අදත් අප මෙය ලියන්නේ වන සතුන්ගේ ජීවිත වෙනුවෙනි

673

චීනයේ තිබෙන සත්ත්ව උද්‍යාන පවත්වාගෙන යන පෞද්ගලික සමාගමක් ලංකාවෙන් රිළවුන් මිලට ගැනීමට සූදානම් වීම නිසා රට බෙදීම සඳහා ත්‍රස්තවාදීන් අනුගමනය කළ ක්‍රියා පිළිවෙත පැවැති සමයේ උදාවූ සමාජ කලබලයට වැඩි කලබලයක් මේ දිනවල ඇතිව තිබේ. රිළවා යනු ශ්‍රී ලංකාවේ වන ගහනයට අයිති තිරිසන් සත්ව ප්‍රජාවගෙන් කොටසකි. මේ සතුන් වගා කටයුතු විනාශ කිරීම නිසා ගොවි ජනතාවට ලොකු අර්බුදයකට මුහුණපෑමට සිදුව ඇත. රිළවුන් පමණක් නොව වඳුරන්, ඉත්තෑවන්, වල් ඌරන්, දඬුලේනුන් ද වගාවට බරපතළ ලෙස හානි කරති. වන සතුන් කෑම සොයා ගම් වදින්නේ ඒ සතුන්ගේ නිජභූමිය මිනිසුන් විසින් ආක්‍රමණය කර ඇති බැවිනි. මිනිසා ඉතා වේගයෙන් වනාන්තරය එළිපෙහෙලි කර ගොවි බිම් ඇති කළේය. මේ ගොවි බිම්වල ඵල දරන කාලයේදී වන සතුන් ඒවාට බලහත්කාරයෙන් ඇතුළු වී එම වගාව කා දැමීම ඉතාම සාමාන්‍ය දෙයකි. රිළවුන් පොල් වගා කරන්නේ නැත. බඩඉරිඟු වගා නොකරති. දඬුලේනුන්ට අයත් පලතුරු වතු නැත. එබැවින් ඒ සතුන් කරන්නේ අත ළඟම තිබෙන තැනින් තම ආහාරය සොයාගෙන අනුභව කිරීමය. එහිදී එම ගොවිපළේ අයිතිකාරත්වය පිළිබඳව වන සතාට හැඟීමක් නැත. ශ්‍රී ලංකාවේ රිළව්, වඳුරු, ඉත්තෑ, වල් ඌරු සහ දඬුලේනු වැනි සතුන්ගේ ගහනය ඉතා විශාල ලෙස වැඩිවී ඇති නිසා ඒ තිරිසන් සතුන් ආරක්‍ෂිත සත්ව ලැයිස්තුවෙන් ඉවත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව එම සතුන් පලවාහැරීමට ගොවීන්ට ක්‍රියා කළ හැකිය. සාමාන්‍යයෙන් ගොවි ජනතාව වන සතුන් තම දේපළට ඇතුළුවීමේදී ඔවුන් පලවා හැරීම සඳහා යොදා ගන්නේ ගිනිඅවියකි. මේ ගිනිඅවිවලින් රිළවුන් සිටින ගසකට වෙඩි තැබූ විට එම වෙඩිල්ල වදින සතා පමණක් නොව ගසේම සිටින රිළවුන් සහ වඳුරන් දහපහළවක් බිම ඇදවැටී කොන්ද බිඳී මියයති. මෙය වඳුරු මස් සහ රිලා මස් ජාවාරමට විශාල උදව්වකි. වනජීවී දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති නීතිවලට අනුව වගාවට හානි කරන සතුන් පලවාහැරීමට හැකි නමුදු උන් විකිණීම හෝ ප්‍රවාහනය කිරීම තහනම් ය. ඒ නිසා ඒ සතුන් අදාළ ස්ථානයේදීම මස් කර විකිණීමට දඩයක්කාරයන්ට සිදුවේ. වගාවට හානි කරන වල් ඌරන් මැරීම සඳහා අවශ්‍ය නීතියක් මීට කලකට පෙර සම්පාදනය කෙරිණි. ඒ නීතියට අනුව සතා මැරිය හැකි නමුදු උගේ මස් විකිණීම හෝ ප්‍රවාහනය කිරීම තහනම් ය. එබැවින් සිදුවන්නේ මිය යන සතාගේ සිරුර එතැනම වළ දමා පසට පොහොර කිරීමය. එහෙත් එවැනි දෙයක් සිදුවේ යැයි ඔබ සිතන්නේ ද කිසි ලෙසකින්වත් නැත. ඉහත කී නීතිය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු වල් ඌරු මස් ලොරිපිටින් පිට පළාත්වලින් කොළඹට ගෙන්වන ලදී. වෙනදා හෝටල්වල පමණක් ඉතා හොරෙන් විකුණන ලද වල් ඌරු මස් ප්‍රසිද්ධියේම විකිණීමට කොළඹ හෝටල්කරුවන්ට ඉඩ ලබා දෙන්නේ ඉහත කී නීතිය මගිනි. වල් ඌරන් මැරීම තහනම් වූ කාලයේදී එම මස් කිලෝවක් රුපියල් දහස ඉක්මවීය. අන්තිමට වල් ඌරු මස් කිලෝව රුපියල් හයසියයට කොළඹින් මිලට ගත හැකි විය. මේ වැඩේ දුර දිග යනවිට බලධාරීහු කොළඹට ගෙනෙන වල් ඌරු මස් අත්අඩංගුවට ගැනීමට පටන් ගත්හ. එවිට පිට පළාත්වල සිටින දඩයක්කාරයන් කළේ වල් ඌරන් මරා එම මස් තම්බා හොඳට පැක්කර කොළඹට එවීමය. එලෙස සකස් කළ මස් වර්ග ප්‍රවාහනය කිරීමෙහි තහනමක් නැත. සාමාන්‍යයෙන් දඩයක්කරුවෝ පිසින ලද වල් ඌරුමස් කොළඹට නොඑවති. වැඩිම වුණොත් කොළඹට එන්නේ වල් ඌරු මස් කිලෝ හත අටක් පමණි. දඩමස් යනු ඉතාම විශාල ඉල්ලුමක් ඇති දෙයකි. මොනර මස් කෑමට සමහරු ඉතා ප්‍රියය. ඉබ්බෙක් පාරේ ගියොත් අඩි දහයකට වඩා පණපිටින් තම ගමන යෑමට එම සතාට ඉඩ නොලැබේ. වඳුරු මස් මේ රටේ ආදිවාසී ජනතාවගේ මෙන්ම පිට පළාත්වල ජීවත් වන සිංහලයන්ගේ ද ජනප්‍රිය ආහාරයකි. එබැවින් ඉදිරියේදී මේ රටේ වන සතුන්ට ජීවිතය රැකගැනීම සඳහා විශාල ගැටලුවකට මුහුණපෑමට ඉඩ ලැබෙනවා ඇත. මෙහිදී වන සතුන් ඉදිරිපිට විකල්ප දෙකක් තිබේ. පළමු වැන්න මිනිසුන්ගේ වගාවලට කඩාපැන වෙඩි කෑමය. දෙවැන්න එම වගාවන්වලට ඇතුළු නොවී කන්න නැතිව මිය යෑමය. එහෙත් මේ දෙවැනි ක්‍රමයෙන් ජීවිත ආරක්‍ෂා කරගැනීමට හැඟීමක් මෙම සතුන්ට නැත. මේ අඹ ගසේ ඇති අඹ ඊබට් මුදලාලිගේය, මේ බඩඉරිඟු යාය අප්පුහාමි මහතාගේය, මේ පලතුරු වත්ත අහවල් ජෑම් කොම්පැනියට අයත්ය යන ආදී වශයෙන් හැඟීමක් වන සතුන්ට නැත. එබැවින් තමන්ට එරෙහිව තිබෙන මරණ වරෙන්තුව ඉබේටම පාවිච්චි වන දිසාවට උන් ඇදී යෑම නොවැළැක්විය හැකිය. වන සතුන්ගේ වගා හානිය නිසා විශාල අර්බුදයකට ගොවි ජනතාව මුහුණපා සිටින බව අපිදු පිළිගනිමු. එහෙත් එම ගහනය පාලනය කිරීම සඳහා විවිධ උපත් පාලන උපක්‍රම යෙදිය හැකිය. මේ විහිළු කතාවක් නොවේ. ඉන්දුනීසියාව යනු අති විශාල පොල් වගාවන් ද අති විශාල වඳුරු ගහනයන් ඇති රටකි. මේ රටේ පාලකයෝ වඳුරෝ ද මරති. දුරස්ථ ක්‍රමවලට අනුව උපත් පාලන ඖෂධ වඳුරන්ගේ ශරීරගත කිරීම මගින් ඉන්දුනීසියානු ආණ්ඩුව එම ගහනය පාලනය කරයි. මේ අතර විවිධ උගුල් මගින් වඳුරන් අත්අඩංගුවට ගෙන පොල් කැඩීම සඳහා උන් පුරුදු කිරීමේ ක්‍රමයක් ඉන්දුනීසියාවේ ඇත. උදේට පොල්වතු අයිතිකාරයා වෑන් එක අරගෙන එනතුරු වඳුරෝ තම සීමාවට වී බලා සිටිති. පොල්වතුකාරයා එහි පැමිණි වහාම වඳුරන් වෑන් එකට නැග ගන්නා අතර පොල්වතුකාරයාත් සමග පොල් වත්තට ගොස් පොල් කඩා දෙති. ඒ වෙනුවෙන් වඳුරන්ට ආහාර සපයනු ලැබේ. වඳුරන්ගේ වෘත්තීය සමිති නැති නිසා ලද දෙයින් සතුටු වන වඳුරෝ මැරුම් නොකා බඩට කා බී ජීවත් වෙති. මෙය ටිකක් දීර්ඝ ක්‍රමයක් තමයි, හැබැයි අනුගමනය කළ හැකි නම් මෙය ඉතාම හොඳ ක්‍රමයකි.

advertistmentadvertistment
advertistmentadvertistment