ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන තවම එකඟතාවක් නැහැ

35

සජබ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන තවම එකඟතාවයක් ඇති කරගෙන නැතිවීම භයානක තත්ත්වයක් බවත් ලබන වසරේ සැප්තැම්බර් මාසයේ 27 වැනිදා සිට ණය ගෙවීම ආරම්භ කළ යුතු බැවින් විදේශ ණය නොගෙව්වොත් රට හුදකළා වන බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (18දා) පැමැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් තිස්ස අත්තනායක මහතා මෙසේද සඳහන් කළේය.

අපි ඉන්නේ තීරණාත්මක අවස්ථාවක. විශාල පිරිසක් බලාගෙන ඉන්නවා රටට වෙන්නේ මොකක්ද කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ලබාදෙන දෙවැනි වාරිකය ලබාදීම පිළිබඳව අවසාන නිගමනයට එළඹෙන්න තිබෙන්නේ සැප්තැම්බර්

27 වැනිදා. ඒ වනවිට මුල් වාරිකය සඳහා යෝජනා වුණ ක්‍රියාකාරකම් සහ නියමයන් සම්පුර්ණ කර තිබෙන්න ඕන. සැප්තැම්බර් 27 වැනිදා වනවිට ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකිරීම පිළිබඳ අවසන් නිගමනයකට එළඹෙන්න ඕන. ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකිරීම පිළිබඳ අවසන් තත්ත්වයකට තවම ඇවිත් නැ. චීනයට, ඉන්දියාවට, ජපානයට ඇතුළු රටවලට ගෙවීමට තිබෙන ණය පිළිබඳ එකඟතාවයකට නොආවොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ප්‍රමාද වෙන්න පුලු‍වන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ප්‍රමාද වීම හරහා අපේ රට ජාත්‍යන්තර වශයෙන් සහයෝගය ලබාගැනීමට තිබෙන ඉඩ කඩ ඇහිරෙනවා.

බොහෝ අය තර්ක කරනවා වැටිච්ච රට ගොඩ එනවා කියලා. නමුත් ජාත්‍යන්තර විශ්ලේෂකයින්ට අනුව එහෙම පෙනෙන්නේ නෑ. ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සම්පූර්ණ කරලා තියෙන්නේ සියයට 30 ප්‍රමාණයක්. සියයට 70 ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සම්පුර්ණ කිරීමට ලංකාව අසමත් වෙලා තියෙනවා. අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස බුද්ධි ගලනය පත්වී තිබෙනවා. රටේ සේවය කරන්න යොදා ගන්නා විශේෂ දැනීමක් තිබෙන බොහෝ පිරිසක් තමන්ට ජීවත් වීමට සුදුසු වෙනත් රටක් සොයාගෙන යන මට්ටමට බුද්ධි ගලනය පත්වෙලා. රටේ වෛද්‍යවරු, ඉංජිනේරුවරු සහ විද්වත් පිරිස් කොපමණ ප්‍රමාණයක් රටින් ගිහින් තියෙනවද කියලා ආණ්ඩුවට තක්සේරුවක්වත් නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියමුවන් 60 ක් ඉවත් වෙලා ගිහින්. මේ සඳහා ගුවන් නියමුවන්, වෛද්‍යවරු, ඉංජිනේරුවරු විදේශ රටවලින් ගෙන්වීම හරහා කරනවා නම් බුද්ධි ගලනය නවත්වාගැනීම සඳහා ඊට වඩා වැඩි පියවරකට ආණ්ඩුව නොයන්නේ ඇයි ?

ආයතන බිඳ වැටීම්, බුද්ධි ගලනය, රටේ පවතින උද්ධමනයේ හිරවීම් නිසා රටේ ආර්ථිකය යම් හිරවීමේ තත්ත්වයකට පත්වී තිබෙනවා. ලංකාවේ දේශීය ණය වර්ගීකරණයේදී ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය ත්‍සඑජය ඍ්එසබට විසින් සී තත්ත්වයේ සිට ආර්ඩී තත්ත්වය දක්වා පහළ දමා තිබෙනවා. මේ වර්ගීකරණය හරහා ලංකාව යම් අවදානමකට ලක් කරලා තියෙනවා. මේක හොඳ දෙයක් නෙවෙයි. රට හොඳට යනවා නම් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතන හොඳ ප්ලස් මාර්ක් එකක් දෙන්න ඕන. දැන් දෙන්නේ ඒකේ අනිත් පැත්ත.

රටේ දෛනිකව වාර්තාවන අපරාධ ප්‍රමාණයත් ප්‍රසිද්ධියේ සිදුවන වෙඩි තැබීම් ඝානතයන් මංකොල්ලකෑම් එන්න එන්න වැඩි වෙමින් තිබෙනවා. රටක අපරාධ රැල්ල වැඩි වෙනවා කියන්නෙම නරක තැනකට රට තල්ලු‍ වෙනවා කියන එක. මේ වනවිට මාසයකට ඝාතනයක් පමණක් 30 කට වැඩි ප්‍රමාණයක් සිදුවෙලා තිබෙනවා. රටේ මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, ඝාතනයන්වල වර්ධනයක් සිදු වෙනවානම් නීතියේ සාධාරණත්වයක් කොහෙද තියෙන්නේ.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment