Intrepid මෙරට ආයෝජන තවදුරටත් පුළුල් කරයි

145

ලොව විශාලතම ත්‍රාසජනක සංචාරක සමාගමක් වන Intrepid Travel ආයතනය සිය කොළඹ කාර්ය මණ්ඩලය වසරක් ඇතුළත දෙගුණයකින් වැඩි කරමින් ශ්‍රී ලංකාවේ තවදුරටත් තම මෙහෙයුම් පුළුල් කිරීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ මෑතකාලීනව හටගත් දේශපාලනික සහ ආර්ථික අභියෝග හමුවේ ඇතැම් බහුජාතික සමාගම් මෙරටේ තම ආයෝජන හකුළා ගත් පසුබිමක, මෙය ඉතාමත් සාධනීය එළඹුමක් ලෙස ද හඳුන්වාදිය හැක.

මීට අමතරව 2023 වසරේදී උපාධිධාරී ආධුනිකත්ව පුහුණු වැඩසටහනක් ද දියත් කිරීමට සමාගම සූදානමින් සිටියි. එම පුහුණු වැඩසටහනට එක්වන උපාධිධාරීන්ට දීමනාවක් ද හිමිවෙයි. The Intrepid Colombo Future Leaders Program යනුවෙන් නම් කර ඇති මෙම වැඩසටහනට උපාධිධාරීන් 15 දෙනකු මේ වසර තුළ සම්බන්ධ කරගැනීමට නියමිතය. ඔවුන්ට සමාගමේ විවිධ අංශවල මාස 6කට පුහුණුවක් ලබනු ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් Intrepid සමාගම සතු සුබවාදී අපේක්‍ෂා තවදුරටත් පිළිබිඹු කරමින් ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන කාර්යාලයේ සිට සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් තෝර්න්ටන් මහතා සහ ඔහුගේ ප්‍රධාන කළමනාකාරිත්ව කණ්ඩායම ද මේ වනවිට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින අතර මෙරට Intrepid කාර්ය මණ්ඩලය හමුවීම එම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබේ. ප්‍රධාන තාක්ෂණික නිලධාරී අනූ කරුණාතිලක සහ ආසියානු කලාපයේ කළමනාකාර අධ්‍යක්‍ෂ නැටලි කිඩ්, Intrepid සමාගමේ කොළඹ කේන්ද්‍ර කරගනිමින් කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නායකත්ව කණ්ඩායමේ සාමාජිකයෝ වෙති.

අපගේ කණ්ඩායමේ වර්ධනය සහ ජයග්‍රහණ සැමරීම සඳහා නැවත වරක් ශ්‍රී ලංකාවට පැමිණීම ගැන මම මහත්සේ සතුටු වෙනවා. ශ්‍රී ලංකාව තුළ සේවය කිරීම සඳහා සුදුසුම ආයතන අතරින් එකක් වගේම, කාන්තාවන්ට සේවය කිරීමට සුදුසුම ආයතනයක් බවට පත්වීම ගැනත් Intrepid සමාගම බෙහෙවින් ආඩම්බර වෙනවා.” යනුවෙන් තෝර්න්ටන් මහතා ප්‍රකාශ කළේය.

Intrepid හි මෙරට සාමාන්‍යාධිකාරි පූර්ණක දෙල්පචිත්‍ර මහතා අදහස් දක්වමින් පැවසුයේ, කොවිඩ් වසංගතය සහ දේශපාලන අර්බුදයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ක්‍රමානුකූලව පිබිදෙමින් පවතින මොහොතක Intrepid ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය මෙරට සංචාරය කිරීම ඉතාමත් වටිනා අවස්ථාවක් බවය.

Intrepid සමාගමේ තවත් විශේෂත්වයක් වන්නේ තම ව්‍යාපාර මෙහෙයුම්වලදී පරිසර හිතකාමීත්වයට මුල් තැනක් දීම ය. ඒ අනුව ශ්‍රී ලංකාවේ තම සංචාරවලදී බහුල වශයෙන් විද්‍යුත් වාහන භාවිත කරන බවද ඔහු කීය.
සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment