සෙල්වසේකරන් රිෂියුධන් නම අද මේ රටේ ජනප්‍රියය. ඔහු තවම 10 හැවිරිදිය. ලෙදර් පන්දුව අතින් ගත් ඔහු මීට දින කීපයකට උඩදී වාර්තාවක් තැබීය. ඒ වයස අවුරුදු 13න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදීය. කොළඹ හින්දු විදුහලේ සිසුවකු වන සෙල්වසේකරන් රිෂියුධන් 13 න් පහළ තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී බත්තරමුල්ල එම්.ඩී.එච්. ජයවර්ධන විදුහලට එරෙහිව කඩුලු 8 ක් බිඳ හෙළීය. ඒ කඩුලු 8 තුළ ඔහු ප්‍රතිවාදීන්ට ලකුණු දුන්නේ නැත. එය නම් ඔබ අප මවිත කරන දස්කමකි. මුල්ලේරියාව ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේදී පන්දු වාර 9.4ක් රිෂියුධන් ක්‍රියාත්මක කළේය. එනම් පන්දු 58 කි. පන්දු 58 ක් තුළ ලකුණු නොදුන් රිෂියුධන් කඩුලු 8ක් බින්දේය.

“මට ගොඩක් සතුටුයි ඒ තරම් ලොකු දස්කමක් දක්වන්නට හැකි වීම ගැන. යාළුවෝ මට ගොඩක් සුබපැතුවා. ඉස්කෝලේ ආදි ශිෂ්‍ය මාමලා මට ක්‍රිකට් කිට් අරන් දුන්නා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් මාමා මගේ දස්කම් ගැන ආරංචි වෙලා මට කතා කළා. සුබ පැතුවා. මට හරිම සතුටුයි මාමේ.”

පුංචි රිෂියුධන් තම සතුට ගැන දැනෙන හැඟීම අප එසේ විස්තර කළේය. අවුරුදු 10 ක මේ පුංචි කොල්ලා 13 න් පහළ ක්‍රිකට් පිටියේ දැන් කැපී පෙනෙන චරිතයකි. ඔහුගේ දස්කම් පහළ වූයේ හිටිහැටියේ නොවේය. රිෂියුධන් ගේ ක්‍රිකට් පුහුණුකරුවා මෙන්ම කොළඹ හින්දු විද්‍යාලයේ ක්‍රිකට් භාර ආචාර්ය කාර්තික් සෙල්වම් රිෂියුධන් පිළිබඳව අප සමග මෙසේ කීය.

“මම රිෂියුධන්ව දැක්කේ සහජ හැකියාවක් තියෙන චූටි කොල්ලෙක් විදිහට. එයා මගේ ළඟට පුහුණුවීම්වලට එනකොට අවුරුදු නමයයි. ඔහු ඕනම දෙයක් එකපාර අල්ල ගන්නවා. ඔහුගේ මට හදන්න දෙයක් තිබුණෙ නැති තරම්”

දඟ පන්දු යවන්නකුට කලාතුරකින් පිහිටිය හැකි දස්කමක් වන පන්දු 6 හය ආකාරයෙන් යැවීමේ හැකියාව රිෂියුධන් ට දැනටමත් ඇත.

“මට වර්ග හයෙන්ම පන්දු යවන්න පුළුවන් මාමේ. ඕෆ් ස්ප්‍රින්, ලෙග් ස්ප්‍රින්, කැරම් බෝල්, ලූප්, ෆ්ලැට් ලූප් සහ වේග විදිහට. මම ෆෝන් එකෙන් ක්‍රිකට් මැච් බලලා ඒ පන්දු හඳුනා ගන්නවා. ඊට පස්සේ ගිහින් කෝච් සර්ගෙන් ඒවා ඉගෙන ගන්නවා.”

“ඔව්. රිෂියුධන් එහෙම තමයි. මගෙන් ඇවිල්ල අහනවා සර් මං කොහොමද ඒ පන්දුව දාන්නෙ කියලා. ඉතින් මම කියල දෙනවා. එයා එක පාරින්ම ඕන දෙයක් ඉගෙන ගන්නවා. තාම පොඩි වැඩි හින්දා එයාට මැච්වලදි මම දාන්න කියන්නේ සාමාන්‍ය “ඕෆ් ස්ප්‍රින්” එක විතරයි. ඒත් පුහුණුවීම්වලදී එයා හැම ආකාරයේම පන්දු යොමු කරනවා. මෙයා පන්දු යැවීමට විතරක් නෙවෙයි පන්දු රැකීමටත් පුදුම දස්කමක් තිබෙන ළමයෙක්. පන්දුවට පොඩ්ඩක්වත් බය නැහැ. අපි හයියෙන් ගහන බෝලයක් වුණත් එයා පැනලා අල්ලනවා. පිතිහරඹය අංශයෙනුත් දස්කම් දක්වනවා. ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව පැවති තරගයේදී රිෂියුධන් පන්දු 114 කට මුහුණ දුන්නා”

පුහුණුකරු කාර්තික් අප සමඟ පැවසූ එම අදහස්වලින් පැහැදිලි වන්නේ රිෂියුධන් යනු හුදෙක් දඟ පන්දු යවන්නෙක් පමණක්ම නොවන බවයි.

මේ තරග වාරයේ දී පමණක් රිෂියුධන් තරග හයක දී කඩුලු විසි එකක් දවා ගෙන ඇත. වයස අවුරුදු 10 ක ළමයෙක් 13න් පහළ තරග වාරයකදී එවැනි දස්කම් දැක්වීම ද දුලබ සිදුවීමකි. හින්දු විදුහලේ ක්‍රීඩා භාර ආචාර්ය ධර්මශිවම් මහතා ද රිෂියුධන් පිළිබඳව අපට අදහස් දැක්වීය. විදුහල්පතිවරයා ඇතුළු සියලු ගුරු භවතුන්ගෙන් තමන්ට ලැබෙන සහය සහ ආශිර්වාදය අගය කරන බවද රිෂියුධන් අප සමග කීවේය.

“මම කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා තමයි ඔස්ටේ්‍රලියාවේ නේදන් ලයන් මාමා. ඒ මාමා වගේ පන්දු යවන්න මම ගොඩක් කැමතියි. අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ඉක්මනින්ම ක්‍රීඩා කිරීම තමයි මගේ මුල්ම ආශාව.”

පුහුණුකරු කාර්තික් මහතා අප සමග පැවසුවේ දැනටමත් රිෂියුධන් පාසලේ දී 19 න් පහළ ක්‍රීඩකයන්ට එරෙහිව පන්දු යවන බවයි.

පාසල් තරග වාර්තා අනුව රිෂියුධන්ට පෙර ලකුණු ලබා නොදී කඩුලු 8 ක් දවා ගනිමින් දස්කමක් පෙන්වා තිබුණේ 1976 වසරේදීය. ඒ අවුරුදු 12න් පහළ තරගයකදීය. එවර කොළඹ නාලන්දා විදුහලේ ආරම්භක පන්දු යවන්නා වූ කපිල වික්‍රමසූරිය ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහලට එරෙහිව ලකුණු නොදෙමින් කඩුලු 8ක් දවාගෙන තිබුණි. එදා මෙදා අතර කාලය වසර 47කි. එනම් 47 වසරකට පසුව රිෂියුධන් ඒ ක්‍රිකට් වාර්තාව අලුත් කර ඇත.

රිෂියුධන්ගේ පියා සමග ද කතා කිරීමට අපට අවස්ථාව උදාවූ අතර ඔහු පැවසුවේ තමන්ගේ ලොකු පුතාගේ මේ දස්කම් ගැන තමාට ඇත්තේ අප්‍රමාණ සතුටක් බවයි. එහෙත් රිෂියුධන් ගේ ක්‍රිකට් දස්කම් දැකීමට මෙන්ම ඔහු ගේ මල්ලිව ජීවත් කිරීම සඳහා ද ඔහු ගේ පියා සිදුකරන ආර්ථික යුද්ධය නම් සෙල්ලමක් නොවේ.

“පොඩි පුතා හම්බ වෙන්න කලින් මම රස්සාවක් කළා. ඒත් අපේ පොඩි පුතා ට මාස හයේ ඉඳන්ම ෆිට් එක හැදෙනවා. ඔහුට ස්නායු ආබාධයක් තියෙනවා. දැන් එයාට වයස අවුරුදු 5ක් වෙනවා. කිලෝ 8 ක් පමණයි තවම බර. තාමත් හරියට ඇවිදින්නවත් බැහැ. ක්ලිනික්වලට එක්කගෙන යන්න ඕන. මේ දරුවාගේ වැඩ කරන්න ඕන නිසා කරමින් සිටි රස්සාවෙන් මම අයින් වුණා. දැන් ත්‍රීවීලර් එකක් හයර් කරනවා. පාර්ට් ටයිම් වැඩත් කරනවා. රිෂියුධන් ගේ අම්මටත් රස්සාවක් නැහැ. කෑම ජාති හදලා විකුණලා එයත් කීයක් හරි හොයා ගන්නවා. එහෙම තමයි අපි මේ ළමයි දෙන්නව රැක බලා ගන්නේ. රිෂියුධන් කවද හරි ක්‍රිකට්වලින් හොඳ තැනකට ඇවිත් අපිවයි එයාගේ මල්ලිවයි බලා ගනියි කියලා තමයි අපේ බලාපොරොත්තුව.

රිෂියුධන් නම් මේ දක්ෂ දරුවාගේ පියාගේ බලාපොරොත්තුව එලෙසම සඵල වේවායි යන්න අපගේද ප්‍රාර්ථනය වේ. එහෙත් ඒ සඳහා තව බොහෝ කාලයක් ගත වනු ඇත. රිෂියුධන්ට මෙන්ම ඔහුගේ මල්ලීට ද එම කාලය තුළ බොහෝ අත්‍යවශ්‍ය කාරණා ඉටුකර ගැනීමට සිදු වනු ඇත. අගහිඟකම් නිසා රිෂියුධන් වැනි දක්ෂ දරුවන් ඕනෑ තරම් අපේ රටට අහිමිව ගිය ඉතිහාසයක් අපට ඇත. එහෙත් සෙල්වශේකරන් රිෂියුධන් යනු අනාගතයේ තරුවක් වන ලකුණු පෙන්වන රැකගත යුතු දරුවෙකි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment