ත්‍රිරෝද රියැදුරු සමග බහින්බස් වෙමින් පසු පසින් යතුරු පැදිය පැන්නූ අය මරුට

284

මිරිහාන පොලිස් වසමේ කෝට්ටේ මාර්ගයේ අළුයම් කාලයේ ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක රියැදුරකු හා යතුරුපැදියක ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනකු අතර සිදුවූ බහින් බස් වීමකින් අනතුරුව යතුරුපැදියේ පසු පැදිකරු ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයට නැග ත්‍රීරෝද රථය පදවමින් සිටි රියැදුරු ගේ ගෙල සිර කිරීමට තැත් කිරීමේදී ත්‍රිරෝද රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය පුරා ධාවනය වීමෙන් ඊට සමාන්තරව පිටුපසින් පැමිණි යතුරුපැදියේ පැදිකරු යතුරුපැදිය සමග මාර්ගයේ පෙරලී ගොස් ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි කාර් රථයක දකුණු පස කොටසේ වැදී බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව මිරිහාන පොලිසියේ රථ රථවාහන අංශය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ 29 වැනි වියේ පසුවන අංක 36/26, බැද්දගාන, පිටකෝට්ටේ ලිපිනයෙහි පදිංචි විතාන මුදියන්සේලාගේ මල්ක මදුසංක නැමැති තරුණයෙකි. යතුරුපැදියේ පැමිණි තරුණයින් දෙදෙනාගෙන් පැදිකරුගේ මවගේ උපන් දිනය එදින යෙදී තිබූ බැවින් පැවැති සාදයේ මත් පැන් අවසන්වීම හේතුවෙන් නැවත මත් පැන් රැගෙන ඒම සඳහා යතුරු පැදියේ නැගී මිතුරන් දෙදෙනා බැද්දගානේ සිට නුගේගොඩ ප්‍රදේශයට පැමිණ ඇති බවත්, එලෙස පැමිණෙන විට මීට කලකට ඉහතදී ණය මුදලක් ලබාගත් එය නොදී මග හරිමින් සිටී ත්‍රීරෝද රථයේ රියැදුරු හමුවීමත් සමග මෙම සිදුවීම සිදුවී ඇති බවට තොරතුරු අනාවරණයවූ බව පොලිසිය පවසයි.

අළුයම 03.15 ට පමණ පිටකෝට්ටේ හන්දිය දෙස සිට ජුබිලි කණුව හන්දිය දෙසට ත්‍රීරෝද රථ ධාවනය වෙමින් තිබී ඇති බවත් යතුරුපැදියේ පැමිණි පුද්ගලයින් දෙදෙනා ත්‍රිරෝද රථයට ඉදිරියෙන් මග හරස් කිරීමට යාමේදී ඇතිවූ සිද්ධියක් හේතුවෙන් මෙම බහින්බස් වීම සිදුව ඇති බවත් එවිට යතුරු පැදිකරුට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ලිස්සා ගොස් පෙරළි ජුබිලි කණුව දෙස සිට පිටකෝට්ටේ දෙසට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කාර් රථයේ ඉදිරිපස වැදි විසිවී ගිය යතුරු පැදිකරු බරපතළ තුවාල ලබා සිටි බැවින් ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කලුබෝවිල රෝහල) වෙත ඇතුළත් කළද ඒ වනවිටත් යතුරුපැදිකරු මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

මෙම සිද්ධියට අදාල ත්‍රීරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මත්ද්‍රව්‍ය පානය කර සිටි ඇති බවට තහවුරු වී ඇති බවත්, යතුරුපැදියේ පැමිණි පසු පැදිකරු ත්‍රිරෝද රථයේ රියැදුරාගේ ගෙල සිරකොට ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවත් යතුරුපැදිය ගැටුණු කාර් රථයේ රියැදුරුද අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පැවසීය. අනතුරට ලක්වූ යතුරු පැදිය හා ත්‍රිරෝද රථයේ මෙන්ම කාර් රථය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධියට අදාළ සැකකරුවන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාස භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ජේ.බී.එස්. ජයමහ මහතාගේ සෘජු අධීක්ෂණය මත මිරිහාන මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගජනායක මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක රත්නසිරි, පොලිස් සැරයන් (16861) විජේරත්න, පොලිස් කොස්තාපල් (87646) තාරක, (31944) අධිකාරි සහ (88801) තරංග යන නිලධාරීන් පිරිස සිදු කරනු ලබති.
එස්.ඩී. අබේසිංහ – මහරගම

advertistmentadvertistment
advertistmentadvertistment