ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ සෙල්වරාජා කජේන්ද්‍රන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන නඩු පවරන්න

66

පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල

තහනම් සංවිධානයක් වන කොටි සංවිධානයේ නායකයෙකු වන අමිර්තලිංගම් තිලීපන් සමරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) වගන්තිය මෙන්ම 2007 අංක 56 දරණ දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් ප්‍රඥාප්ති පනතේ 3 වන වගන්තිය උල්ලංඝනය කළ සෙල්වරාජා කජේන්ද්‍රන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන නඩු පවරන ලෙස ආණ්ඩුවට බල කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ ඊයේ පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩි දුරටත් මෙසේද අදහස් දැක්වීය.

සෙල්වරාජා කජේන්ද්‍රන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් කොටි සංවිධානයේ අමිර්තලිංගම්, තිලීපන් සැමරීමේ රිය පෙරහැරක් නැගෙනහිර සිට උතුරු පළාත බලා යෑමේදී ත්‍රිකුණාමලයේදී ගැටුමක් ඇති වී තිබෙනවා. තිලීපන් කියන්නේ කොටි නායකයෙක්. ඔහු ජීවිතය බිලි දුන්නේ කොටි සංවිධානය වෙනුවෙන්. කොටි සංවිධානය කියන්නේ මේ රටේ තහනම් සංවිධානයක්. තහනම් කරන ලද කොටි සංවිධානයේ කහ සහ රතු පාට ධජවලින් සරසා ගත් වාහනයක තිලීපන්ගේ දැවැන්ත ඡායාරූපයක් ඇටවූ වාහනයක් නැගෙනහිර පළාතේ සිට උතුරු පළාතට ගෙනයෑමට අවසර දුන්නේ කවුද? එයට ඉඩ දුන්නේ ඒ පළාතේ ඉහළ නිලධාරින් නම් ඔවුන් වහාම වැඩ තහනමට ලක් කළ යුතුයි. ඒ සඳහා නිලධාරින්ට දේශපාලකයින්ගෙන් උපදෙස් ලැබුණා නම් ඒ දේශපාලකයින්ට විරුද්ධව නඩු පැවරිය යුතුයි. බෙදුම්වාදය ප්‍රවර්ධනයට සහය දීමෙන් ඒ අය කර ඇත්තේ දඬුවම් ලැබිය හැකි වරදක්. දේපල රාජ සන්තක වන වරදක්. කොටි සංවිධානය සාමාන්‍ය ජනතාව විශේෂයෙන් සිංහල ජනතාව ඉලක්ක කරගෙන ප්‍රහාර 300කට අධික සංඛ්‍යාවක් එල්ල කළ සංවිධානයක්. කොටි ප්‍රහාර නිසා තමන්ට මිත්‍රයෙකු හෝ ඥාතියෙකු අහිමි නොවුණු අයෙක් සිංහල සමාජයේ නැති තරම්. ඒ නිසා සිංහල සමාජයේ කොටි සංවිධානය පිළිබඳ තිබෙන්නේ දැඩි තරහක්. එවැනි පසුබිමක තිලීපන් සැමරුම් රථ පෙළපාලියක් කොටි සංවිධානයේ සැහැසිකම්වලින් දශක තුනක් පුරාවට බැට කෑ නැගෙනහිර සිංහල ජනතාව ජීවත් වන ප්‍රදේශ හරහා යනවා කියන්නේ ජාතිවාදය සහ ද්වේශය අවුස්සමින් ජනතාව කුපිත කිරීමක්. ඒඅයට එරෙහිව නඩු පවරන්න කියා අපි ආණ්ඩුවට බල කරනවා. ආණ්ඩුව කියනවාලු‍ අපිට තාම පැමිණිල්ලක් ලැබී නෑ කියලා. ප්‍රශ්නය ඒකනම් අපි හෙටම පොලීසියට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ උපේක්ෂාව සහනශීලිත්වය දුර්වලකමක් ලෙස සලකන්න එපා කියා අපි බෙදුම්වාදින්ට අනතුරු අඟවනවා.
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment