ගාල්ලේ අවුරුදු 5ට අඩු දරුවන් – 7848ක් මන්දපෝෂණයෙන් – 1137 කටම උග්‍ර මන්දපෝෂණය

113

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

ගාල්ල දිස්ත්‍රික්කයේ උසට සරිලන බර අනුව අවුරුදු 05ට වඩා අඩු දරුවන් 7848 දෙනකු මන්දපෝෂණයෙන් පෙළෙන බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා ගාල්ල දිස්ත්‍රික් ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රගති සමාලෝචන රැස්වීමේදී සඳහන් කළේය.

මෙම දරුවන් අතරින් 1137 දෙනකු උග්‍ර මන්දපෝෂණයෙන්ද, 6711 දෙනකු මධ්‍ය මන්දපෝෂණයෙන් ද පෙළෙන බව හෙතෙම පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ අවුරුදු 05ට අඩු ළමයින් 69560 දෙනකු මෙම වර්ෂයේ (2022) ලියාපදිංචි වී සිටින බව ද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

ඉකුත් 2021 වසරට වඩා මෙම වසරේ උසට සරිලන බර අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ළමුන්ගේ මන්දපෝෂණ තත්ත්වය සියයට 2.6කින් වැඩිවී ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මෙහිදී පැවසීය. ඉකුත් 2021 වසරේ උසට සරිලන බර අනුව ළමුන් සියයට 9.5 ක් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළුණු අතර මෙම වර්ෂයේ (2022) සියයට 12.1 දක්වා මන්දපෝෂණ පෙළෙන ළමුන්ගේ සංඛ්‍යාව වැඩිවී ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල හෝලඩ්ගෝල් ශාලාවේ මෙම රැස්වීම පැවැත්විණි.
ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment