සම්මාන බලාගෙන වැඩ කරන්නේ නැහැ… උදයකාන්ත වර්ණසූරිය

77

ශ්‍රී ලාංකීය සිනමා වංශ කතාවේ මෑත කාලයේ බිහි වූ අද්විතීය නාමයක් ප්‍රේක්ෂක මතකයේ තබන්නට සමත් වූ රන් කෙවිට, ගින්දරී, බන්ධනය, ගිනිඅවි සහ ගිනිකෙළි, වැනි අතිශය ජනප්‍රියත්වයට පත් වාණිජ සිනමා නිර්මාණ විසි පහක් සාර්ථක අන්දමින් ප්‍රේක්ෂක ඔබ වෙතට තිළිණ කළ දැවැන්ත සිනමා නිර්මාණකරුවකු වන උදයකාන්ත වර්ණසූරියගේ විසි හය වන සිනමා නිර්මාණය වන “රිදී සීනු” මේ දිනවල තිරගතවනවා. “මීවිත” මේ කතාබහ “රිදී සීනු” සම්බන්ධවයි.

ඔබේ විසි හයවන සිනමා නිර්මාණය “රිදී සීනු” සිනමා පටයේ තේමාව ගැන අපි මුලින්ම කතා කරමු?

මේ නිර්මාණය ළමයින් මූලික කරගත් ළමා චිත්‍රපටයක් නිසා මේක මම ළමා චිත්‍රපටයක් ලෙස හඳුන්වන්නට කැමතියි. නමුත් ළමා චිත්‍රපටයක් කියලා ළමයින්ගේම ලෝකෙ නෙවෙයි, ඊට එහා ගිය ළමයින් නිසා වැඩිහිටියන් පවා මේ ළමයින්ගේ අදහස් වලට සසල වෙලා, ඒගොල්ලන්ගේ සහ රටේම ජීවිත පවා වෙනස් වෙන තැනට ගලා යන කතාවක් තමයි මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ.

සම්මාන බලාගෙන වැඩ කරන්නේ නැහැ… උදයකාන්ත වර්ණසූරිය

මෙහි තිර රචනය නිර්මාණය වෙන්නේ කොහොමද?

මේක මගේ හිතට වැදිච්ච කතන්දරයක්. කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණා කතන්දරයක් විදියට. ඉතිං මම නිකං පහසුවේ ඉන්න වෙලාවක ඒ කතාවට තිර රචනයක් ලිව්වා. අනික් එක මගේ අනිත් හැම නිර්මාණයක්ම තිර රචනය ලිව්වෙත් මම මයි. එහෙම මම ම ලිව්වම මට හරි පහසුයි ඒක අධ්‍යක්ෂණය කරන්න.

මේ කතාවේ දේශපාලනයේ සම්බන්ධයක් තියෙනවද?

නැහැ, මේ කතාවේ දේශපාලන සම්බන්ධයක් කොහෙත්ම නෑ කියලා මට කියන්න පුළුවන්. මේකේ ජනාධිපති, ඇමතිවරු, අධ්‍යක්ෂවරු, කලාප අධ්‍යක්ෂකවරු, අධ්‍යාපන අධ්‍යක්ෂකවරු ඔක්කොම ඉන්නවා. හැබැයි දේශපාලනය නැහැ.

සම්මාන බලාගෙන වැඩ කරන්නේ නැහැ… උදයකාන්ත වර්ණසූරිය

කතාවක් අරගෙන අධ්‍යක්ෂණ කාර්ය සිදුකරන කොට වෙළඳපොළ ගැනත් හිතනවද, නැත්නම් නිර්මාණ කාර්ය ගැන විතරද හිතන්නේ?

මෙහෙමයි, වෙළඳපොළ ගැන නොහිත බැහැ අපට. එහෙම වෙළෙඳපොළ ගැන නොහිතපු අය තමයි අද ගොඩක් ඇනගෙන ඉන්නෙත්. මේ වගේ චිත්‍රපටයකින් මම වෙළෙඳපොළට අභියෝග කරන්න යන්නේ නැහැ. ඒ වගේම මම අනවශ්‍ය වියදම් දරාගෙන මේ චිත්‍රපටයක් කළෙත් නැහැ. නමුත් යම්කිසි ආකාරයකින් වෙන පැත්තකින් මේක ළමයින් අතරට ගිහිල්ලා හිට් වෙන්න පුළුවන් වෙයි කියලා මට අදහසක් තියෙනවා.

“රිදී සීනූ” සිනමා පටය අධ්‍යක්ෂණයේදී මුහුණ දුන් අභියෝග මොනවාද?

ඇත්තටම මේකෙදි අභියෝග නෙවෙයි, හරිම සුන්දර අත්දැකීම් ලබා ගත්තා.මොකද මම ගොඩක් ළමයින් එක්ක වැඩ කළේ මේ චිත්‍රපටයේදී. ඒක මට හරිම සතුටක් වුණා.

සම්මාන බලාගෙන වැඩ කරන්නේ නැහැ… උදයකාන්ත වර්ණසූරිය

කර්මාන්තයක් විදියට සිනමාවේ අපි ඉන්න මට්ටම ගැන කතා කළොත්?

ඇත්තටම සිනමාව ජයගෙන තියෙන රටවල් දිහා බැලුවම කර්මාන්ත ක්ෂේත්‍රයක් එක්ක තමයි සිනමාව ජය අරගෙන තියෙන්නේ. එහෙම සිනමා පවත්වාගෙන යන්න හරි අමාරුයි. වෙළෙඳපොළක් එක්ක ගැටෙන සිනමාව තමයි අද බේරිලා තියෙන්නේ. එය කර්මාන්තයක් විදියට ඉහළින් රඳා පවත්වා ගන්න ඇත්තටම අමාරුයි. ඒ නිසා ඉතින් කර්මාන්තයක් විදිහට පිළිගන්න වෙනවා අපට සිනමාව කියන එක. කලාවක් තමයි, නමුත් මේ වෙළෙඳපොළ ජය ගන්න මේක කර්මාන්තයක් විදිහට ඊට අවශ්‍ය නිර්මාණ බිහිවෙන්න ඕනේ.

ඔබ දිගින් දිගටම චිත්‍රපට නිර්මාණය කරනවනේ. වෙළෙඳපොළ ජය ගෙන මෙය දිගටම පවත්වාගෙන යන්නේ කොහොමද?

ඔව්, අපි කොච්චර හිතුවත් සාමාන්‍යයෙන් අපි ෆේල් වෙන්නත් පුළුවන්. ඒක හරි අවදානම්. අනිත් හැම රැකියාවකටම වඩා හරිම අවදානමක් තියෙන රැකියාවක් තමයි මේ සිනමාව කියන්නේ. හරිම අමාරුයි මේකෙ රැඳෙන්න. ඉතින් ඒක තේරුම් අරගෙන කොහොම හරි රැඳිලා ඉන්නවා.

බහුතරයක් ලංකාවේ චිත්‍රපටවල තිර රචනාවේ නේද ප්‍රශ්නෙ තියෙන්නෙ? ඇයි මේ හොඳ තිර රචනා ලංකාවේ නැත්තේ?

ඇත්තටම ඔව්. තිර රචනා කියන කලාව වෙනස්. හැමෝම හිතන්නේ මේ තිර රචනා කලාව හරිම ලේසියි කියලා. ඇත්තටම හරිම අමාරුයි තිර රචනය හරියට ලියන්න. ඒ වගේම කොහොමද ලියන්නෙ කියලා උගන්වන්නත් හරිම අපහසුයි. ඒක ඉතින් හොඳට තේරුම් අරගෙන තමයි කරන්න ඕනේ.

ලංකාවේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවාට වඩා අපහසුයි නේද, චිත්‍රපටය ප්‍රදර්ශනය කරනවා කියන එක. මේ අභියෝගය ඔබ දකින්නෙ කොහොමද?

මෙහෙමයි ඉතින්, චිත්‍රපටය හොඳ නම් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අපි චිත්‍රපටයක් හැදුවට අපිට පෙන්නන්න සිනමා ශාලා නෑනේ. ඕක අපි අනිවාර්යයෙන්ම සර්කිට් එකක් මාර්ගයෙන් තමයි අරගෙන යන්න ඕනේ. චිත්‍රපට 150 ක් 200 ක් විතර තියෙනවනේ. ඒ හැම චිත්‍රපටයක්ම සර්කිට් වලින් බලලා පෙන්නන්න සුදුසුයි නම් තෝරාගෙන, සිනමා ශාලාවලට බෙදා හරිනවා.

නිර්මාණයක් කරද්දී සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් වෙන්න ඕන කියලා හිතලා නැද්ද?

මට හොඳ නිර්මාණයක් කරන්න ආසාව විතරයි තියෙන්නේ. සම්මාන බලාගෙන වැඩ කරන්නේ නෑ. හැබැයි මෙහෙමයි, සම්මානයක් ලැබුණොත් ඒක ලොකු ශක්තියක්. සම්මාන ලැබුණම ඒක හරි සතුටක්. නමුත් සම්මාන බලාගෙන නිර්මාණයක් කරන අධ්‍යක්ෂවරයෙක් වෙන මේනියාවක් මට නෑ. මට ඕනේ අපේ මේ ලංකාවේ ජනතාව සතුටු වන විදියේ නිර්මාණයක් කරන්න විතරයි. මගේ එකම ආසාවත් ඒක.

ඔබ “රිදී සීනු” කරන්නේ රටේ දැවැන්ත ආර්ථික අවපාතයක් සහ වියදම් අධික කාලයකනේ. කොහොමද මේ ප්‍රශ්නවලට මුහුණ දුන්නේ?

ඔව්, ඒක මෙහෙමයි. දැන් ඉතින් මට යම්කිසි දැනුමක්, තේරුමක් තියෙනවා පිටපතක් ලියන විට. ඕනම පිටපතක් තුළ බජට් එකක් තියෙනවා. මගේ අත්දැකීම් එක්ක මම දන්නවා මේ චිත්‍රපටයේ මේ සීන් එකට කොච්චර මුදලක් යයිද කියලා. බොහෝ දෙනෙක්ට ඒක නැහැ. සමහරු අනවශ්‍ය වියදම්වලට ගිහින් අමාරුවේ වැටෙනවා. ඉතින් මම නිර්මාණයක් කරද්දි මම දන්නවා ඒකට යන බජට් එක කොහොමද කියලා. ඒ නිසා මට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment