රාජ්‍ය මුදල් ගසා කෑ ප්‍රබල රෑනට රට පනින්න දෙන්න එපා

530

විදේශ ගතවීම තහනම් කරන්න නීතිඥ පිරිසක් නීතිපතිට කියති

නිල බලය හා දේශපාලන බලය උපයෝගී කර ගනිමින් මහජන දේපළ හා රජයේ මුදල් අයුතු ලෙස සන්තක කරගැනීම ඇතුළු චෝදනා එල්ලවී ඇති හිටපු කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් රහසිගතව විදේශ ගතවීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන්ට එරෙහිව විදේශ ගමන් තහනම් පැනවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට නීතිඥවරුන් කණ්ඩායමක් ඊයේ (26දා) නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් මේ වනවිටත් අධිකරණ හමුවේ නඩු කටයුතු පවතින වර්තමාන රජයේ ප්‍රබල අමාත්‍ය ධුර දැරූ පිරිසක් මෙන්ම දේශපාලනයට සම්බන්ධ තවත් ප්‍රබලයන් පිරිසක් රටින් පලායාමේ සූදානමක් ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේදී ඊයේ (26දා) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රමුඛ නීතිඥ කණ්ඩායම නීතිපති සංජය රාජරත්නම් මහතාට පෙන්වා දී තිබේ.

එලෙස චෝදනා එල්ලවී ඇති දේශපාලනඥයන්ට එරෙහිව මහාධිකරණ ඇතුළු අධිකරණ විසින් පනවා තිබූ විදේශ ගතවීම වැළැක්වීමේ නියෝග මේවනවිටත් ඉවත් කරගෙන ඇති බව පෙන්වාදෙමින් තම නීතිඥ කණ්ඩායම කළ එම ඉල්ලීමට නීතිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණ බව නීතිඥ සුනිල් වටගල මහතා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේය.

එමෙන්ම රජයට එරෙහිව පෙළ ගැසෙන මහජන විරෝධතා රැල්ල මර්දනය කිරීම සඳහා පොලිසිය විසින් පොදු දේපළ පනත යටතේ අධිකරණයට බී වාර්තා මගින් කරුණු දැක්වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බැවින් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙසත් අත්‍යවශ්‍ය අවස්ථාවක් ඇති බව පෙනීයන්නේ නම් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයකු මගින් ඒ බව අධිකරණ හමුවේ කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙසටත් තම කණ්ඩායම නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවද නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රබල දේශපාලනඥයකුට එරෙහිව චෝදනා එල්ල වී ඇති මල්වානේ ඉඩම් නඩුව පැමිණිල්ලේ සාක්‍ෂියක් මත පිහිටා අවසන් කිරීමට සූදානමක් පවතින බවට නීතිඥ ප්‍රජාව අතර මතුවී ඇති සැකය පිළිබඳවද එහිදී නීතිපතිවරයාගේ අවධානය යොමු කළ තම නියෝජිතයන් එලෙස අවිධිමත් ලෙස එම නඩු කටයුත්ත අවසන් නොකරන ලෙසට නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවද නීතිඥ සුනිල් වටගල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment