පස් අවුරුදු සැලැස්මේ පුස් දුම්රිය හොඳටම ‘බකල්’

147

මීට වසර පහකට පෙරාතුව කැබිනට් මණ්ඩල තීරණයකට අනුව රාජ්‍ය ආයතනවල ඇතිවන පුරප්පාඩු, එම පුරප්පාඩුවලට සුදුසු අය පත්කිරීම් හා නව බඳවාගැනීම් සම්බන්ධයෙන් පස් අවුරුදු සැලැස්මක් සකසන ලෙසට කළ නියෝගය නොතකා හැරීම නිසා මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු ඇතැම් රාජ්‍ය ආයතන රැසක කටයුතු අර්බුදයකට ගොස් ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

වයස අවුරුදු හැටෙන් රාජ්‍ය සේවකයන් එකවර විශ්‍රාම ගැන්වීම නිසා අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය අංශ ගණනාවක කටයුතු කර ගැනීමට නොහැකි බවට විවිධ පාර්ශ්ව යම් යම් ප්‍රකාශ සිදු කළත් 2018.02.22 අංක 18 (විවිධ 008) දරන පත්‍රිකාවට අනුව අමාත්‍යාංශ ලේකම්වරුන් හා ආයතන ප්‍රධානීන් අදාළ සැලැස්ම සකසා කටයුතු කළේ නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවන බව එම නිලධාරියා සඳහන් කළේය.

රාජ්‍ය ආයතනවල සේවය කර විශ්‍රාම යන අයට දේශපාලන හා වෙනත් හිතවත්කම් නිසා කොන්ත්‍රාත් පදනම මත විශ්‍රාමිකයන්ට යළි යළිත් සේවා දිගු දීම නිසා උසස්වීම් ලැබීමට බලා සිටින දක්‍ෂ තරුණ පිරිසට එම අවස්ථාව අහිමි වන බවද එම නිලධාරියා කීය.

මේ වනවිට දුම්රිය ගමන් වාර අවලංගු වීමට හේතුව ද එය යැයි ද එම නිලධාරියා පැවසීය.

සෞඛ්‍ය හා අධ්‍යාපන අංශවල මෙන්ම අනෙකුත් ආයතනවල අදාළ සැලැස්ම සකසා තිබුණේ නම් ගැටලුවක් නොවන බවද කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment