පිළිකා ඖෂධ 60%ක් ගෙන්වන්නේ ලියාපදිංචි නොකළ ආයතන

108

ඖෂධහල් හිමියන්ගේ සංගමයේ සභාපති

පිළිකා රෝගීන් සඳහා ගෙන්වන ඖෂධවලින් සියයට 60 ක්ම ලියාපදිංචි නොකළ ආයතනවලින් ගෙන්වන ඖෂධ බවට තහවුරු වී ඇති බව සමස්ත ලංකා ඖෂධහල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා ‘දිවයින’ට පැවසීය.

එම නිසා පිළිකා ඖෂධ මිලදී ගැනීමේදී එම ඖෂධය, ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධයක් දැයි සැක හැර දැන ගෙන මිලදී ගත යුතු බව ඒ මහතා සඳහන් කළේය.

එසේම ආනයනය කරන ඖෂධ නියමිත ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කළ ඒවා දැයි සොයා බැලීම සඳහා රසායනාගාරයක් ශ්‍රී ලංකාව සතුව නැති වීමෙන් ලියාපදිංචියෙන් තොර ඖෂධ මෙරටට පැමිණීමේ එම තත්ත්වය වර්ධනය වී ඇති බව ද ඒ මහතා පැවසීය.

තවද පිළිකා ඖෂධ හොර පාරෙන් ගෙන්වා අලෙවි කිරීමේ මගඩියක් ද මේ වන විට රටේ පැතිර යන බවට පැමිණිලි ලැබෙමින් තිබෙන බවත් එවැනි පුද්ගලයන් ගෙන්වන ඖෂධ නියමිත උෂ්ණත්වය සහ අවශ්‍ය නිර්දේශවලට අනුකූලව නොගෙන්වන ඒවා බවත් ඒ මහතා සඳහන් කළේය.

විශේෂයෙන් පිළිකා ඖෂධ සඳහා නියමිත උෂ්ණත්වය පවත්වා ගැනීම ඉතාම ප්‍රමුඛ කාරණයක් බව ද ඒ නිසා ශීතාගාරවල ඒවා තැන්පත් කර නියමිත උෂ්ණත්වයෙන් යුතුව ප්‍රවාහනය සහ අලෙවිය සිදුකළ යුතු බව ද ඒ මහතා පැවසීය.

ඒ අනුව එවැනි ප්‍රමිතියෙන් තොරව ගෙන්වන ඖෂධ භාවිතය රෝගියා සම්බන්ධයෙන් ඉතා අවදානම් බව ද විශේෂයෙන් මහරගම පිළිකා රෝහල අවට එවැනි හොර ඖෂධ ජාවාරමක් ක්‍රියාත්මක බවට නොයෙක් පැමිණිලි ලැබෙමින් තිබෙන බව ද ඒ මහතා පැවසීය.

එසේම එවැනි නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ගෙන්වන ඖෂධයක් අලෙවි කර යම් ඖෂධ හලක් නීතිය ඉදිරියේ වැරදිකරු වුවහොත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට ඖෂධ හල් හිමියන්ගේ සංගමය සූදානම් නැති බව ද ඒ මහතා සඳහන් කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment