පොලිසියේ ගැටලු සොයා විසඳුම් දීමට SDIG ලා 3ක්

113

පොලිස් නිලධාරීන් මුහුණපා සිටින විනය සම්බන්ධ ගැටලු, පරිපාලනයේ දුර්වලතා ස්ථානාධිපතිවරුන් පත් කිරීමේදී ඇතිවී තිබෙන ප්‍රශ්න මෙන්ම පොලිස් නිලධාරීන් රාජකාරි සඳහා යෙදවීමේදී ඇති වී තිබෙන විෂමතා පිළිබඳව විමර්ශනයක් සිදුකර කඩිනම් විසඳුම් ලබාදීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු පත් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර ඇත.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ප්‍රියන්ත වීරසූරිය, සජීව මැදවත්ත සහ අජිත් රෝහණ යන මහත්වරුන් තමන් කරන රාජකාරිවලට අමතරව මෙම විශේෂ රාජකාරි ද ඔවුන් වෙත භාරදීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සිය රාජකාරියට අමතරව පොලිස් ස්ථානාධිපතිවරුන් සහ පොලිස් ස්ථානවල විවිධ අංශ භාර ස්ථානාධිපතිවරුන් රාජකාරි කරන්නේ තමන් පදිංචි ග්‍රාමයේ හෝ බිරිඳ පදිංචි ග්‍රාමයේ පදිංචිව සිටින්නේ ද යන්න සොයා බලා ඒ පිළිබඳව වාර්තාවක් ලබාදීමට පත්කර ඇත.

ඇතැම් ප්‍රදේශවල අපරාධ සහ දූෂණ ශීඝ්‍රයෙන් ඉහළ යෑමට හේතුවී ඇත්තේ එම ප්‍රදේශයේම අදාළ පොලිසියේ ස්ථානාධිපතිවරයා මෙන්ම විවිධ අංශ භාර ස්ථානාධිපතිවරුන් තමන් පදිංචි ග්‍රාමයේම පොලිස් ස්ථානවල රාජකාරි කිරීම නිසා බව හෙළිදරව් වී තිබේ.

දකුණු පළාතේ පමණක් පොලිස් ස්ථානාධිපතිවරුන් 30කට ආසන්න පිරිසක් තමන් උපන් ගමේ පොලිස් ස්ථානයේ රාජකාරි කරන බව අනාවරණය වී ඇත. එසේ තමන් උපන් ගමේ ස්ථානාධිපති ලෙස රාජකාරි කරන පොලිස් ස්ථානවලට අදාළ ප්‍රදේශවල අපරාධ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව හෙළිවී ඇත.

මේ ආකාරයට දිවයින පුරාම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් පදිංචි ප්‍රදේශ එම ස්ථානාධිපතිවරයාගේ උපන් ගම හෝ බිරිඳ උපන් ගමට සම්බන්ධ දැයි සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් වාර්තාවක් ලබා දීමට ප්‍රියන්ත වීරසූරිය මහතාට පොලිස්පතිවරයා උපදෙස් ලබා දී තිබේ.

මේ ආකාරයට තමා උපන් ගමේ හෝ බිරිඳ උපන් ගමේ ස්ථානාධිපතිවරුන් ලෙස රාජකාරි කරන නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් ප්‍රදේශවලට මාරුකර යැවීමට පොලිස්පතිවරයා කටයුතු කරමින් සිටියි.

මේ අතර පොලිස් දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ අංශවල මෙන්ම ජ්‍යෙෂ්ඨ අංශවල නිලධාරීන් අතරින් විනය කරුණු සම්බන්ධයෙන් හෝ වෙනත් නීතිමය ගැටලුවක් සම්බන්ධයෙන් උසස්වීම් අහිමි වීමක් වැඩ තහනමට ලක්වීමක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව වහාම සොයා බලා කඩිනම් විසඳුම් ලබාදීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත්කර ඇත.

මේ ආකාරයට සුළු වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් උසස්වීම් අහිමිවීම වැඩ තහනමට ලක්වීම නිසා දැඩි පීඩාවකට ලක්ව සිටින බවට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් මෙම පියවර ගෙන තිබේ. මේ අතර ඇතැම් පොලිස් බලප්‍රදේශවලට පොලිස් නිලධාරීන් පත් කිරීමේ බරපතළ විෂමතාවක් ඇති වී තිබෙන බවද සමීක්‍ෂණයකින් හඳුනාගෙන ඇත. පොලිස් නිලධාරීන් වැඩි පිරිසක් රාජකාරි කළ යුතු ප්‍රදේශවලට අඩු නිලධාරීන් පිරිසක් සිටින අතර නිලධාරීන් අවම පිරිසක් අවශ්‍ය ප්‍රදේශවලට වැඩි නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව මෙම සමීක්‍ෂණයෙන් හෙළිවී තිබේ. එමෙන්ම පොලිස් මූලස්ථානයේ මෙන්ම විශේෂ ඒකකවල අතිරික්ත නිලධාරීන් පිරිසක් දීර්ඝ කාලයක සිට රාජකාරි කරන බවද හෙළිවී ඇත. එසේ නිලධාරීන් බෙදාහැරීමේ විෂමතා පැවතීම නිසා දැඩි ලෙස මෙහෙසවී රාජකාරි කරන නිලධාරීන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවද අනාවරණය වී තිබේ. එමෙන් අපරාධ සහ දූෂණ මර්දනයට ද මෙය බරපතළ බාධාවක් වී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. මේ හේතුව නිසා මෙම විෂමතාව පිළිබඳව සොයා බලා ඒ සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් ලබා දීමට පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පත්කර ඇත. මේ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසකගේ සහය ලබා ගැනීමට ද කටයුතු කරමින් සිටියි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment