ආසියානු දැල්පන්දු තරගාවලියට තම දරුවන් තෝරා නොගත්තේ යැයි උද්ඝෝෂණයක්

175

උද්ඝෝෂණය පිටුපස දැල්පන්දු නිලධාරිනියක සහ පුහුණුකාරිනියක සිටින බවට චෝදනා

ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට තම දරුවන් තෝරා නොගත්තේ යැයි පවමින් දෙමව්පියන් ඇතුළු අතලොස්සක පිරිසක් ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ (26 වැනිදා) උද්ඝෝෂණයක නිරත වූහ.

මේ වනවිට ආසියානු දැල්පන්දු ශූරතාව සඳහා ක්‍රීඩා කරන අවසන් ක්‍රීඩිකාවන් 12 දෙනා සහ ක්‍රීඩිකාවන් ආබාධයකට ලක්වුවහොත් ආදේශ කරන අතිරේක ක්‍රීඩිකාවන් තිදෙනාද අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කර තිබියදී මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක විණි.

කෙසේ වෙතත් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ එක් සාමාජිකයකු එහි අනෙකුත් සාමාජිකයින් නොමඟ යවා මෙම ක්‍රීඩිකාවන් 12 දෙනාගේ සංචිතය අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කිරීම දිනෙන් දින පමා කරමින් සිටියි. ආසියානු දැල්පන්දු තරගාවලියට තෝරාගත් ක්‍රීඩිකාවන් 12ට සහ අතිරේක ක්‍රීඩිකාවන් තිදෙනාට මෙවැනි උද්ඝෝෂණවලින් බලවත් අසාධාරණයක් සිදුවන බව දැල්පන්දු ප්‍රවීණයෝ පවසති.

මෙම උද්ඝෝෂකයින් දැල්පන්දු තේරීම් කමිටුවට, ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ ලේකම් අර්ජුන් ප්‍රනාන්දු මහතාට සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතාට විවිධ චෝදනා එල්ල කර තිබුණි.

කෙසේ වෙතත් මෙම උද්ඝෝෂණය සංවිධානය කිරීම පිටුපස දැල්පන්දු නිලධාරිනියක් සහ පුහුණුකාරිනියක් සිටින බවට ද චෝදනා එල්ල වේ.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment