ඇමරිකානු ඩොලර් බිලියන 37ක කුණු බෙහෙත් නැවක් ලංකාවට

සායනික අපද්‍රව්‍ය ජාවාරම නැවත කරළියට

දිගු කාලයක සිට මෙරට ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය විනිවිද භාවයෙන් හා යථාවත්ව සිදුවන බවට ජනතාව අතර පිළිගැනීමක් නැහැඇමැති රමේෂ් කියයි

අප රටේ රාජ්‍යතන්ත්‍රය තුළ ප්‍රසම්පාදන කටයුතු විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක වන්නේ නැත. බොහෝ ප්‍රසම්පාදන ක්‍රියාවලින් වංචාවෙන් හා දූෂණයෙන් පිරී ඇත්තේය. මේ නිසා කෝටි ගණන් රජයේ මුදල් අවභාවිත වන බව විගණන වාර්තා මගින් ද පෙන්වා දී ඇත. රජයේ අනිකුත් අංශවලට වඩා සෞඛ්‍ය අංශය තුළ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් තිබෙන අවදානම වැඩිය. ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළදී වෛද්‍ය සැපයුම් පිළිබද බරපතළ සැකකටයුතු තත්ත්වයක් ඇතිවී තිබෙන බව ජාතික විගණන කාර්යාල මගින් කරණු ලැබූ විගණන පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. ජාතික විගණන කාර්යාලය පෙන්වාදෙන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක නොවීම නිසා වෛද්‍ය සැපයුම් සඳහා වසරකට වැයවන මුදලින් තුනෙන් එකක් පමණ වැඩිපුර වියදම්වන බවය. මෙකී මුදල් වැඩි වශයෙන් අවභාවිත වන්නේ තාක්ෂණික ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළය.

උදාහරණයක් වශයෙන් ගතහොත් 2022 වර්ෂයේ දි වෛද්‍ය සැපයුම් සඳහා රුපියල් බිලියන 130ක මුදලක් වැයකළේ නම් ඉන් රුපියල් බිලියන 40ක මුදලක් වැඩිපුර වියදම් කොට ඇති බව විගණන කාර්යාලය විසින් පෙන්වා දෙන්නේය. මේ තුළින් පැහැදිලි වන්නේ වෛද්‍ය සැපයුම් වලදි වසරකට රුපියල් බිලියන 40ක මුදලක් හොරාකා ඇති බවය. ඖෂධ මිල අහස උසට නැග තිබේ. ඖෂධවල මිල දරාගැනීමට නොහැකිව රට්ටුන් විස්සෝපයට පත්ව සිටිති. එවන් පසුබිමක් තුළ වෛද්‍ය සැපයුම් සඳහා වසරකට වැයකරන මුදලින් තුනෙන් එකක් පමණ මුදලක් අවභාවිත වේ. අප රට තුළ ක්‍රියාත්මක වන්නේ ඖෂධ මාෆියාවකි. නිලධාරීන් පිරිසක් ජාවාරම්කරුවන් සමග එක්වී මෙකී ජාවාරම ක්‍රියාත්මක කරණ අතර මේ නිසා පහර වැදි ඇත්තේ මේ රටේ අහිංසක ජනතාවටය. ජාතික විගණන කාර්යාලය සඳහන් කරන ආකාරයට වෛද්‍ය සැපයුම්වලදී විශ්වාස කිරීමට පවා නොහැකි ආකාරයේ ප්‍රසම්පාදන කටයුතු සිදුවී තිබේ. ඇතැම් ඖෂධ මිලදී ගෙන ඇත්තේ පවතින මිලට වඩා පස් ගුණයක පමණ වැඩි මිලකටය. රුපියල් 100ක මුදලකට මිලදී ගත හැකි ඖෂධයක් මිලදී ගන්නේ රුපියල් 500ක මුදලකටය. ඖෂධ සම්බන්ධයෙන් සිදුවන දූෂණ හා වංචාවන් ඉහවහා ගොස් ඇත. 2022 වර්ෂයේ රුපියල් 760 ක මුදලක් ගෙවා මිලදී ගනු ලැබූ ඖෂධයක් විගණන නිලධාරීන් විසින් රේගුව හරහා පරීක්‍ෂා කිරීමේදී එම ඖෂධයේ මිල රුපියල් 14කි. ඒ විතරක් නොව රුපියල් 481 මිලකට ගතහැකිව තිබූ අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධයක් හදිසි මිලදී ගැනීම් ලෙස රෝහල් මගින් මිලදී ගෙන තිබුණේ රුපියල් 1900 හා 4600 වැනි මිල ගණන්වලටය. ඖෂධ පමණක් නොව රෝහල් සඳහා මිලදී ගන්නා වතුර බෝතලයෙන්, සබන්කැටයෙන් පවා ඇතැම් රෝහල් බලධාරීන් ගසාකති. විගණන නිලධාරීන් සඳහන් කරන ආකාරයට පසුගිය කාලයේ දි රෝහල් දෙකක් විසින් ලීටරයේ ජල බෝතලයක් මිලදී ගෙන තිබුණේ රුපියල් 68ක මිලකටය. එහෙත් එම කාලයේදී ලීටරයේ ජලබෝතලයක වෙළෙඳ පොළේ සිල්ලර මිල රුපියල් 40 හා 55 අතර මිල ගණන්වල පැවතුණි. අනික් කාරණ වන්නේ මෙකී සිද්ධියට අදාළ රෝහලේ ආපනශාලවේදී ලීටරයේ ජල බෝතලයක මිල රුපියල් 50ක්ව පැවතුණි.

ඖෂධ හා වෛද්‍ය උපකරණ හදිසි මිලදී ගැනීම්වලදී විශාල වශයෙන් වංචාවන් හා දූෂණයන් සිදුවන බවට විගණන විමර්ශනවලදි අනාවරණය වී ඇත. කොවිඩ් වසංගත සමයේ දී වෛද්‍ය උපකරණ මිලදීගෙන තිබුණේ හදිසි මිලදීගැනීම් ලෙසය. මෙකී මිලදීගැනීම්වල දි සැපයුම්කරුවන් විසින් සාවද්‍ය තොරතුරු හා ලිපිලේඛන ඉදිරිපත්කොට තිබූ බව විගණනය මගින් අනාවරණය කොට තිබුණි. මෙම මිලදී ගැනීම්වලදි බරපතළ මූල්‍ය අක්‍රමිකතාවන් සිදුවී ඇති බව විගණන වාර්තා මගින් ද පෙන්වා දි තිබුණි. උදාහරණයක් වශයෙන් ගතහොත් එක්ස්රේ යන්ත්‍ර මිලදී ගැනීමේදී හතරවන ලංසුකරු විසින් එක් යන්ත්‍රයක් සඳහා ඉදිරිපත්කොට තිබූ අවම මිල රුපියල් ලක්ෂ 55කි. අටවන ලංසුකරු ඉදිරිපත්කොට තිබූ මිල රුපියල් ලක්ෂ 80කි. එහෙත් හදිසි මිලදී ගැනීමක් ලෙස සලකා අටවන ලංසුකරුගෙන් එක්ස්රේ යන්ත්‍ර මිලදී ගෙන තිබුණි. එක්ස්රේ යන්ත්‍ර මිලදී ගෙන තිබුණේ එක් යන්ත්‍රයක් සඳහා රුපියල් ලක්ෂ 25ක වැඩිපුර මුදලක් ගෙවා දමමනි. අනික් කාරණය වන්නේ හදිසි මිලදී ගැනීමක් ලෙස මෙකී යන්ත්‍ර මිලදී ගනු ලැබූවද මාස ගණනක් ප්‍රමාද වී එක්ස්රේ යන්ත්‍ර ලැබී තිබුණි. මෙකී හදිසි මිලදී ගැනීම ගැන නියෝජ්‍ය විගණකාධිපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් හා ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව ගැටලු විමර්ශනය කිරීම සඳහා වූ රජයේ ගිණුම් පිළිබඳ අනුකාරක සභා රැස්විමේ දි හරි අපූරු කථාවක් කියමින් මේ ගැන පැහැදිලි කළේය. වෙසක් උත්සවයට ජෙනරේටර් ඇණුවම් කරනවා. නමුත් ජෙනරේටර් ලැබෙන්නේ වෙසක් උත්සවයෙන් පස්සේ. ඔහු උපහාසයෙන් යුතුව එසේ කීවේය. කොවිඩ් වසංගත සමයේ දි මිලදීගනු ලැබූ වෛද්‍ය උපකරණ පිළිබඳ වෝහාරික විගණනයක් කළයුතු බවද නියෝජ්‍ය විගණනකාධිපතිවරයා සඳහන් කරන්නේය. මේ පිළිබඳ මාස තුනක් තුළ ස්වාධින පරීක්‍ෂණයක් කොට එම වාර්තාව කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙස කමිටු සභාපතිවරයා මෙහිදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දුන්නේය.

යටිතල පහසුකම් සපයාගැනීමෙන් තොරව වෛද්‍ය උපකරණ මිලදී ගන්නා බවට විගණන වාර්තා මගින් පෙන්වා දී තිබුණි. ඇතැම් රෝහල්වල වෛද්‍ය උපකරණ අතිරික්තව තිබියදී සමහරක් රෝහල්වල වෛද්‍ය උපකරණවල ඌනතාවක් පවතින බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි. ඇතැම් රෝහල්වල රෝහල් ධාරිතාවට දරාගත නොහැකි ආකාරයේ වෛද්‍ය උපකරණ ලබාදි තිබුණි. මේ වනතෙක් භාවිතයට නොගත් වෛද්‍ය උපකරණ රැසක් රෝහල්වල පවතින බවද විගණන නිලධාරීහු පවසති. ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයට වෛද්‍ය උපකරණ පිළිබඳ දත්ත පද්ධතියක්, ප්‍රසම්පාදන සැලැස්මක් නොමැති බවද විගණන නිලධාරීහු පෙන්වාදෙති. ඇතැම් වෛද්‍ය උපකරණ වල ප්‍රමිතිය පිළිබඳවද ගැටලු පවතින බව විගණන වාර්තා මගින් පෙන්වා දී ඇත.

එමෙන්ම වෛද්‍ය සැපයුම්වලදි ප්‍රසම්පාදන කටයුතු සඳහා දිගු කාලයක් ගතවන අතර මේ තුළින්ද මඩි තරකරගනු ලබන්නේ ජවාරම්කරුවන්ය. නිවැරදි දත්ත පද්ධතියක් නොමැතිවීම, ඖෂධ අවශ්‍යතාව නිසිපරිදි හඳුනා නොගැනීම නිසා ප්‍රසම්පාදන කටයුතු සඳහා දිගු කාලයක් ගතවන බවට විගණනය මගින් හඳුනාගෙන ඇත. එමෙන්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් සැපයුම්කරුවන් වෙත ගෙවීම් විදිමත් කිරීම සඳහා කමිටුවක් පිහිටුවා තිබුණි. ඒ අනුව කමිටුව මගින් නිර්දේශ කරනු ලබන සැපයුම්කරුවන්ට නිර්දේශ සීමාවන් තුළ පමණක් ගෙවීම් කළයුතුය. කෙසේවුවද ඖෂධ නීතිගත සංස්ථාව විසින් අවසන් වරට 2022 වර්ෂයේ ජුනි මස 08 වැනිදින පවත්වා තිබූ 65 වැනි කමිටු තීරණයට පටහැනිව 2022 වර්ෂයේ සැප්තැම්බර් මස 02 වැනිදින වනවිට සැපයුම් සමාගම් පහකට රුපියල් මිලියන 525.25 මුදලක් ගෙවීම් කර තිබුණි. එම ගෙවීම් සිදුකොට තිබුණේ ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ හා සාමාන්‍යාධිකාරිවරයාගේ අනුමැතිය මතය.

ඒ විතරක් නොව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් නිකුත් කළ නවතම විගණන වාර්තාවට අනුව පසුගිය කාලසීමාවේදී ශ්‍රී ලංකාවට ගෙන්වන ලද තවත් ඖෂධ කාණ්ඩ නමයක් සම්බන්ධව බරපතළ ගැටලු වාර්තා වි ඇත.Frusamide, Trastuzimab, Ceftraixone, Diclofenac Sodium, Etoricoxilo, Cetrizine, Clonazipam, Cefotaxime, Ipratropium යන ඖෂධ කාණ්ඩ ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෛද්‍ය සැපයුම් ඒකකයත් ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කළ අන්දම සම්බන්ධව විගණය මගින් අනාවරණය කොට ඇත. ලියාපදිංචි සහතික වලින් තොරව ඖෂධ ගෙන ඒම ඖෂධ සැපයුම් කරුවන් විසින් ආරම්භයේ දී පෙන්වා දෙන නිෂ්පාදන සමාගම් වලින් මගහැර වෙනත් සමාගම් වලින් ඖෂධ ගෙන ඒම, ව්‍යාජ ලිපි ඉදිරිපත් කිරීම, එකිනෙකට පරස්පර විරෝධී ලේඛන හා සාම්පල ඉදිරිපත් කිරීම, ඖෂධ බෝතල් වල පවතින ලේබල් හා සාම්පල් වල පවතින ලේබල් වෙනස්වීම, කල් ඉකුත් වීමට ආසන්න දිනවල දී ඖෂධ මිලදී ගැනීම, තත්ත්වයෙන් බාල ඖෂධ මෙරටට ආනයනය කිරීම ඇතුළු බරපතළ ප්‍රශ්න ගණනාවක් ඉහත සඳහන් ඖෂධ කාණ්ඩ නමය තුළ නිරීක්ෂණය වන බව විගණන වාර්තාවේ සඳහන් වේ. මෙකී මිලදී ගැනීම් නිසා අහිමිවී ඇති මුදල ඩොලර් මිලියන ගණනකි.

එමෙන්ම වෛද්‍ය සැපයුම් අංශයට තත්ත්වයෙන් අසමත් හා හානි වූ ඖෂධ සපයා තිබීම වෙනුවෙන් දරනු ලැබූ පිරිවැය, පරිපාලන ගාස්තු, හා එම තොග විනාශ කිරීමේ වියදම් සැපයුම්කරුවන්ගෙන් අයකරගත යුතුය. එහෙත් රුපියල් මිලියන 1529.83ක මුදලක් 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වනවිටත් අයකරගැනීමට සංස්ථාවට නොහැකිවි තිබුණි. එමෙන්ම අසාදු ලේඛනගත සැපයුම්කරුවන්ගෙන් අයකරගතයුතුව පැවති රුපියල් මිලියන 306.11ක මුදලක් අයකරගැනීම අවිනිශ්චිත තත්ත්වයක පැවති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එමෙන්ම ඉකුත් වසර දෙක තුළදී (2021,2022) ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම නිසා රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවට රුපියල් මිලියන 156.5 අලාභයක් සිදුවි තිබුණි.

මූල්‍ය ප්‍රකාශනවලට අනුව සංස්ථාවේ අලෙවිය සඳහා මිලදී ගෙන තිබූ නමුත් 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට තත්ත්වයෙන් අසමත් හා කල්ඉකුත්වූ සහ හානි වූ ඖෂධවල මුළු පිරිවැය මිලියන 344.23කි. ඉකුත් වර්ෂය තුළදී තත්ත්වයෙන් අසමත් කල්ඉකුත් වූ හානි වූ ඖෂධවල මුළු පිරිවැය රුපියල් මිලියන 60.40ක් බව විගණන වාර්තාවේ සඳහන් වේ. ඉකුත් වසර දෙක තුළදි කල්ඉකුත්වූ සහ හානිවූ ඖෂධ වෙනුවෙන් සැපයුම්කරුවන්ගෙන් අයවීමට ඇති රුපියල් මිලියන 55.975ක් මුදලක් මෙම වර්ෂයේ මාර්තු මස 31 වැනිදින විටත් අයකරගෙන නොතිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ. තත්ත්වයෙන් අසමත් ඖෂධ වල වටිනාකම සැපයුම්කරුවන්ගෙන් අයකරගැනීමටත් ඖෂධ කල්ඉකුත්වීමට හේතු සොයාබලා ඒ සඳහා පිළියම් යෙදීමටත් එම හේතුවලට වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් අලාභ අයකරගැනීමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. මේ පිළිබඳ ඖෂධ සංස්ථාවේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ සැම මූල්‍ය වර්ෂයකම කල්ඉකුත්වූ සහ හානිවූ ඖෂධවල විස්තර ඇතුළත් වාර්තාවක් අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වෙත අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමුකරනු ලබන බවයි.

අක්ෂිකාච ගනුදෙනුවද තවත් කුප්‍රකට ගනුදෙනුවකි. අඩු මිල ලංසුවක් යටතේ අක්ෂිකාච ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව තිබියදී සාමාන්‍ය මිලට වඩා ඉහළ මිල ගණන් යටතේ සමාගමක් විසින් ලබාදෙන ලද ඉහළ ලංසුවට අක්ෂි කාච මිල දී ගැනීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබුණි. මෙකී ගනුදෙනුව සම්බන්ධව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින් මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කොට ඇත.

මෙම අක්ෂි කාච ගනුදෙනුව නිසා රටට රුපියල් ලක්ෂ සියයකට ආසන්න අලාභයක් සිදු වන බවට වෘත්තීය හා සිවිල් සංවිධාන ඒකාබද්ධ මධ්‍යස්ථානය සඳහන් කරන්නේය. මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී අදාළ ප්‍රසම්පාදන ගිවිසුම් උල්ලංඝනය කරමින් අගරු චෙක්පත් පවා ලබා ගෙන ඇති බව හෙළි වී ඇති අතර දැනට මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අභ්‍යන්තර විගණනය මගින්ද පරීක්ෂණයක් ආරම්භකොට ඇත.

පසුගිය වසර එකහමාරක කාලසීමාව මුළුල්ලේ ප්‍රතිජීවක ඖෂධ වංචාව immunoglobulin වංචාව, බාල ඖෂධ ලංකාවට ගෙන්වීම ඇතුළු සිදුවීම් ගණනාවකටම සෞඛ්‍ය බලධාරීන් ඍජුව වගකිව යුතු බවට වෘත්තීය හා සිවිල් සංවිධාන ඒකාබද්ධ මධ්‍යස්ථානය සඳහන් කරන්නේය. ප්‍රශ්නගත immunoglobulin තොගයට ව්‍යාජ ලිපිය සකස් කළ අදාළ සමාගම් අධ්‍යක්ෂ වරයා රටින් පැනගොස් ඇති බවට ද තොරතුරු අනාවරණය වෙමින් තිබේ. මේ අතර ඇමරිකානු ඩොලර් මිලියන තිස් හතක් පමණ වටිනා ඖෂධ තොගයක් පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවට නැව් මඟින් ගෙනැවිත් ඇති බවටත් තොරතුරු අනාවරණය වෙමින් තිබේ. මෙම ඖෂධ ප්‍රදානයක් ලෙස ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති නමුත් එසේ ගෙන්වන ලද ඖෂධ වැඩි ප්‍රමාණයක් කල් ඉකුත් වූ හෝ කල් ඉකුත් වීමට ආසන්න ඖෂධ බවට වාර්තා වී ඇති බැව් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරන්නේය. මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා ශ්‍රී ලංකාව බටහිර රටවල කුණු හෝ නරක් වූ ඖෂධ ගොඩගසන සුසාන භූමියක් බවට පත් කිරීමට කිසිවකු උත්සාහ ගන්නේ දැයි වහ පරීක්ෂණයක් පවත්වන ලෙස නව සෞඛ්‍ය අමත්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසන ආකාරයට පසුගිය මැයි මස පස්වන දා ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙකී ප්‍රශ්න සහගත ඖෂධ තොග ගෙන්වීම සඳහා ලියාපදිංචිය අත්හැරීමෙන් ලිපිය නිකුත් කොට ඇති අතර මැයි මස 14 දා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඖෂධ තොග රේගු භාරයෙන් නිදහස් කිරීමට අවශ්‍ය කරන ලිපි නිකුත් කොට ඇත. එම ලිපි නිකුත් කරන විටත් මෙම ප්‍රශ්න සහගත නැවේ ගෙන්වන ලද ඖෂධවලින් වැඩි ප්‍රමාණයක් කල් ඉකුත් වූ බව වාර්තා වී ඇත. එසේම ඖෂධ වලින් වැඩි ප්‍රමාණයක් ජූනි මස තිස් වැනිදා වන විට කල් නිකුත් වීමට නියමිතව තිබූ අතර මෙසේ ගෙන්වන ලද ඖෂධවලින් GALANTIMINE, CANAGLIFLOZIN, ඇතුළු සමහර ඖෂධ මෙරට තුළ භාවිත නොවන බවද අනාවරණය වී ඇත. එම ඖෂධ තොගේ පැවති Acyclovir,lidocaine, levetiracetam ආදී ඖෂධ ලංකාවට ගොඩබාන විට ද කල් ඉකුත් වී ඇත.

ඖෂධ නියාමන අධිකාරිය මෙම ඖෂධ තොගයක් ලංකාවට ගෙන්වීම සඳහා ලියාපදිංචි අත්හැරීමෙන් ලිපිය නිකුත් කිරීමේදී සම්පූර්ණ නැවේ ඇති සියලුම ඖෂධ සඳහා එකවර ලිපිය නිකුත් කොට ඇති අතර ප්‍රදානයන් ලෙස ලැබෙන ඖෂධ වල සාම්පල පරීක්ෂාවන් හෝ නිෂ්පාදනය කළ සමාගම්, හෝ විද්‍යාත්මක කරුණු විශ්ලේෂණයක් හෝ සිදු නොකොට මේ අන්දමට මුළු නැවේ පවතින සියලුම ඖෂධ සඳහා ලියාපදිංචි අත්හැරීමෙන් ලිපියක් නිකුත් කළේ කෙසේදැයි වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රශ්න කරයි. මේ අන්දමට ශ්‍රී ලංකාවට බටහිර රටවලින් ඉවත් කිරීමට ආසන්න ඖෂධ ප්‍රදානයන් ලෙස යෙදීම හරහා එම ඖෂධ නැවත භාවිතයෙන් ඉවත් කොට විනාශ කිරීම සඳහා අති විශාල මුදලක් ශ්‍රී ලංකා රජයට වැයවන බවද චමල් සංජීව මහතා සඳහන් කරන්නේය.

නව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ දීර්ඝ කාලයක් තිස්සේ මෙරට ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය විනිවිද භාවයෙන් හා යථාවත්ව සිදුවන බවට ජනතාව අතර පිළිගැනීමක් නැති බවත් ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන බවය. යම් පමණකට අත්‍යවශ්‍ය ඖෂධ අපතේ යාමක් සිදුවී ඇති බවත්, ඇතැම් ඖෂධ ඇණවුම් කොට තිබුණත් එම ඖෂධ නොලැබී ගිය තත්ත්වයක් ද තිබුණා යැයි සඳහන් කළ ඇමැතිවරයා ආර්ථික අර්බුදය සමග ගෙවීම් ප්‍රමාදවීම ඒ සඳහා හේතු වූ බවද පැවසීය.

වෛද්‍ය සැපයුම් අංශය තුළ පමණක් නොව මෙරට ප්‍රසම්පාදන ක්‍රියාවලිය පොත්පත්වල සඳහන් කොට ලිපිගොනු සකස් කළද ප්‍රායෝගිකව සිදුවී ඇත්තේ වෙනස් දෙයක් බවද විගණන නිලධාරීහු සඳහන් කරන්නේය. ප්‍රසම්පාදන කටයුතු විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක නොවීම නිසා රජයේ වියදම අනවශ්‍ය ලෙස වැඩිවීමක් දක්නට ඇති බවට විගණනය මගින්ද හඳුනාගෙන ඇත. අනිකුත් ක්‍ෂේත්‍රවලට වඩා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රසම්පාදන කටයුතුවලදි නියම තරගකාරිත්වයක් සිදුනොවන බවත් අවම මිල, ගුණාත්මකභාවය, සැමට සාධාරණ ලෙස තරගකිරීමේ අයිතිය, ඇහිරී ඇති බව සඳහන් කරන විගණන නිලධාරීහු ප්‍රසම්පාදන කටයුතු වලදී නිලධාරීන් හා සැපයුම්කරුවන් එකාබද්ධව සංවිධානය වී එම කටයුතු සඳහා සම්බන්ධවන බවද විගණන නිලධාරීහු පවසති. ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසා රාජ්‍යතන්ත්‍රය වෙලාගෙන තිබෙන ව්‍යසනය වළක්වා ගැනීම සඳහා වෙනස් විකල්ප ක්‍රමයක් පිළිබඳ සිතීමට සිදුවන බවද විගණන නිලධාරීහු පෙන්වා දෙති.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment