වසර 112 ක් පැරණි වුවත් සුරා බදු සේවා ව්‍යවස්ථාවක් තාමත් නෑ

51

සුරාබදු නිලධාරී සංගමයේ සම ලේකම්

වසර 112 ක් පැරණි ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට මේ වනතෙක් සේවා ව්‍යවස්ථාවක් සකස් කර නැතැයි ශ්‍රී ලංකා සුරාබදු නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් ජේ. ඒ. ඩී. නිරෝෂන් ජයකොඩි මහතා දිවයිනට ඊයේ (18දා) පැවැසීය.

රජයේ බදු ආදායම පහළ යෑමට ඇතැම් සුරාබදු නිලධාරීන් වගකිව යුතු බව පැවසුවත් මේ වනවිටත් සේවා ව්‍යවස්ථාවක් සකස් නොකිරීම, උසස්වීම් ලබාදීමට නිසිලෙස විභාග නොපැවැත්වීම වැනි කරුණු නිසා සුරාබදු නිලධාරීන්ට විශාල අසාධාරණයක් සිදුවී ඇතැයි ද ඒ මහතා කීය.

දැනට බඳවා ගැනීම් පටිපාටිය යටතේ සුරාබදු නිලධාරීන් බඳවාගෙන සිටින බවත්, සුරාබදු නිලධාරී සංගම් එක්ව ව්‍යවස්ථාවක් සකස් කිරීමට අවශ්‍ය තොරතුරු ලිඛිතව ලබාදී තිබුණත් එක්තරා උසස් නිලධාරියකු එය සකස් කිරීමට උත්සාහ නොදරන බවත් ඔහු පැවැසීය. එම නිලධාරියා තමන්ට පැවරී ඇති රාජකාරියෙන් තොරව ඔහුට අයත් නොවන ස්කාගාර පරීක්‍ෂාව වැනි කටයුතුවල යෙදෙන බවත් ජයකොඩි මහතා කීය.

සුරාබදු නිලධාරීන් එකම ස්ථානයක වැඩි කාලයක් සේවය කරන බවට චෝදනා එල්ල වුවත් එය සැබවින්ම පරිපාලන දුර්වලතා හේතුවෙන් සිදුවන බවත්, එයට නිලධාරීන්ට චෝදනා එල්ල කිරීම අනුමත කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment