ඊළාම් යුද්ධයේදී මරණයට පත්වූ ද්‍රවිඩ ළමා ‘සොල්දාදුවන්’ සංඛ්‍යාව නිවැරදිව තහවුරු කරගත යුතුය. කොටි සංවිධානය වෙනුවෙන් මරාගෙන මැරෙන ප්‍රහාර ඇතුළු සටන්වලදී (1982 නොවැම්බර් 27 සිට 2009 මැයි 19 දක්වා) මරණයට පත්වූ සමස්ත සංඛ්‍යාව ආසන්න ලෙස 24,300 ලෙස ප්‍රකාශයට පත්කර ඇති මේ මොහොතේ මියගිය සහ පුනරුත්ථාපනය කළ ළමා ‘සොල්දාදුවන්’ සංඛ්‍යාව නිසි ක්‍රමවේදයක් ඔස්සේ ප්‍රකාශයට පත් කළ යුතුය. පාර්ලිමේන්තුවේ අදාළ කාරක සභාව මෙම විමර්ශනයට මූලිකත්වය දිය යුතුය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් වුවද ළමා ‘සොල්දාදුවන්’ යොදාගැනීම නතර කිරීමට නොහැකි විය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියගේ සමයේ (1997-1998) එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය ළමා ‘සොල්දාදුවන්’ යොදා ගැනීම වැළැක්වීමට ගත් උත්සහය ව්‍යර්ථවිය. එම බිහිසුණු තත්ත්වයෙන් ද්‍රවිඩ දරුවන් ගලවා ගැනීමට හැකිවූයේ කොටි ත්‍රස්තවාදය 2009 මැයි මාසයේ මුළුමනින්ම අතුගා දැමුවායින් පසුවය. එය ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ පොලිසිය ලබාගත් ඉහළම ජයග්‍රහණයකි. එහෙව් අසමසම යුද ජයග්‍රහණයක් සැමරීමට පැවැත්වූ ඒකාබද්ධ හමුදා සැමරුම 2015 නවත්වා දැමූ යහපාලන ආණ්ඩුව එම වසරේදීම ඔක්තෝම්බර් මාසයේ 01 වන දින ජිනීවාහි මානව හිමිකම් කොමිසමේදී මහා පාවාදීම කළේය. ඒ යම් කිසි ප්‍රමාණයකටවත් අධිකරණ ක්‍රියාමාර්ගයක් හෝ වෙනත් කිසිදු ආකාරයකින් ඔප්පු නොකළ යුද අපරාධ චෝදනා මත රටට එරෙහි ක්‍රියාමාර්ගවලට එකඟ වීමයි.

ඊළාම් යුද්ධයේදී (1982 නොවැම්බර් 27-2009 මැයි 19) මියගිය කොටි සාමාජිකයන් සැමරීම රජය ප්‍රශ්නයක් කරගත යුතුද? එවැනි කටයුත්තකට ඉඩ හැරීම ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක්ද? ඇත්ත වශයෙන්ම ඊළාම් යුද්ධය පරාජය වූ කොටි සංවිධානය වෙනුවෙන් සටන් කළ සාමාජික, සාමාජිකාවන් මෙම සැමරුම්වලට (Maaveerar Naal/මාවිර් නාල්) සහභාගි වෙනවාද? එවැනි අවශ්‍යතාවයක් හිටපු කොටි සාමාජිකයන්ට තිබේද? හිටපු කොටි සාමාජිකයන්වත් සහභාගී නොවන ‘කොටි නැටුම්’ සම්බන්ධයෙන් විමසා බලමු. ඒ කොටි සංවිධානය විනාශ කර දැමීමෙන් පසුව 12,000 පමණ පිරිසක් පුනරුත්ථාපනය කර සමාජයට මුදාහැර ඇති බවද සිහියේ තබාගෙනය.

කොටි සංවිධානය සහ අනෙකුත් ද්‍රවිඩ ත්‍රස්තවාදී කණ්ඩායම් වෙනුවෙන් සටන් කළ/පෙනී සිටි පුද්ගලයන් පාර්ලිමේන්තුව නියෝජනය කළ බව සහ තවදුරටත් සිටින බව අමතක කළ නොහැක.

පොලිස්පතිවරයා සහ ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ ප්‍රධානියා කොටි සැමරුම්වලට අවස්ථාවක් නොදෙන බවට අභියාචනාධිකරණයට මෑතකදී පොරොන්දුවක් ලබා දුන් බව සියලුම මාධ්‍ය වාර්තා කළේය. ඒ යුද සමයේදී යුද හමුදා බුද්ධි අංශයේ සේවය කළ නිලධාරියකු අභියාචනාධිකරණයට කළ පැමිණිල්ලකට ප්‍රතිචාර ලෙසය. මෙම උත්සව වැළැක්වීමට පොලිසිය යම් මැදිහත්වීමක්, උත්සහයක් කළත් දේශපාලන වාසි බලාපොරොත්තු වූ යම් පිරිසක් නොවැම්බර් 27 වන දින කොටි සැමරුම් උත්සව සංවිධානය කිරීමට සමත් විය. ඊට පුළුල් ජනතා සහභාගිත්වයක් තිබුණ බවට ද්‍රවිඩ මාධ්‍ය වාර්තාකර ඇත.

මෙම සැමරුම පවත්වන්නේ 1982 නොවැම්බර් යුද හමුදා වෙඩි පහරකින් ශ්‍රී ලංකාවේ උතුරේදී තුවාල ලබා එම මාසයේම 27 වන දින මදුරායි හිදී මියගිය පළමුවැනි කොටි සාමාජිකයා වෙනුවෙනි. පසුව ‘ලුතිනල්’ වරයකු ලෙස නම් කළ සතියනාතන් හෙවත් ශංකර් නමැති මෙම ත්‍රස්තයාව වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට දකුණු ඉන්දියාවට මුහුදු මාර්ගය ඔස්සේ ගෙන ගියත් එහිදී ඔහුගේ මරණය සිදුවිය. නමුත් පළමුවන මාවිර් නාල් පවත්වන්නේ 1989 නොවැම්බර් 27 වන දිනය. ඒ ඉන්දියානු හමුදා එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ ඉල්ලීමක් පරිදි සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබෙන අවස්ථාවකදීය. ඒ මාස 14 වූ ප්‍රභාකරන් – ප්‍රේමදාස ‘මධු සමය’ (1989 මැයි -1990 ජුනි) කාලය තුළ කොටි සංවිධානයට රුපියල් මිලියන 125 ක් මහා භාණ්ඩාගාරය හරහා කප්පම් ගෙවූ මහා අවාසනාවන්ත කාලයකි. දෙවන ඊළාම් යුද්ධය කොටි සංවිධානය 1990 ජුනි 11 දින ආරම්භ කර පොලිස් නිලධාරීන් සිය ගණනක් මරා දැමීමෙන් පසුවද ප්‍රේමදාස ජනාධිපතිවරයා ත්‍රස්තවාදීන්ට කප්පම් ගෙවූ බව රහසක් නොවේ. දහසය වතාවකදී මහා භාණ්ඩාගාරය හරහා ගෙවන ලද රුපියල් මිලියන 125 න්, රුපියල් මිලියන 50 ක්ම ප්‍රදානය කර ඇත්තේ 1990 නොවැම්බර් මාසයේ 05 වන දිනය. ඒ යුද හමුදාවට නුවර – යාපනය මාර්ගයේ වවුනියාවට උතුරින් කිලිනොච්චිය දක්වා ඇති සියලුම කඳවුරු අහිමි වී ඇති අවස්ථාවකය.

ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් දෙකේ ඉන්දියානු හමුදා ස්ථානගත වූයේ 1987 ජුලි 29 දිනය. ඒ ඉන්දු – ලංකා ගිවිසුම ප්‍රකාරවය. ඉන්දියාව සහ කොටි සංවිධානය අතර යුද්ධය ආරම්භවන්නේ 1987 ඔක්තෝම්බර් 10 වැනි දිනය.

කොටි සංවිධානය තම ව්‍යාප්තියත් සමඟ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නොවැම්බර් 26 වැනිදා උපන් දිනය ද සැලකිල්ලට ගෙන 1991 සිට නොවැම්බර් 20-27 සතිය පුරා සැමරුම් උත්සව සංවිධානය කරන ලදී. සෑම වසරකම එම උත්සවය අවසානයේදී කොටි නායකයා විශේෂ ප්‍රකාශයක් කිරීම සමස්ත උත්සවයේ ප්‍රධාන අංගය විය. උතුරේ භූමියේ බලය තමන්ට වඩාත් වාසිදායක කාලවලදී මෙම උත්සවය ඉතාමත් ඉහළින් සැමරීමට ප්‍රභාකරන් කටයුතු කළේය. විදේශීය තානාපති අංශ සහ විදේශ මාධ්‍ය ප්‍රභාකරන් කළ එම ප්‍රකාශය කොටි සංවිධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස සැලකීය.

නමුත් ටැමිල්නෙට් වෙබ් අඩවියට අනුව කොටි සංවිධානය අවසන් වරට මෙම උත්සවය සුළුවට පැවැත්වූයේ 2008 නොවැම්බර් මාසයේ 27 වන දිනය. නැගෙනහිර වන්නියේ පැවැත්වූ බවට ටැමිල්නෙට් වෙබ් අඩවිය වාර්තාකර තිබූ එම උත්සවයේදී මරණයට පත්වූ සාමාජිකයන් 22,390 සිහිකිරීම සිදුවිය. එම සංඛ්‍යාවෙන් 2008 වසරේදී (ජනවාරි 1 සිට නොවැම්බර් 27,2008) මරණයට පත්වූ සාමාජිකයන් ගණන 2,239 ලෙස ප්‍රකාශයට පත් කළේය. ප්‍රභාකරන් එදින කළ ප්‍රකාශය අවසන් කළේ තර්ජනාත්මක ස්වරයකිනි. තම සංවිධානයට එරෙහිව යුද ජයග්‍රහණයක් ලබා ගැනීමේ සිහිනයෙන් ශ්‍රී ලංකා රජය වැඩිකලක් යෑමට පෙර අවදි වෙනු ඇති බවට අනාවැකියක් පළ කළේය.

ප්‍රභාකරන් ඒ අනතුරු ඇඟවීම කිරීමෙන් මාස 6 කට පසුව නන්දිකඩාල් කලපුව ප්‍රදේශයේදී ඔහු වෙඩි වැදී මරණයට පත්විය. එදා සිට බටහිර බලවේග ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක කළ මෙහෙයුමේ කූටප්‍රාප්තිය 2015 ඔක්තෝම්බර් 01 වන දින සිදුවිය. ඒ ශ්‍රී ලංකා රජය ජිනීවා නුවර පිහිටි ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේදී යුද අපරාධ සම්බන්ධයෙන් ඒකාබද්ධ යෝජනාවක් සම්මත කරගැනීමයි. එය ඇමෙරිකාවේ අවශ්‍යතාවය විය. නමුත් ඒ වන විටත් ද්‍රවිඩ ප්‍රජාව ශ්‍රී ලංකා හමුදා නායකත්වය සම්බන්ධයෙන් විශ්වාසය ඉහළින්ම අවධාරණය කර තිබිණි. එවැනි තත්ත්වයක් පසු බිමේ දේශපාලනික වාසි ගැනීමට සැමරුම් උත්සව සංවිධානය කිරීමේ තේරුමක් තිබේද? කෙසේ වෙතත් මියගිය කොටි සාමාජිකයන්ගේ පවුල්වලට කණ්ඩායමක් ලෙස තමන් ආදරය කළ පවුලේ සාමාජිකයන් සැමරීමට අවස්ථාව තිබුය යුතුය.

නමුත් ත්‍රස්තවාදය පරාජය කළ යුද්ධයට නායකත්වය දුන් එවකට ජෙනරාල් සරත් ෆොන්සේකාව ඉහළින්ම උතුරු සහ නැගෙනහිර පළාත් දෙකේම 2010 ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරවූ ද්‍රවිඩ ජනතාව කොටි සැමරුම් උත්සව පැවැත්වීමේ තේරුමක් තිබේද? ඡන්ද මිලියන 1.8කින් ජනාධිපතිවරණය පරාජය වූ හිටපු හමුදාපතිවරයාට උතුරු සහ නැගෙනහිර පළාත් දෙකම ජයග්‍රහණය කර දීමට මූලික වූයේ එදා කොටි සංවිධානයේ අතකොලුවක් වූ ද්‍රවිඩ ජාතික සන්ධානයයි.

ලන්ඩනයේ කොටි සැමරුමක්

කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමට පෙර අවසන් වරට වීර දිනය ලන්ඩනයේ පැවැත්වූයේ 2008 නොවැම්බර් මාසයේ 27 වන දිනය. ඒ බටහිර වන්නියේ තමන්ගේ අවසන් ‘බලකොටුව’ වූ පූනරින් ප්‍රදේශයෙන් ඉවත් වී දින 12 කට පසුවය. නමුත් අවසන් මොහොතේ හෝ කොටි සංවිධානය යුද භූමියේ යම්කිසි ප්‍රාතිහාරයක් කරනු ඇතැයි ද්‍රවිඩ ඩයස්පෝරාව බලාපොරොත්තු විය. පුනරින් ප්‍රදේශය තම අණසකට ගනු ලැබූ හමුදාව නැගෙනහිරට හැරී ඒ 09 පාරේ 2009 ජනවාරි 01 දින පරන්තන්, ජනවාරි 02 කිලිනොච්චිය සහ ජනවාරි 09 අලිමංකඩ අල්ලා ගැනීමත් සමඟ කොටි සංවිධානයේ ආයුෂ මාස කීපයකට සීමාවන බව අමුතුවෙන් කිවයුතු නැත. කොන්දේසි විරහිතව පරාජය භාර ගැනීම හැර ප්‍රභාකරන්ට වෙන විකල්පයක් තිබුණේ නැත.

නමුත් තමන්ට භූමියේ ඉතාමත් අවාසිසහගත තත්ත්වයක් තිබෙන බව නොසලකා කොටි සංවිධානයේ නියෝජිතයන් ලන්ඩන් නුවර වීර දිනය සැමරුවේ මහා බි්‍රතාන්‍යයේ අනුමැතිය ඇතුවය. එම උත්සවය පැවැත්වීම තහනම් කිරීමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීම මහා බි්‍රතාන්‍යය ප්‍රතික්ෂේප කළේය.

කොටි සංවිධානය වෙනුවෙන් සටන් කර මියගිය සාමාජික සාමාජිකාවන් අමතරව අනෙකුත් ද්‍රවිඩ ත්‍රස්තවාදී කණ්ඩායම් නියෝජනය කළ පුද්ගලයන් හඳුනාගත යුතුය. මරණයට පත්වූ සහ අතුරුදන් වූ ද්‍රවිඩ තරුණ තරුණියන් පහත දක්වා ඇති තත්ත්වයන්ට මුහුණ දුන් බව බොහෝ දෙනකුට අමතකය. නැතහොත් සිතා මතා අමතකකර ඇත. අපරාධවලට යුක්තිය සහ වින්දිතයන්ට සාධාරණත්වය ඉල්ලා සිටින බොහෝ කණ්ඩායම්වලට එවකට භූමියේ තත්ත්වය මතක නැත. 1983 කළු ජූලියට පෙර ද්‍රවිඩ ත්‍රස්තවාදය උතුරේ ක්‍රියාත්මක වූ බවට අවධාරණය කරන සාධකය කොටි සංවිධානයම ප්‍රකාශ කර ඇති පරිදි තමන්ගේ පළමුවැනි සාමාජිකයා 1982 නොවැම්බර් 27 දින යුද හමුදාව අතින් මරණයට පත්වීමයි. ඒ ත්‍රස්තවාදය යුද හමුදා සෙබළුන් 13 දෙනකු තින්නවේලි හිදී බිලිගැනීමට මාස 8 කට පෙරය.

යුද හමුදාව අතින් 1982 නොවැම්බර් 27 දින මරණයට පත්වූ ත්‍රස්තවාදියා ඉන්දියානු පුහුණුව ලැබූ කණ්ඩායමේ සාමාජිකයෙක්ද? ඉන්දියානු මැදිහත්වීම 1983 ට පෙර සිදුවූ බවට කිසිදු සැකයක් නැත. ශ්‍රී ලංකාව දශක තුනක යුද්ධයකට තල්ලු කළ සිද්ධිය තින්නවේලි ප්‍රහාරයයි. ඒ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් පුරුදු පුහුණු කළේ ඉන්දියාවයි. තාක්ෂණය ලබා දුන්නේ ඉන්දියාවයි. එවැනි පසුබිමක් තුළ මරණයට පත්වූ කොටි සාමාජිකයන් සෑම වසරකම සැමරීම අවාසනාවන්ත තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත. හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි 1991 මැයි මාසයේ මරා දැමූ ශ්‍රී ලාංකික ද්‍රවිඩ මිනිස් බෝම්බයද වසරක් පාසා සිහි කරන කණ්ඩායමේ සිටින බව මතක් කර දිය යුතුය.

මරණයට පත්වූ සහ අතුරුදන් වූ ද්‍රවිඩ තරුණ තරුණියන් කණ්ඩායම් කීපයකට අයත්වේ. කොටි සංවිධානය එයින් ප්‍රධානතම කණ්ඩායම වන නමුත් එකම කණ්ඩායම නොවේ.

(1) ඉන්දියාවේ පුහුණුවීම් අතරතුර මරණයට පත්වූ පිරිස (2) ඉන්දියාවේ පුහුණුවීම් නිමකර නැවත ශ්‍රී ලංකාවට අනවසර මුහුදු මාර්ගයෙන් පැමිණෙන විට නාවික හමුදා ප්‍රහාරවලින් සහ හදිසි අනතරුවලින් මරණයට පත්වූ පිරිස (3) ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ එම කණ්ඩායම් අතර ඇතිවූ සටන්වලින් මියගිය පුද්ගලයන් (4) කොටි සංවිධානය සහ ඉන්දීය සාම සාධක හමුදා අතර යුද්ධයේදී මරණයට පත් වූ කණ්ඩායම (5) 1988 නොවැම්බර් මාසයේදී මාලදිවයින ජනාධිපති මොහමඩ් අබ්දුල් ගයුම් මරා දැමීමට කළ උත්සාහය ව්‍යර්ථ කිරීමේදී මාලදිවයින සහ ඉන්දීය හමුදා අතින් මරණයට පත්වූ PLOTE සංවිධානයේ කණ්ඩායම (6) ශ්‍රී ලංකා හමුදා සමඟ එක්වී කොටි සංවිධානයට එරෙහිව කළ මෙහෙයුම්වලදී මරණයට පත්වූ පිරිස (7) විශේෂ මෙහෙයුම්වලදී මියගිය කණ්ඩායම. උදාහරණ ලෙස රජීව් ගාන්ධි මරා දැමීමෙන් පසුව ඉන්දියානු ආරක්ෂක අංශ අතින් මරණයට පත්වූ කොටි සාමාජිකයන් (8) ඉන්දියානු නාවික හමුදාව කොටි යාත්‍රා (එක ප්‍රධාන නැවක් ඇතුළුව) විනාශ කිරීමේදී මරණයට පත්වූ පුද්ගලයන් (9) ශ්‍රී ලංකා නාවික හමුදාව මුහුදු කොටි විනාශ කිරීමේදී සිදුවූ ජීවිත හානි (10) ගුවන් ප්‍රහාර කළ හානිය සහ (11) හතරවන ඊළාම් යුද්ධයේදී (2006-2009) කොටි සංවිධානයට සිදු වූ සමස්ත ජීවිත හානි විමසා බැලිය යුතුය.

2008 නොවැම්බර් මාසයේ 27 දින පැවැත්වූ කොටි සැමරුවේදී එදින වන විට මියගිය සමස්ත සාමාජිකයන් ගණන 22,390 ලෙස ප්‍රභාකරන් ප්‍රකාශයට පත් කළේය. එම වසරේ මරණයට පත්වූ මුළු ගණන 2,239 ලෙස ප්‍රකාශ කළේය. යුද්ධය ඊට මාස 6 කට පසුව අවසන් වීමට පෙර තවත් 2,000 ආසන්න සාමාජිකයන් ගණනක් සටනේදී මරණයට පත්වී ඇත. මෙම සංඛ්‍යා ද්‍රවිඩ මාධ්‍ය සහ 2008 අග වනතුරු කොටි සංවිධානය නිකුත් කළ වාර්තා මත පදනම් වී ඇත.

24,000 මරණයට

2007 නොවැම්බර් මාසයේ 20 වනදින විට කොටි සාමාජික සාමාජිකාවන් 19,877 මරණයට පත්වී තිබිණි. 2007 වසරේ (ජනවාරි 01 සිට නොවැම්බර් 27 දක්වා) මරණයට පත්වූ සංඛ්‍යාව 954 ලෙස එම සංවිධානය සඳහන් කර ඇත. කෙසේ වෙතත් පසුගියදා යාපනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේෂ්වරන්ගේද සහභාගිත්වයෙන් ප්‍රකාශයට පත්කළ නාමලේඛනයේ කොටි සංවිධානය වෙනුවෙන් මියගිය 24,300 නම් සඳහන් කර ඇත. එම සංඛ්‍යා ලේඛනය අනුව 2008 නොවැම්බර් මාසයේ 27 දින මාවිර්නාල් සැමරුමෙන් මස 6කට පමණ පසුව 2009 මැයි 19 යුද්ධය අවසන් වන අවස්ථාව වනවිට කොටි සාමාජික සාමාජිකාවන් 1910 මරණයට පත්වී ඇත.

සැබෑ අධ්‍යයනයක් කළහොත් කොටි සංවිධානය විසින් යුද්ධයට බිළිදුන් ළමා ‘සොල්දාදුවන්’ සංඛ්‍යාව මෙන්ම ප්‍රභාකරන්ගේ නියෝගයෙන් මරා දැමූ සාමාජික සාමාජිකයන් ගණනද දැන ගත හැකි වෙනු ඇත. කොටි සංවිධානයේ නියෝජ්‍ය නායකයා වූ ගෝපාල්ස්වාමි මහේන්ද්‍රරාජා නොහොත් මහත්තයා යුද්ධයෙන් පසුව සිහිකරන අය කොටි අතර සිටීද? ඉන්දීය රහස් ඔත්තු සේවය සමග ගනුදෙනු කළ බවට චෝදනා නගමින් 1993 අගෝස්තු මාසයේදී ප්‍රභාකරන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ මහත්තයා 1994 දෙසැම්බර් මාසයේදී සංවිධානයට ද්‍රෝහී වූ බවට වරදකරු කර වෙඩි තබා මරා දැමූ බව කොටි සංවිධානය පිළිගෙන ඇත. සත්‍යය එයයි. සංවිධානයට ද්‍රෝහී වූ බවට චෝදනා කරමින් මහත්තයා සමඟ මරා දැමූ සංඛ්‍යාව කොපමණද?

වසර 2001 දී කොටි සංවිධානය ද්‍රවිඩ කතා කරන ජනතාවගේ එකම නියෝජිතයා ලෙස ප්‍රකාශ කර මිනීමරු ප්‍රභාකරන් සමඟ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අවසාන මොහොත දක්වා සිටි ආර්. සම්බන්ධන්ගේ ද්‍රවිඩ ජාතික සන්ධානය යුද අපරාධවලට වගකිව යුතුමය. එවැනි සංවිධානයක් 2010 දී ජෙනරාල් සරත් ෆොන්සේකාට ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ද්‍රවිඩ ජනතාවට කළ බලපෑම විමසා බැලිය යුතු වන්නේ උතුරු නැගෙනහිර පළාත් දෙකම යුද්ධයට නායකත්වය දුන් මහා සෙනෙවියාව ඉහළින්ම ජයග්‍රහණය ලබා දුන් බවද මතකයේ තබා ගනිමිනි.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment