5 කට අධික මුදලක්ද වැයකර තිබෙන බවට අනාවරණය වී ඇත.

ඊට අමතරව ලංගමයේ 2017, 2018, 2019 සහ 2020 යන වසරවලට අදාළ වාර්ෂික වාර්තා පවා තවමත් මුද්‍රණය වී නැති බව එහිදී හෙළිවී තිබේ.

අහිංසක ජනතාවට සේවයක් සලසන එවැනි ආයතන නියමිත ක‍්‍රමවේදයෙන් බැහැරව මුදල් වියදම් කිරීම පිළිබඳ කෝප් සභාපති ආචාර්ය චරිත හේරත් මහතා ලංගම නිලධාරීන්ට පෙරේදා (06 දා* පාර්ලිමේන්තුවේදී පැවැති කෝප් කමිටු හමුවේදී දොස් පවරා ඇත.

මෙම සාකච්ඡුාවට ලංගම බලධාරීන්, ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඔන්ලයින් ක‍්‍රමයට මෙම කෝප් කමිටුවට සහභාගිවූ බව පාර්ලිමේන්තු කෝප් කමිටු සාමාජිකයකු ‘දිවයින’ ට කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment