“අපේ රටේ මිනිස්සුන්ට සතුටු වෙන්න කියල දෙයක් තියෙන්නෙ මෙච්චරයි.” ඒ මෙවර ලෝක කුසලාන තරගාවලියේදී අපට ඇසුණු ලස්සනම ප්‍රකාශයයි. පකිස්තානය හමුවේ ලැබූ ජයග්‍රහණයෙන් පසු මේ හෘදයාංගම ප්‍රකාශය කළේ රෂීඩ් ඛාන්ය. ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ලෝකයක් හඳුනන දඟ පන්දු යවන්නාය. යුද්ධයෙන් කුඩුපට්ටම්ව හෙම්බත්ව ජීවත්වන ජනතාවකට වුව ක්‍රීඩාවේ ජය පැරදුම කෙතරම් වටින්නේදැයි රෂීඩ් එදා මේ කතාවෙන් නොකියා කීවේය. රෂීඩ්ගේ කතාව ඇසූ අපට මෙසේ සිතුණේය. අප රටේ නම් අතීතයේ මෙන් දැන් යුද්ධයක් නැත. එහෙත් අප ජීවත් වන්නේ උතුරටත් දකුණටත් වෙනස් නොමැතිව ජීවන යුද්ධකයට මුහුණ දෙන්නට සිදුව ඇති වටපිටාවකය. එහෙව් විට පවා ක්‍රිකට් අපේ රටේත් ප්‍රධාන මාතෘකාවය. රටේ නහුතයක් ප්‍රශ්න තිබියදී ඒවා අභිබවා යන තරමට ජනතාව ක්‍රිකට් ගැන කතා කිරීමෙන් පෙනෙන්නේ මේ ක්‍රීඩාව ඇෆ්ගනිස්තානයටත් වඩා අපේ රටේ මිනිසුන්ගේ හිත්වලට කා වැදී ඇති තරමය. නමුත් අතීතයේ මෙන් ක්‍රිකට් ගැන හෝ කතා කර සිත සනසවා ගත හැකි වාතාවරණයක් දැන් ශ්‍රී ලාංකිකයනට නැත. ඒ ලෝක කුසලාන තරගාවලියේදී අවසන් පූර්ව වටයට හෝ පැමිණීමට නොහැකිව දිගින් දිගටම අපේ කණ්ඩායම ලද කුජීත පරාජයන් නිසාම නොවේය. ජය පැරදුම ලෝකයේ කාටත් වඩා හොඳට අපේ ක්‍රීඩා ලෝලීන්ට විඳ ගත හැකිය. නමුත් දැන් අප ලෝකය හමුවේ විලි ලැජ්ජාවට පත්වීමට නියමිත ඇත්තේ ක්‍රීඩාවෙන්ද සූදු කෙළින රටක් ලෙසය.

එම ගර්හිත ලේබලය රටට අලවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග පාවාදීමෙන්දැයි ඔබට සිතෙන්නට පුළුවන. කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති මෙම පරාජයන් කුමන්ත්‍රණයක් බවත් එය හෙළිකරන බවත් පුවත් පළ විය. එවැනි විටෙක තරග පාවාදීමේ සූදු කෙලියේදැයි සිතුවිලි නැගෙන තරමට ඉකුත් කාල වකවානුවේදී අපේ කණ්ඩායම තරග පැරදුණේය. සමහර තරග පැරදුණා නොව ප්‍රතිවාදීන්ට ජයග්‍රහණ දෝතින්ම පිදුවා වැනිය. අපේ ක්‍රිකට්වලට මේ අභාග්‍යසම්පන්න කාලය උදා වූයේ ක්‍රිකට් පරිපාලනයේ වරදින් යැයි ඒ සමගම චෝදනා එල්ල වන්නට විය. එම චෝදනා සමාජයේ කතා බවට ලක්වූයේ මීට අවුරුදු හත අටකට පෙර සිටය.

ක්‍රිකට් පරිපාලනයේ දූෂිත කතාවලට පැමිණිය යුත්තේ ් ඉතාහාස කතාද අමතක නොකරය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන තැන දූෂිත සුදු පිටියක් බව ක්‍රීඩාව බාර අමාත්‍යවරයාම සැර කතාවක් කරමින් ලෝකයටම හෙළිදරව්වක් කරන්නේ මෙවැනි පසුබිමක් තුළය.් ක්‍රිකට් වෙළාගෙන තිබෙන මාෆියාවේ තරම යම් තරමකින් හෝ තේරුම් ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ මේ කතාව කියවිය යුතුය.

“අද ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ තියන තත්ත්වය පිළිබඳ මෙන්න මේ විදියට විග්‍රහ කරන්න කැමතියි. මෙතන ඒ ෆයිල් ඔක්කොම තියනවා. ජනාධිපතිතුමාට කව්ද කියල තියෙනවා ෆයිල් එකක්වත් නෑ කියල. 2018 ඉඳල 2013 දක්වා වෝහාරික විගණනනයක් කරන ලෙස විගණකාධිපතිවරයාට උපදෙස් දෙන ලෙස මම පාර්ලිමේන්තුවෙන් ඉල්ලනවා. එතකොට ඔය ක්‍රිකට් ආයතනය රකින නීතිඥයන්ගෙ රෙදි ගැලවෙනවා. ක්‍රිකට් පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාව සභාගත කරල තියෙන්නෙ. දූෂිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් කියනවලු මේක සභාගත කරල නෑ කියල. නැහැ මේක සභාගත කරල තියෙන්නෙ. මම මේ වාර්තාව පොලිස්පති තුමාට නීතිපතිතුමාට බාරදීල තියෙනවා. මේක ගැන ක්‍රියාමාර්ග ගන්න කියල ඉල්ලීමක්ද කළා. මූල්‍ය අක්‍රමිකතා සිදුවෙලා තියෙනවා කියල විගණාකාධිපතිවරයා පැහැදිලිව නිර්දේශ කරල තියෙනවා. එහෙනම් මේ රටේ නීතිය අනුව චූදියන්ට එරෙහිව නඩු දාන්න බැරි ඇයි? නීතිපති මාස දෙකක් තිස්සෙ මේකට කල් මරනවා. මේ විගණන වාර්තාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ආසියානු ක්‍රිකට් කවුන්සිලයටත් යොමු කළා. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ජේසාට මම මේ ලිපිය යොමු කළේ විශේෂ ලිපියකුත් එක්ක. ජේසා මහතාගේ කුඩයට මේ දූෂිත කල්ලිය ආවරණය වෙලා ඉන්නෙ. ඒ වගේම විගණන වාර්තාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නියෝජනය කරන රටවල් එකොළහටම යොමු කළා. මහජන විරෝධය වැළැක්වීම සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රීඩා පනතේ බලතල ප්‍රාකාරව දූෂණ විෂමාචාර සම්බන්ධව විමර්ශන පැවැත්වීම සඳහා අන්තර් පාලක මණ්ඩලයක් ස්ථාපිත කළා.

ජනාධිපතිතුමා මට කිව්වෙ ක්‍රිකට් එක සුද්ධ කරල හදන්න කියලයි. ක්‍රීඩාව හදන්න කියලයි. ඒ අනුව මම වගකීම බාරගත්තා. මේ තීරණය කැබිනට් එක ජනාධිපතිතුමාව දැනුවත් කරල නෑ කියල ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කළා. අධිකරණයට යද්දි නීතිඥවරයා මේකත් වාසියට ගත්තා. කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිතුමාගේ අවසරය ගන්න ඕන දේවල් මම දන්නවා. මම කැමති නෑ මගේ අමාත්‍යාංශයට කවුරුහරි ඇඟිලි ගහනවට. මේ රටේ අධිකරණ පද්ධතිය කියන්නෙ කිරි කළය. නමුත් එක අධිකරණ කාමරයක ප්‍රශ්නයක් තියෙනවා. අහිංසක මිනිස්සු උසාවියට එන්නෙ සාධාරණයක් ඉල්ලලා. මේ රටේ අධිකරණ පද්ධතියේ මේ දක්වා කිසිදු කිලුටක් ඇතිවෙලා තිබුණේ නෑ. අධිකරණ පද්ධතිය බොහොම පිරිසිදුව තිබුණා. නමුත් කාමර අංක 301 හි නීතියේ දෙවඟනගේ අතේ තියන තරාදිය ක්‍රිකට් සංගමයට බරවෙලා තියෙනවා. මෙන්න මේකයි ඇත්ත. ක්‍රිකට් ආයතනයේ අය හොර තක්කඩිකම් වහන්න නඩු ගාස්තු විදියට ලක්ෂ 386 ක් වැය කරල තියෙනවා මේ නඩු ටිකට. විගණන වාර්තාවේ ඒ තොරතුරු ටික තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහ දවල් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කරල තියනවා කියල මම ක්‍රිකට් ක්‍රීඩාව බාර අමාත්‍යවරයා විදියට ප්‍රකාශ කරනවා.”

අවාසනාවකට ක්‍රිකට් ගැන එසේ චෝදනා කරන්නෙ ක්‍රීඩාව බාර අමාත්‍යවරයාමය. ක්‍රිකට් ගැන තවත් ඉතින් මොන කතාද? විගණන වාර්තාව මත කරන අමාත්‍යවරයාගේ හෙළිදරව්වට අනුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන්ට ඇති නඩුවලට ආතනයේ මුදල් වියදම් කර නඩු කිව හැකිද? අයි. සී. සී. යෙන් හෝ වෙනත් ආතනයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත මුදල් ලැබෙන්නේ ක්‍රීඩාවේ සංවර්ධනයටද නොමැතිනම් නිලධාරීන්ට ඇති නඩුවලට නඩු ගාස්තු ගෙවීමටදැයි මේ මුදල් වියදම් කළ පිරිස් පිළිතුරු දිය යුතුව ඇත. ක්‍රීඩා ලෝලීන් සිටින්නේ මේ කුමන අටමගලයක් කර හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් යළි ගොඩ ගත යුතුය තැනය. බැරිම නම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වසරකට අත්හිටුවා හෝ ක්‍රිකට් ආයතනයත් සමගම පෙර පැවති රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රිකට් කණ්ඩායමක් ගොඩනැගිය යුතුය කියන තැනය. එසේ සිතෙන තරමට මෙරට ක්‍රිකට් ලෝලීන්ට දැන් ක්‍රිකට් තිත්ත වී ඇත.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment