නොරොච්චෝලේ සහ කැලණිතිස්ස ජනනය ඇනහිටීමෙන් මාසික පාඩුව රු.කෝටි 600ක්

93

ජල විදුලි ජනන ඇස්තමේන්තු සාවද්‍ය බවට තහවුරු වෙලා
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක කියයි

ලංකා විදුලි බල මණ්ඩලයේ ජල විදුලි ජනන ඇස්තමේන්තු සාවද්‍ය බවට නැවත වරක් තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා අවධාරණය කරයි.

පසු ගිය මැයි මාසයේ දී මම පෙන්වා දුන්නා මේ වර්ෂයේ දී ජල විදුලි බලාගාරවලින් ගිගා වොට් පැය 4500කට අධික ප්‍රමාණයක විදුලිය උත්පාදනයවන බව. නමුත් ලංකා විදුලි බල මණ්ඩලය ඇස්තමේන්තු කළේ මේ වර්ෂය තුළ උපරිම ජල විදුලි ජනනය ගිගා වොට් පැය 3750කට සීමා වන බව. පසුගිය 19 වැනිදා වනවිට වසරේ සමස්ත ජල විදුලි ජනනය ගිගා වොට් පැය 3538ක් වුණා. තවත් ගිගා වොට් පැය 962ක් ජල බලාගාරවලින් ජනනය කළවිට මගේ ඇස්තමේන්තුවට අනුව 2023 වසරේ ජල විදුලි බලාගාරවලින් ජනනය කරන සමස්ත විදුලිය ප්‍රමාණය ගිගා වොට් පැය 4500 යන අනාවැකිය තහවුරු වෙනවා. මේ වනවිට දෛනිකව ජල විදුලි බලාගාරවලට ගිගා වොට් පැය 38ක් පමණ අතිරේක ධාරිතාවක් එකතු වෙනවා. දැනට දෛනික විදුලි අවශ්‍යතාවයෙන් සියයට 60කට අධික ප්‍රමාණයක් සැපයෙන්නේ ජල විදුලි බලාගාරවලින්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිවලට අනුව වර්ෂා තත්ත්වය නොවැම්බර් මාසය පුරාවට පවතිනවා. දැනට ජල විදුලි බලාගාරවල ඉතිරි ධාරිතාවය ගිගා වොට් පැය 1142ක්. මේ වර්ෂයේ ඉතිරි දින 42ක තුළ දී අවම වශයෙන් ජල බලාගාරවලින් ගිගා වොට් පැය 800කට අධික අතිරේක විදුලි ප්‍රමාණයක් විදුලිය ජනනය කිරීමට නියමිතයි. ඒ අනුව ලබන වර්ෂය ආරම්භ කරන්න පුළුවන් අපේ ජල බලාගාරවල ගිගා වොට් පැය 1000කට ආසන්න ධාරිතාවයක් සහිතව. ලංවිම වසර ආරම්භය සඳහා ඇස්තමේන්තු කළේ ගිගා වොට් පැය 800ක ධාරිතාවයක්. ඒ අනුව එම ඇස්තමේන්තුව ද වැරදි බව ඔප්පු වෙනවා.

මේ වැරදි ඇස්තමේන්තු නිසා අසාධාරණයට පත්වෙන්නේ විදුලි පාරිභෝගිකයා සහ සමස්ත ආර්ථිකය. මේ වසර ආරම්භයේ දී මම නිර්දේශ කළ ගාස්තු ක්‍රමය අදටත් වලංගුයි. එය මේ වසර සඳහා නිර්දේශ කරපු ප්‍රශස්ත ගාස්තු ක්‍රමය බව සත්‍ය දත්තවලින් ඔප්පු කරනවා. ඒ ගාස්තුව ක්‍රියාත්මක කළා නම් පාරිභෝගිකයාට අසාධාරණ බරක් පැටවෙන්නේ නැහැ. ලංවිමට පාඩු වෙන්නෙත් නැහැ. දැන් කරලා තියෙන්නේ වැරදි දත්ත නිසා අසාධාරණ බරක් පාරිභෝගිකයා මත පැටවීම. දැන් වහාම කළ යුත්තේ සාධාරණ පිරිවැය අනුව විදුලි ගාස්තු අඩු කිරීමයි. එපමණක් නෙවෙයි මේ වැරදි දත්ත සකස් කළ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරීන් සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සමාජික මණ්ඩලයෙන් මහජනතාවට සිදුවූ පාඩු අයකර ගත යුතුයි. මූල්‍ය රෙගුලාසි 119ට මහජනතාවට යම් පාඩුවක් කළ විට අදාළ නිලධාරීන්ගෙන් එය අයකර ගතයුතු බවට දක්වා තිබෙනවා.

ලංවිම වැරදි කළමනාකරණය නිසා මහජනතාවට මේ වසරේ දී තවත් පාඩුවක් සිදුවීමේ අවදානමක් උද්ගතව තිබෙනවා. නොරොච්චෝලේ බලාගාරයේ ජනක යන්ත්‍ර දෙකක් අක්‍රියවීම නිසා මෙගා වොට් 600ක පමණ ධාරිතාවයක් අහිමි වෙලා. ඒ වගේම කිසිදු පූර්ව අනුමැතියකින් තොරව කැලණිතිස්ස බලාගාරය නඩත්තුවක් සඳහා වසා දමලා. එතකොට අඩු වියදම් බලාගාරවලින් මෙගා වොට් 800ක ධාරිතාවයක් අහිමි කරලා. ඊළඟට මේ ධාරිතාවය දැවි තෙල් බලාගාරවලින් පෞද්ගලික අංශයෙන් මිලදී ගතහොත් දිනකට රුපියල් කෝටි 20කට අධික පාඩුවක් වෙනවා. ඒ අනුව මාසයක දී රුපියල් කෝටි 600ක වැය බරක් පාරිභෝගිකයාට දරන්න වෙනවා. මේක සැලසුම් සහගත ක්‍රියාවලියක් ද කියන සැකය මතු වෙනවා. මන්ද ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු දැවි තෙල් ප්‍රමාණයක් ලංවිම විසින් කඩිනමින් මිලදී ගතයුතු බවට දන්වා ඇති බවට තොරතුරු තිබෙනවා. ඒ වගේම දැවිතෙල්වලින් විදුලිය ජනනය කරන පෞද්ගලික බලාගාරයකින් හදිසි විදුලි මිලදී ගැනීමටත් සැලසුම් කර තිබෙනවා. ලංවිම කරන මේ අයථා ගනුදෙනු පිළිබඳ නිසි විගණනයක් සිදු කරන්නේ නැහැ. විශාල පරිමාණයේ වංචා පිළිබඳ විගණනය නොකරන්නේ ඇයි ද යන්නත් සොයා බැලිය යුතුයි
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment