ප්‍රජාතන්ත්‍රවාදය, පොලිසියේ බාල්කය සහ උද්දිකට වෙඩි තැබීම

1081

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රකට චිත්‍රපට නළු උද්දික ප්‍රේමරත්න ගමන් ගත් වාහනයට අනුරාධපුරයේදී කිසියම් පිරිසක් විසින් වෙඩි තබා තිබේ. වෙඩික්කරුවෝ වෑන් රියක නැගී උද්ධිකගේ රිය පසුපස පැමිණ මෙසේ වෙඩි තබා ඇත. එහෙත් උද්දිකට හෝ රථයේ ගමන් කළ අයට තුවාල සිදුවී නැත. ඒ අනුව මෙය සංඛේතාත්මක වෙඩි තැබීමක් ලෙස අර්ථ නිරූපණය කළ හැක. සමහරවිට ඉදිරියේදී මීට වැඩි පිපිරුම් උද්දිකගේ පය පාමුල සිදුවීමට නියමිත බව මෙයින් අදහස් කෙරේ. උද්දිකගේ සිද්ධිය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට පෙර පසුගිය පැය 72 ඇතුළත සිදුවූ සිදුවීම් කිහිපයක් මහජනතාවට යළි මතක්කර දීම සඳහා මෙසේ මතක් කරමු. දැනට රිමාන්ඩ් භාරයේ පසුවන භයානක පාතාල මිනීමරුවකු වූ ගනේමුල්ලේ සංජීව බැලීමට පසුගියදා දෙදෙනෙක් පැමිණියහ. මේ දෙදෙනා ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු කප්පම් ඇමැති කෙනකුගේ ගෝලයන් දෙදෙනෙකි. සංජීව බැලීමට ආ සැණින්ම මේ දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලදී. මේ අතර පසුගිය පැය කිහිපය තුළදී මාළිගාකන්ද මහෙස්ත්‍රාත් උසාවිය අසල සිදුවූ වෙඩි තැබීමකින් හය හැවිරිදි දැරියක මිය ගියාය. වෙඩික්කරුවන්ට වුවමනා කර තිබුණේ මේ දැරියගේ පියා මැරීම වුවද ඉලක්කය වැරදී පුංචි කෙල්ල මියගොස් මහ මනුස්සයා තුවාල ලබා බේරිණි. එසේම මීගමුවේ දඬුගම් ඔයේ පාවෙමින් තිබූ travelling bag එකක් ගැනද සිහිපත් කළ යුතුය. මේ travelling bag එක ගොඩට ගෙන විවෘත කරන ලද කල්හි එහි තිබූ මළ මිනියක් හමුවිය. දැනගන්නට ඇති පරිදි මියගිය තැනැත්තා රැකියා ඒජන්සිකාරයෙකි. ඔහුගේ සේවාදායකයන් ඩුබායි හෝ බහරේන් හෝ වෙනත් රටවල්වලට ගොස් ඇති බවත් ඒජන්සිකාරයා පරලොව ගොස් ඇති බවත් අපි නිකමට හිතමු. මතුරට, හේවාහැට, රොස්වුඩ් වත්තේ පදිංචි හැත්තෑ හැවිරිදි මාතාවක් පසුගිය දිනක අතුරුදන් විය. දින දෙකකට පසු ඇගේ පුත්‍රයා විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබූ අතර නිවස අසල ගල් කන්දක් පාමුල තිබී ඇගේ මළ සිරුර හමුවිය. මේ ගල් කන්ද ඉතා උස කඳු වැටියකි. ඒ කඳු වැටියේ උඩ කොටස මතුරට පොලිස් වසමට අයත් අතර කන්දෙන් පහළ කොටස හේවාහැට පොලිස් වසමට අයිතිය. මියගිය කාන්තාවගේ අතක් සහ හිස අතුරුදන්ව තිබිණ. පසුව අත වෙනමත්, ෂොපින් බෑගයක දමන ලද ඇගේ හිස වෙනමත් හමුවිය. මෙවැනි අපරාධ සමග සලකා බලන කල්හි උදදිකගේ රථයට වෙඩි තැබීම සරල කාරණයක් සේ පෙනී යනවා ඇත. එහෙත් ධනවාදයේ දේශපාලන ස්වරූපය වූ සමාජවාදය පවතින ලංකාව වැනි රටක මහජන මන්ත්‍රීවරයකුගේ වාහනයට වෙඩි තැබීම සුළුවට නොතැකිය යුතු කාරණයක් බවට පත්වන්නේය. මේ වෙඩි තැබීම විවිධ දෘෂ්ටි කෝණ අනුව සාකච්ඡා කළ හැකිය. එනම්,

  1. මෙය විදේශයක් මගින් සංවිධානය කළ කුමන්ත්‍රණයක් විය හැකිය.
  2. මෙය පිටුපස ඇමරිකාවේ CIA ඔත්තු සේවය හෝ ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානය සිටිය හැකිය.
  3. මෙය මොසාඩ් සංවිධානය හා ක්‍ෂ් සංවිධානයේත් විදේශය CIAත් කිසිදු සම්බන්ධයක් නැති සිද්ධියක් වන අතර උද්ධික ප්‍රේමරත්නගේ තරහකාරයකු කරන ලද්දක් විය හැකිය.
  1. මෙය ආණ්ඩුවේ අනුදැනුම නැතිව ආණ්ඩුවේම පිරිසක් විසින් කළා විය හැකිය.
  2. තම ජනප්‍රියතාව තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා උද්දික ප්‍රේමරත්න විසින්ම සංවිධානය කළ මල් වෙඩි සංදර්ශනයක් විය හැකිය.
  3. මෙය ඉහත සඳහන් කිසිදු පාර්ශ්වයක සම්බන්ධයක් නැති සිද්ධියක් විය හැකි අතර ආණ්ඩුවට වරද පැටවීම පිණිස ආණ්ඩු විරෝධී කට්ටියක් විසින් සංවිධානය කළ ක්‍රියාවක් විය හැකිය.

උද්දික ප්‍රේමරත්න යනු විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ කෙනෙකි. ජනප්‍රිය නළුවකු වීම නිසා හෝ වෙනත් කාරණයක් නිසා හෝ තමන් ඉදිරිපත් වූ පළමුවන මහ මැතිවරණයෙන්ම ජයගැනීමට ඔහුට හැකි විය. පාර්ලිමේන්තුවේ අවුරුදු තුනක් පමණ ගත කිරීමෙන් පසු මීට දින කිහිපයකට පෙර ඔහු විමල් වීරවංශගේ පක්ෂයෙන් ගැලවී ස්වාධීන විය. ඒ අනුව විමල් වීරවංශගේ කට්ටියක් විසින් මේ වෙඩි තැබීම සංවිධානය කළැයි කෙනකුට කිව හැකිය. එහෙත් එම තර්කය අපි බැහැර කරමු. විමල් වීරවංශ ඒ තරමට බොලඳ මිනිසකු නොවේ. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව පෙරළීම සඳහා පළමුවන වෙඩිල්ල පත්තු කරන ලද්දේ ඔහු සහ උදය ගම්මන්පිල විසිනි. ඒ නිසා විමල් වීරවංශට වෙඩි තැබීමට සෑහෙන පිරිසක් කැමැත්තෙන් සිටීමට ඉඩ තිබේ. ඊළඟට උද්දිකම මේ වෙඩිල්ල තබාගත් බවට ඇති තර්කයද අපි පැත්තකට දමමු. උද්දිකගේ නළු ජීවිතයේ ඇතැම් බොළඳ රඟපෑම් තිබුණද දේශපාලනඥයකු වශයෙන් ඔහු කවදාවත් චාටර් වී නැත. ඔහු පාර්ලිමේන්තුවේදී ඉතා කලාතුරකින් හොඳම කතාවක් කළේය. එබැවින් මේ වෙඩි තැබීම හරක් කටා වැනි මෝඩ මී හරක් කටාලා පිරිසක් විසින් සංවිධානය කෙරුණු අනවශ්‍ය වැඩක් බව අපගේ මතය වේ. බරපතළ වෙඩික්කාරයෙක් කෙනකු පසුපස එන්නේ මැරෙන්නටම තියන්නටය. මැරෙන්නටම වෙඩි නොතබා මල් වෙඩි සංදර්ශන පවත්වන්නේ දෙවන පෙළ මෝඩ අනුගාමිකයන් ය. පොලිසිය විසින් මුලින්ම කරනු ඇත්තේ උද්දික පසුපස පැමිණි වෑන් රිය සොයා ගැනීමය. වෑන් රියේ අයිතිකරු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පොලිසියේ බාල්කයේ එල්ලූ විට නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකමට අනුව වෑන් අයිතිකරු සියලු කරුණු හෙළිකිරීමට ඉඩ තිබේ. ලංකාවේ පොලිසිය අසමත් පොලිසියක් නොවේ. ඔවුහු ඉතා කෙටි කාලයක් තුළ අපරාධ හෙළිකර ගනිති. දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය පිළිබඳ සිද්ධිය සම්බන්ධ සියලු දේ පොලිසිය දන්නා බව අපගේ විශ්වාසය වේ. එහෙත් එය හෙළිකිරීමෙන් ලොකු ඩැමේජ් එකක් විය හැකි බව අපි උපකල්පනය කරමු. එය පොලිසියේ අසමත් බවක් නොවේ. පොලිසිය කට ඇරියොත් තවත් බොහෝ දෙනෙක් අසමත් වනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment