සිස්ටම් චෙන්ජ් කරන්න බැරි හේතුව ජනාධිපතිවරයා තරුණයන්ට කියාදෙයි

632

පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්ද විමසීම් දින නියමයකින් තොරව කල්යෑමත් සමඟ රටේ දේශපාලන කරළියේ උණුසුම තව තවත් වැඩි විය. මේ අයුරින් බලන විට ආණ්ඩුව පළාත් පාලන ඡන්දය නොපවත්වන්නට ඇති සූදානම විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සැකයකින් තොරව වටහා ගත්හ. මහජන මතය පිළිබිඹු වීමට මේ අවස්ථාවේ ඇති එකම මාර්ගය කුමක් හෝ මැතිවරණයක් බව බොහෝ දෙනා විශ්වාස කළහ. එවන් අවස්ථාවක පවත්වන්නට තිබෙන ඡන්දය නොපවත්වා සිටින්නට ආණ්ඩුව යම් යම් උත්සාහයන් දැරීම රටේ පොදු ජනතාව අනුමත කළේද නැත. පසුගිය සතියේ දේශපාලන කරළියේ වඩාත් තදින් සාකච්ඡාවට ලක් වූයේ ආණ්ඩුවේ මේ ඡන්දය කල්දැමීමේ ව්‍යාපෘතිය ගැනයි.

දේශපාලන කරළියේ තත්ත්වය මොන තරම් උණුසුම් වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට නම් ඒ පිළිබඳ කිසිදු හැඟීමක් තිබුණේ නැති තරම්ය. ඔහු ඒ කිසිවක් ගණන් ගත්තේ නැත. ඒ අතර පසුගිය සෙනසුරාදා ඔහු යාපනයේ සංචාරයක නිරත වූයේය.

● යාපනය සංචාරයේ
රනිල්ගේ යටි අරමුණ

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් දකුණේ දේශපාලන කරළියේ ඇති වී තිබෙන සංවාදය බලවත් එකක් විය. දේශපාලනයේ නිරත වී සිටින ඇතැම් පක්ෂ මේ වෙලාවේ ඡන්දය සම්බන්ධයෙන් ඇති උනන්දුව නිසාම මේ මාතෘකාව ගැන නිහඬතාවයක සිටියත් දකුණේ සිංහල බෞද්ධ ජාතික බලවේග නම් නිහඬව සිටියේ නැත. ඔවුහු මේ ගැන දිගින් දිගටම විරෝධය පාමින් කරුණු දක්වන්නට වූහ. වසර 36ක් පැරණි මෙම ව්‍යාපෘතිය ගැන නොයෙකුත් තර්ක විතර්ක නගන්නට වූහ.

එවන් පසුබිමක් දකුණේ තිබියදී ජනාධිපතිවරයා හිටිහැටියේ යාපනය බලා සංචාරය කිරීම ගැන දකුණේ යම් යම් දේශපාලන බලවේග දුටුවේ යහපත් දෙයක් හැටියට නම් නොවේ. ඔවුන්ගේ මතය වූයේ රනිල් වික්‍රමසිංහ මේ වෙලාවේ යාපනයේ ගොස් කරන දේශපාලනය ගැන ජනතාව සැලිකිලිමත් විය යුතු බවයි. සුමන්තිරන්ලා, විග්නේෂ්වරන්ලා සමඟ සාකච්ඡා කරමින්, ජනාධිපති රනිල් මේ වෙලාවේ ඉන්දියාවේ හා ලංකාවේ සිටින බෙදුම්වාදී ජාතිවාදීන්ගේ අවශ්‍යතාවයක් ඉටු කරන්නට පුරෝගාමී වී සිටින බව ඔවුන්ගේ අදහස වූහ.

මේ නිසා ඔවුන් ජනාධිපතිවරයාගේ මෙම උතුරු සංචාරය ගැන දැඩි විමසිල්ලෙන් සිටියහ. කවුරු කවර මොන කතා කීවත් ජනාධිපතිවරයා යාපනයට ගියේ එහි අභිනවයෙන් ඉදිකළ ජාතික සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමට බව ජනාධිපති කාර්යාලය කීවේය.

රනිල්, ඩග්ලස් දේවානන්දා හා එක්වී සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසුව සංස්කෘතික අමාත්‍යාංශය හින්දු සංස්කෘතිකාංගවලට මුල්තැන දෙමින් සංවිධානය කර තිබූ විශේෂ සංස්කෘතික සංදර්ශනයක් නරඹන්නට ද සහභාගී විය. රනිල් සමග මෙම ගමනට සම්බන්ධ වී සිටි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක හා රුවන් විජේවර්ධන ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

“මේ සංස්කෘතිකාංග නම් ඕන තරම් අපි දැකලා තියෙනවා. හැබැයි මෙහෙ ඉන්න සාමාන්‍ය ජනතාවට මේවා ලේසියෙන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලො ගොඩක් උනන්දුයි මේවා බලන්න. මම මෙතන හිටියොත් එයාලට සමීප වෙලා මේ සංදර්ශනය බලන්න බැරි වෙනවා. මට හිතෙනවා මෙතනින් අපි ගියොත් හොඳයි කියලා…” එසේ කියා එතනින් ඉවත් වන්නට තීන්දු කළ ජනාධිපතිවරයා සිය හිතවතුන් සමග ප්‍රධාන න්‍යාය පත්‍රයේ වන කටයුතුවලින් සමු ගත්තේය.

මේ අතර යාපනයේ ඇවිදිමින් ගොවිබිම් බලන්න යන්නට ජනාධිපතිවරයාගේ අදහසක් තිබිණි. එළවළු, පලතුරු, අල, ලූනු පමණක් නොව, මේ ආශිර්වාදලත් භූමියේ සරුපස මත වී, උඳු, කුරහන් ආදී වගාවන්ද ඉතා හොඳින් කෙරෙන බව රනිල් දැන සිටියේය. ඔහුට අවශ්‍ය වූයේ යාපනය ප්‍රදේශයේ වී වගාව ගැන විශේෂයෙන් කරුණු විමසා බලන්නටය. ඒ සඳහා වූ ප්‍රදේශයක් සොයන්නැයි කියා ඔහු කල්තියා නිලධාරීන්ට දන්වා තිබුණි.

නිලධාරීන්ගේ උපදෙස් අනුව ඊළඟට ජනාධිපති රනිල් පිටත්ව ගියේ කිලිනොච්චි පන්නකාඩු ප්‍රදේශයේ පිහිටි සරුසාර කුඹුරු යායක් නරඹන්නට ය. වැඩි ආරක්ෂාවක් නොමැතිව සීමිත පිරිසක් සමග රනිල් එම කුඹුරු යාය බලන්නට ගියේය. සත්තකින්ම ඔහුට අවශ්‍ය වූයේ ජනතාව සමග වගාවන්හි ඇත්ත තත්ත්වය ගැන කතා බහ කරන්නටය. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ හදිසි පැමිණීමෙන් අන්දමන්ද වී පසෙකට වී බලා සිටි ජනතාව ඔහුගේ සුහදශීලී බවත් සමග සමීප වී කතාබහ කරන්නට ද වූහ.

“මොනවද ඕගොල්ලන්ට වී වගාව හොඳින් කරගෙන යන්න තියෙන ප්‍රශ්න. මොනවද ඕන…”

“කලට වෙලාවට බීජ වී ටික, වතුර ටික, පොහොර ටික, තෙල් බේත් ටික ලැබෙනව නම් අපිට වෙන මොනවත් ඕනේ නෑ…”

“ඒ කියන්නේ උවමනා පහසුකම් දුන්නොත් ඕගොල්ලන්ට පුළුවන් රටටම බත සපයන්න අඩුපාඩුවක් නැතුව..?”

“අපොයි පුළුවන් සර්… ඒ වුණත් තෙල් – බෙහෙත්, පොහොරවල මිල වැඩියි… වෙළෙන්දෝ වී ටික ගන්නෙත් අඩු මිලට. ඕවා තමයි විසඳෙන්න ඕන ප්‍රශ්න…”

ගොවියන් එසේ කියද්දී ජනාධිපතිවරයා කීවේ රජය මෙවර වී මිල රුපියල් 100 ක් කරන බවයි. ඒ මිලට රජය වී ලබාගන්නට කටයුතු කරන බව රනිල් එහිදී ගොවියන්ට පොරොන්දුවක් විය.

“ඉස්සර යුද්දෙ පටන් ගන්න කලින් ඡන්දය ඉල්ලන්න ආව කොබ්බෑකඩුව මහත්තයා තමයි ඔය ප්‍රශ්නය අපෙන් මුලින්ම ඇහුවේ. දැන් ඔබතුමාත් ඒ ප්‍රශ්නෙම අහනවා.” එතන සිටි දැනුම් තේරුම් ඇති වයෝවෘද්ධ ගොවියෙක් කීවේය.

කෙසේ වෙතත් රටේ නායකයා තමන්ගේ ගොවි බිමේ දී මෙසේ ජනතාවට සමීප වී කතාබහ කිරීම මේ පළාතේ ගොවි ජනතාවට අලුත්ම අලුත් නැවුම් අත්දැකීමක් වූහ. එදා රාත්‍රිය යාපනයේ ගත කරන්නට රාජ්‍ය නායකයා කල්පනා කළේය. එහිදී විශේෂ ප්‍රභූවරුන් කීපදෙනෙක් හමු වූ බව ද විශේෂ සාකච්ඡාවන් කිහිපයක් පැවති බව ද වාර්තා වී තිබුණත් ඒවා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මාධ්‍යවලට විවෘතව තිබුණේ නැත.

මේ නිසා බොහෝ දෙනෙක් අනුමාන කළේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් යාපනය ප්‍රභූ ජනතාවගේ මතය විමසන්නට යම් සැලැස්මක් තිබෙන්නට ඇති බව ය.

● මැතිවරණ සටනේ
පක්ෂ විපක්ෂ ගැටුම්

මේ වන විට රටේ දේශපාලන කරලියේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු වේගවත් වී තිබිණි. ඡන්දය පවත්වනවාද නැද්ද කියා තවමත් තීන්දුවක් නොතිබුණත් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, නිදහස් ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ සිය දේශපාලන රැලි හා රැස්වීම් නිරන්තරයෙන්ම පවත්වමින් සිටියහ. එහිදී කැපී පෙනෙන දේශපාලන කණ්ඩායම වූයේ සමගි ජන බලවේගය යි. සමගි ජන බලවේගය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට යමින් ප්‍රධාන රැලි පවත්වමින් සිටියහ. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට විවේකයක් තිබුණේම නැති තරම්ය. ඔවුන්ගේ ප්‍රචාරක රැස්වීම්වලට ද මහත් උද්යෝගයකින් විශාල සෙනඟක් සහභාගි වන බව නම් පැහැදිලි විය.

මැතිවරණ සටනේ කැපී පෙනෙන උද්‍යෝගයක් පෙන්නුම් කළ අනෙක් දේශපාලන පක්ෂය වූයේ ජාතික ජන බලවේගයයි. ජාතික ජන බලවේගයේ රැස්වීම්වලට ද සිතනවාට වඩා වැඩි ජනතා සහභාගිත්වයක් හා උද්‍යෝගයක් තිබෙන බව පෙනෙන්නට විය. මොන අයුරකින් හෝ ඡන්දයක් පැවතියහොත් මේ පක්ෂ දෙකෙන් වැඩි බලයක් ගනු ලබන්නේ කවුදැයි යන්න තේරුම්ගත නොහැකි මට්ටමට ඔවුන් දෙගොල්ලන්ගේම මැතිවරණ සටනේ උණුසුම ප්‍රබලව රටට දැනෙන්නට විය.

මේ අතර පසුගිය සතියේ බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින්ගේ විශේෂ රැස්වීමක් නෙලුම් මාවතේ පැවැත්විණි. එහිදී බැසිල් සාකච්ඡා කළේ පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක වැඩ කටයුතු ගැනය.

“මැතිවරණය තියෙනවද නැද්ද කියලා තවම තීන්දුවක් අරන් නෑ… ඒ වුණාට දේශපාලන පක්ෂ නිකරුණේ වියදම් කරනවා. අපි කොහොමද නිකරුනේ වියදම් කරන්නේ…” කීපදෙනෙක්ම මෙසේ කියමින් මැසිවිලි නගන්නට වුවත් බැසිල් හිටියේ වෙනම අදහසකය.

“ඒ උනාට සර් මේ වෙලාවේ අපි පස්සට ගිහිල්ලා මැතිවරණ ප්‍රචාරක කටයුතුවල අපි හිටියෙ නැත්තං අපේ පාක්ෂිකයෝ අපි ගැන කලකිරෙනවා. මිනිස්සුන්ට මේ වෙලාවේ මොරාල් එකක් දෙන්න නම් අපටත් මේ වෙලාවේ මැතිවරණ ප්‍රචාරක සටනට බහින්න වෙනවා.” මහින්දානන්ද පෙන්වා දුන්නේය.

ඊට පෙර සතියේ පැවති මෙවන් සාකච්ඡාවක දී පවත්වන්නේ නැති මැතිවරණයක් වෙනුවෙන් සටන් කිරීම ඵල රහිත යැයි කී පොහොට්ටුවේ නායකයකුට බැසිල් රාජපක්ෂ හොඳටම දොස් පවරා තිබිණි. ඔහු කෙළින්ම කියා තිබුණේ පක්ෂයේ ප්‍රචාරක කටයුතුවලට නායකත්වය දෙන්න බැරිනම් හොඳම දේ පක්ෂයෙන් ඉවත්ව යන එක බවය… බැරි නම් යන්න යැයි ඔහු කීප වරක්ම පවසා තිබිණි.

එම නිසා මේ රැස්වීමේදී නම් බහුතරයක් දෙනා කතා කළේ සුබවාදීව ය.

● පොහොට්ටුව සටනට
පාරට බහින තීන්දුව

ප්‍රධාන රැස්වීම් විසිහතක් සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පැවැත්වීමටත් කුඩා ප්‍රචාරක රැස්වීම් 3800ක් පැවැත්වීමටත් එහිදී බැසිල් රාජපක්ෂ යෝජනා කළේය.

“ගාල්ලේ නම් ප්‍රධාන රැස්වීම් දෙකක්වත් තියන්න ඕන. මුහුදුබඩ පළාත් ඉලක්ක කරගෙන එක රැස්වීමකුත් බද්දේගම, හිනිදුම, තවලම වගේ පැති අල්ලලා ඇතුළට වෙන්න තව ප්‍රධාන රැස්වීමකුත් තියමු” මොහාන් සිල්වා යෝජනා කළේය.

“ඒක ඔයිගොල්ල දිස්ත්‍රික්කවල හැටි හැටියට කතාබහ කරල සැලසුම් කරගන්න…” බැසිල් කීය.

“කවදත් අපේ ආරම්භක රැස්වීම අපි පවත්වන්න අනුරාධපුරයේ. මේ පාර කොහොමද සූදානම…” බැසිල් එසේ විමසන විට එස්. එම්. චන්ද්‍රසේන නැගිට කෙලින්ම කීවේ මම ඕනම දවසක ඕනම දේකට ලෑස්තියි කියාය.

“එහෙම නම් අපි ලබන 24 වැනිදා අනුරාධපුරෙන් වැඩේ පටන් ගමු… මහින්දානන්ද, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා, සාගර කාරියවසම්, සංජීව එදිරිමාන්න, චාමර සම්පත් ඇතුළු නායකයෝ ගණනාවක්ම කතා කරමින් තම අදහස් ප්‍රකාශ කළහ.

එහෙමම රැස්වීම අවසන් කර එළියට බසින විටම මාධ්‍ය පැමිණ නායකයෝ වටකරගෙන ප්‍රශ්න අහන්න වූහ. මහින්දානන්ද ඇතුළු කිහිප දෙනෙක් එහිදී අදහස් ප්‍රකාශ කරමින් මැතිවරණ ප්‍රචාරක සටන ආරම්භ කරන ආකාරය පැහැදිලි කළහ.

“ඡන්දෙ පැවැත්වුවත් නැතත් අපි අපේ ප්‍රචාරක වැඩ කටයුතු කරගෙන යනවා. ඡන්දය පවත්වන්න කියලා මුලින්ම යෝජනා කළෙත් අපි. මොකද අපි ඡන්දෙට බය නෑ. අපි හැම දිස්ත්‍රික්කයකම තරග කරනවා…”

පොහොට්ටුවේ මැතිවරණ සටන දිස්ත්‍රික් මට්ටමේ ප්‍රචාරක රැලිවලින් නොවුණාට ආසන මට්ටමින් හා කොට්ඨාස මට්ටමින් නම් සිදු කරමින් තිබිණි. ඇතැම් කොට්ඨාසවල පොහොට්ටුව ලකුණෙන් තරග වදින්නට අපේක්ෂකයෝ සූදානම් නොවූ අතර වෙන වෙනම ස්වාධීන කණ්ඩායම් ලෙස ඔවුන් අයදුම්පත් භාර දී තිබිණි.

පසුගිය සතිය වන විට තවත් කණ්ඩායමක් ගම් මට්ටමින් ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබිණි. ඒ වූ කලී පෙරටුගාමී පක්ෂයයි. පෙරටුගාමී පක්ෂය ගෙයින් ගෙට යමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිවල අයිතිය හා උරුමය ඇත්තේ තමන්ට පමණක් බව පෙන්වා දෙමින් ජනතාව ඔවුන්ට ඡන්දය දිය යුත්තේ මන්දැයි පැහැදිලි කර සිටියහ. ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරයේදී ඔවුන් වැඩිපුරම ප්‍රහාර එල්ල කළේ ආණ්ඩුවටත් වඩා ජාතික ජන බලවේගයට බව පෙනෙන්නට විය. මෙම තත්ත්වය පසුගිය දිනවල අරගලයට සම්බන්ධ වූ මධ්‍යස්ථ මතධාරී තරුණ පිරිස්වලට මහත් උභතෝකෝටිකයක් වූවාට සැකයක් නැත.

ඊට අමතරව මැතිවරණ වේදිකාවේ සමගි ජන බලවේගයේ කථිකයෝ ජාතික ජන බලවේගයට දැඩි ප්‍රතිරෝධයක් එල්ල කර සිටියහ. සමගි ජන බලවේගයේ නායකයා වන සජිත් ඒ වැඩේ වැඩි වගකීම බාර දී තිබුණේ කලක් ලංකාවේ දේශපාලන කටයුතුවලින් තරමක් ඈත්ව අධ්‍යාපන කටයුතු පැත්තට බරව සිටි සුජීව සේනසිංහ හිටපු මන්ත්‍රීවරයාට ය.

සුජීව වේදිකාවේ දක්ෂ කථිකයකු බව සැබෑය. ඔහුට එදා සිටම ජවිපෙ සමග වෙනම ගනුදෙනුවක් තිබුණි. ඔහු මදි නොකියන්නට ජවිපෙටත් ජාතික ජන බලවේගයටත් එහි නායක කාරකාදීන්ටත් ප්‍රහාර එල්ල කරන්නට විය. මේ නයින් බලන කල මේ දිනවල සමගි ජනබලවේග වේදිකාවේ ජනප්‍රියම කථිකයා වී සිටියේ සුජීව ය. ඔහුට අමතරව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ද ඒ වැඩේදී සහායට ඩැනී ලෙස හිටියාය. වේදිකාවේ දී ඇයගේ කටත් සිරි සුභ කටක් ලෙස පෙනුනේ නැත.

● ඡන්දයට සල්ලි දෙන්න
ජනතාව එකඟයිද…?

යාපනය සංචාරය නිමවා ඉරිදා හවස යළි කොළඹට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැමිණි වෙලේ පටන් යළිත් මහන්සි වූයේ නිල රාජකාරිවලට ය. සඳුදා දිනයේ ඔහුට වැඩ අධික දවසක් විය. උදෙන්ම ජනාධිපතිවරයා ඇමරිකානු තානාපති කාර්යාලයට ගියේය. ඔහු එහිදී විශේෂ සාකච්ඡාවන් කීපයකට සහභාගි විය.

තානාපති කාර්යාලයේදී ජනාධිපතිවරයාට සහභාගිවන්නට ලැබුණු ඉතා වැදගත් හමුවක් වූයේ තරුණ හමුවයි. මේ රටේ අනාගතයක් හා තරුණ පරපුර සම්බන්ධයෙන් ඔහු මේ තරුණ හමුවේ දී විශේෂ දේශනයක් කළේය. ඒත් සමගම ප්‍රශ්න ඇත්නම් විමසන්නයි කියාත් තරුණයන්ට කතා කරන්නට අවස්ථාවක් ද දුන්නේය. මෙන්න මේ හමුව සංවිධානය කර තිබුණේ ඇමෙරිකානු ශ්‍රී ලංකා සම්බන්ධතාවලට හැත්තෑපස් වසරක් පිරීම නිමිත්තෙනි. ශ්‍රී ලංකාව නිදහස ලබාගැනීම නිමිත්තෙන් වූ උත්සවය තිබුණේ මේ නොබෝදා ය. ලංකාවට ඇමරිකානු සබඳතා ද ඒ තරමට පැරණි සේම ඒ තරමට වැදගත් විය.

මෙම තරුණ හමුවට පැමිණි තරුණ ප්‍රජාව හා නිලධාරීන් සමග විශේෂ තේ පැන් සංග්‍රහයකට ද ජනාධිපතිවරයා සහභාගි විය. තරුණ පිරිස සමග සාකච්ඡාව ඇතිවූයේ එහිදීය. පසුගිය දිනවල ලංකාවේ ඇතිවුණ අරගලය හා තරුණ නැගිටීම ගැන මෙහිදී රනිල් තරුණ පිරිසගෙන් මත විමසීමක් කළේය. බොහෝ දෙනෙක් ඉල්ලා සිටින සිස්ටම් චේන්ජ් එක කරන්නට තමන් සූදානම් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කීවේ ඒ සඳහා දැන් අඩුවකට ඇත්තේ තරුණ පිරිසේ ඉදිරිපත් වීම හා කැපවීම නොමැතිකමයි. හවස කැබිනට් රැස්වීම පැවැත්විණි. කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා විශේෂයෙන් මතු කළ කාරණාවක් වූයේ රජයේ වියදම් පියවා ගැනීමයි. මේ දිනවල ප්‍රශ්නයක් වී තිබෙන බොහෝ දෙනා කතා කරන විදුලිය කැපිල්ල සඳහා නිශ්චිත විසඳුමක් ලබාදීම ගැනද මෙහිදී සාකච්ඡා විය.

රජය බදු අය කිරීමට සූදානම් වෙද්දී කෝටි දෙකක ජනතාව අතරින් එක් ලක්ෂ පනස් දහසක් පමණ වූ ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායම් ලාභීන්ගෙන් සෘජු බදු සඳහා එල්ල වන ප්‍රතිරෝධය මොනතරම් සාධාරණදැයි මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් රජයට ආදායම් ලබාගැනීමට හා අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන්න මින් ඉදිරියටත් ජනප්‍රිය නොවූ තීන්දු ගණනාවක් ගන්නට සිදුවන බව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. අඟහරුවාදා උදෑසන ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පැවැත්විණි. ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නිලධාරීන් සමග සුහදව කතාබස් කරන්නට ද ජනාධිපතිවරයාට අවස්ථාවක් උදා විය. ඒ එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලයේ විශේෂ රැස්වීමක් එදින යොදාගෙන තිබූ නිසාය.

මෙහිදී බලාත්කාරයෙන් මැතිවරණය පැවැත්වීම හා කල් තැබීම ගැන විශේෂ අදහස් හුවමාරුවක් සිදු විය.

“මැතිවරණය පැවැත්වීම ගැන තීන්දුවක් ගන්න මට බෑ. ඒක කරන්න වෙනම ආයතනයක් ඉන්නවා. මැතිවරණය පවත්වනවාද කල් දානවද කියලා එයාලා තීරණය කරන්න ඕන.” ජනාධිපති කීවේය.

“මැතිවරණ කොමිසම මහා භාණ්ඩාගාරයෙන් සල්ලි ඉල්ලනවා. සල්ලි නොදුන්නොත් ඡන්ද කාඩ් ටික ගහලා දෙන්න බෑ කියලා මුද්‍රණාලයාධිපතිනි කියනවා. මැතිවරණවලට වියදම් කරන්න දෙන්න සල්ලි නෑ කියලා මුදල් අමාත්‍යාංශ ලේකම් කියනවා. මේ වෙලාවේ අත්‍යවශ්‍ය බෙහෙත් ටික, කෑම බීම ටික ඉන්ධන ටික සපයා ගන්නත් අසීරු තත්ත්වයකයි රටේ ආදායම තියෙන්නේ. එහෙම තියාගෙන ඡන්දයකට වියදම් කරන්න බිලියන් ගණන් සල්ලි දෙන්න මුදල් අමාත්‍යාංශයට බැහැ තමයි…” ඇමැතිවරයෙක් කීවේය.

“මුදල් අමාත්‍යාංශයේ ලේකම් කොහෙන් සල්ලි දෙන්නද… ජනාධිපතිතුමා කියපු විදිහට අටදාහක් හිටපු මන්ත්‍රීවරු ගණන 50% කින් අඩු කරන යෝජනාවට කැමතිවෙලා ක්‍රමවේදයක් හදාගෙන තමයි මැතිවරණයට යන්න තිබුණේ…” සාගල රත්නායක කීවේය.

“එහෙම කරලා තිබුණ නම් අගෝස්තු – සැප්තැම්බර් අතරෙත් ඡන්දෙ තියන්න පුළුවන් වෙනවා…” රුවන් විජයවර්ධන කීවේය.

විපක්ෂයේ කණ්ඩායම් දෙකක් ඡන්දෙ තියන්න බැරි විත්තිය දැන දැන බොරුවට අලුත් සටනක් ජනගත කරන්න මහන්සි වෙනවා. ඒගොල්ලන්ට ඕන රජය මේ කරගෙන යන ආර්ථික වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න” අකිල කිව්වේය.

“මම දැන් වුණත් ලෑස්තියි පාර්ලිමේන්තුවේ සියලු කණ්ඩායම් එක්ක එකතු වෙලා ආර්ථිකය ගොඩදාන වැඩපිළිවෙළක් හදන්න. ඊට පස්සේ සභිකයින් ගාණ අඩු කරල ඡන්දෙකට යන්න තිබුණා. මම දැනුත් මෙයාලට ආරාධනා කරනවා..” රනිල් වික්‍රමසිංහ කිව්වේය.

දැං ඔන්න ඒ පාර විපක්ෂයේ කට්ටිය රාජ්‍ය නිලධාරීන්ව බය කරන්න පටන් අරන්… නඩු දානවා හිරේ යවනවයි කියලා මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේට තර්ජනය කරනවා. අනිත් පැත්තෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට තර්ජනය කරනවා. ඒගොල්ලො මොනව කරන්නද. ඒගොල්ලො මොනව කරන්නත් රටේ මුදල් තියෙන්න ඕන. රාජ්‍ය නිලධාරීන්ට බැන්නට බය කරාට අවශ්‍ය සම්පත් නැත්තං වැඩක් කරන්න තීන්දු කරන්න කාටවත් බෑ. මෙතන ප්‍රශ්නෙ තියෙන්නේ සල්ලි. සල්ලි හොයන විදියක් ගැන කවුද කතා කරන්නේ… කවුරුවත් කතා නෑ…

මේ කතාව අතරේ පක්ෂයෙහි අනාගත කටයුතු ගැන තීන්දු තීරණ කිහිපයක් ගත් කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුව විසිර ගියේ තව නොබෝ දිනකින් රැස්වී සාකච්ඡා කරන්නට තීන්දු කරගෙන ය.

ඡන්දය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට අවශ්‍ය මුදල් ලබාදීම මේ වෙලාවේ රජයට කළ නොහැකි යැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් නිවේදනය කළේ දැන් ටික කලකට ඉහතදීය. කිසිදු රාජ්‍ය ආයතනයක් තම සේවාවන් හා නිමැවුම් පසුව ගෙවීමේ පදනම මත නොකරන්නැයි කියා තවත් චක්‍රලේඛයක් පැමිණියේය. එම තීන්දු දෙකටම අනුව ඡන්ද කාඩ්පත් මුද්‍රණය කිරීම කළ නොහැකි බව මේ නොබෝදා මුද්‍රණාලයාධිපතිනිය නිවේදනය කළාය.

දැන් ඇතැම් දේශපාලන පක්ෂ වේදිකාවේ, ප්‍රසිද්ධියේ මාධ්‍ය තුළින් බැණ වදින්නට පටන් ගෙන ඇත්තේ ඇයටය. ඇය ඇයගේ රාජකාරිය පැහැර හැර ඇතැයි කියා ජනතාව අතර මතයක් සාදන්නට ද ඇතැම් දේශපාලන පක්ෂ ක්‍රියාකර ඇති බවද කියවෙති.

සියල්ලටම වඩා සමාජය තුළ පසුගිය දිනවල ආන්දෝලනයක් ඇතිවූයේ නැවත අසාමාන්‍ය ගණනකින් විදුලි බිල වැඩි කරන්නට රජය ගත් තීන්දුව නිසා ය. මේ වන විට යාන්තමින් ජීවත්වන දුප්පත් ජනතාවට පහර වදින ලෙස, විදුලිය අඩුවෙන්ම පරිභෝජනය කරන ජනතාවට දැනෙන ලෙස විදුලිබිල වැඩිකිරීම සම්බන්ධයෙන් රටේ නැගී එන රාජ්‍ය විරෝධය සුළුපටු නොවන බව පෙනේ. සමාජයේ යම් යම් කොටස් තර්ක කරන්නට පටන් ගත්තේ විදුලිය අවම වශයෙන් පරිභෝජනය කරමින් රටේ වියදම අඩු කරන මහජනතාවට මෙසේ පන්න පන්නා පහර දීමෙන් රජය බලවත් වරදක් කර ඇති බවයි.

● ජනාධිපතිට ගුවනින්
ඇමෙරිකානු සංදේශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මොනතරම් ඇමෙරිකන් හිතවාදී පුද්ගලයකු වුවත් ඔහුගේ උදව්වට ඇමරිකාව පැමිණියේ නැතැයි කියා පසුගිය කාලය මුළුල්ලේම රටේ ලොකු කතාබහක් ඇති විය. අරගලය අවස්ථාවේ ඊට පහර නොදෙන්නැයි කියා නිතර නිතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට උපදෙස් දෙන්නට පවා ඇමරිකන් තානාපතිවරිය සහභාගි වූ බව කියයි. ඒ ජනාධිපතිවරයා වෙනුවෙන් ඇය එක්තරා උණුසුම් අවස්ථාවක, අරගලකරුවන් විසින් ගෝඨාභය සිටි නිවස වට කර තිබූ අවස්ථාවේ පවා මිරිහාන නිවසට පැමිණ දුක සැප බැලුවේ යැයි කියා කතාවක් ද තිබිණි. අරගලකරුවන්ට කරදර හිරිහැර නොකරන්නැයි කියා එහිදී දෙවියන්ට යාච්ඤා කළ බවද කියැවේ.

ගෝඨාභය වෙනුවෙන් පවා කරනු ලැබූ ඇමරිකන් මැදිහත්වීම මේ අවස්ථාවේ රනිල් වෙනුවෙන් නොකරන්නේ මන්දැයි කියා බොහෝ ඉහළ කතිකාවන් සාකච්ඡා විය. එහෙත් පසුගිය 14 වැනිදා හදිසියේම කටුනායක ගුවන් තොටුපළට ඇමරිකානු ගුවන් යානා දෙකක් පැමිණියේය. එමඟින් පැමිණ තිබුණේ ඉහළ ආරක්ෂක හා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් විසිදෙනකුගේ කණ්ඩායමක් බව කියති. මේ නිලධාරීන් පිරිස ජනාධිපතිවරයා සමඟ කරන ලද කඩිනම් සාකච්ඡාවකින් පසුව ඉතා ඉක්මනින් රටෙන් පිටව ගිය බවද වාර්තා විය.

ඇමරිකානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානා දෙකක් හදිසියේ මෙසේ පැමිණියේ ඇයි යන කාරණාව බොහෝ දෙනකුට ප්‍රශ්නයක් විය. එහි පැමිණි ආරක්ෂක නිලධාරීන් ගැන ද ඔවුන් ලංකාව සමග කරන ලද සාකච්ඡාව ගැන ද රටේ විවිධ අදහස් පැතිර යන්නට විය.

මේ සම්බන්ධයෙන් ඇමැතිවරු පිරිසක් ජනාධිපතිවරයා සමග ද කතා බස් කළහ.

“ඇමරිකානු සී.අයි.ඒ සංවිධානයේ ලොක්කා ඇවිල්ලා ඔහු තමා හමුවෙලා සාකච්ඡා කරලා ගියා කියලයි කතාව යන්නේ… එහෙමනං මේ ලංකා ඉතිහාසයේ ඒ වගේ කෙනෙක් මේ රටට ආපු පළවෙනි අවස්ථාව වෙන්න පුළුවන්… ඇත්තටම මොකක්ද මේ කතාවේ තේරුම…”

බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා එසේ ඇසුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ ගැන කිසිම අදහසක් පළ කරන්නට ගියේ නැත. ඔහු කට කොනකට නගාගත් හිනාවකින් යුතුව අනිත් පැත්ත බලා වෙනත් දෙයක් ගැන කතා කරන්නට පටන් ගත්තේය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment