ජගත් ක්‍රිකට් පිටියේ තවත් වැටෙන්නට තරම් පහත් තැනක් නොතිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැන් අළුගසා නැගිටිමින් ඇත. දිනන්නට නොව දිනන හැටි වත් අමතකව සිටි ඔවුන් එකල ප්‍රගුණ කර තිබුණේ වැරදීමේ සහ පැරදීමේ කලාවයි. එදවස ශ්‍රී ලංකාව දින්නොත් අහම්බයකි. පැරදීම තිත්ත ඇත්තකි.

එසේ අප පසුපස සෙවණැල්ල සේ පැමිණි පැරදිල්ල වෙනුවට දිනුමට මගක් සොයා ගැනීම අපහසු විය. මුලින්ම පැරදීමේ පුරුද්ද අමතක කළ යුතුව තිබුණි. අපෙන් ඈතට ගොස් තිබූ තරග දිනීමේ මග සොයා ගත යුතුව තිබුණි. ලකුණු පනහට හැටට දැවී ගිය හැටි මතක පොතෙන් කටු ගා දමා ලකුණු තුන්සීය පන්නා ගහන හැටි අමුතුවෙන් ප්‍රගුණ කළ යුතුව තිබුණි.

පල්ලෙකැලේ සහ දඹුල්ලේ ලකුණු එයි නිදැල්ලේ

ඒ සඳහා අවැසි මඟ හසර හදා දුන්නේ පල්ලෙකැලේ සහ දඹුල්ලෙන්ය. මෙරට පිටියේ ලකුණු නැතිව ලකුණු පිපාසයෙන් සිටි ශ්‍රී ලංකා පිතිකරුවන්ට රිසිසේ ලකුණු සොයන්නට හැකි තණතීරු දඹුල්ලෙන් සහ පල්ලෙකැලෙන් නිර්මාණය විණි. ඒ ලැබුණු අවස්ථාවෙන් “අසුරු සැණින්” ප්‍රතිඵල ලබා ගත් අපේ පිතිකරුවෝ තරගයට මෙන් ලකුණු සෙවූහ. ප්‍රතිඵලය වූයේ ඇෆ්ගනිස්තානයට එරෙහිව ක්‍රිකට් පිටියේ සියලු ආකාරයේ තරගාවලි ජයග්‍රහණය කිරීමය. ටෙස්ට්, එක්දින හා විස්සයි 20 තරගාවලි සියල්ලම ශ්‍රී ලංකාව අවසාන වරට එසේ ජයග්‍රහණය කර තිබුණේ 2014 වසරේදීය. ඒ අනුව මෙවර ලද එම ජය අති විශිෂ්ට ජයග්‍රහණයක් විය. වසර 2014දී එංගලන්තයේ සිදුකළ සංචාරයේදී ශ්‍රී ලංකාව ඉහත තරගාවලි තුනෙන්ම ජය වාර්තා කර තිබුණි. එසේම අඩසියවසකට ආසන්න ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් පිටියේ පළමු ද්විත්ව ශතකය පැතුම් ගේ පිත්තෙන් වාර්තා වූයේය. ඉන් අනතුරුව ද ශතකයක් ලැබූ ඔහු එකී තරගාවලිය නිමා කළේ ලෝක ක්‍රිකට් පිටියේ තරග තුනකින් යුත් තරගාවලියක වැඩිම ලකුණු ලැබූ හතරවෙනි පිතිකරුවා ලෙසය.

කුජීතව සිට ලැබූ ජයග්‍රහණ

ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණයන් ලැබුවේ ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහාවත් සුදුසුකම් නොලැබූ අවධියක වීම තවත් විශේෂත්වයකි. ශ්‍රී ලංකාව එවන් කුජීත තත්ත්වයකට පත් වූයේද ඉතිහාසයේ පළමු වරටය. එනම් ශ්‍රී ලංකාව ක්‍රිකට් ඉතිහාසයේ කවදාවත් නොවැටුණු තරම් පහළට වැටී තිබුණේ මේ මෑත අතීතයේ බවට අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

2023 සැප්තැම්බර් 17 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී පැයක් තුළ ලකුණු 50කට ශ්‍රී ලංකා කණ්ඩායම දැවී ගියේය. ඉන්දියාව පන්දු ඕවර 6.1 ක් තුළ කිසිම කඩුල්ලක් නොදැවී ලකුණු 51ක් ලබා ගනිමින් ආසියානු ශූරයෝ වූහ.

අම්බානක් ගුටි දී එදා පොළොවේ බඹ ගානක් යටට වළ දැමූ ක්‍රිකට් එතැන් සිට ගොඩ ආවේම නැත. අනතුරුව ලෝක කුසලානයේ දී අප ඉන්දියාවට යළිත් වරක් ලකුණු 56කට දැවී ගියේය. ඒ පරාජය දැක ඉන්දීය ක්‍රීඩා ලෝලීහු අපට වඩා දුක් වූහ. ලෝක කුසලානයක් දිනාගත් රටක්, දෙවරක් ලෝක කුසලාන අවසන් මහා තරගයට තරග වැදුණු රටක් ලෙස ශ්‍රී ලංකාව එතරම් නින්දිත පරාජයක් ලැබීම අසල්වාසීන්ටද දුකට හේතුවක් වන්නට ඇත. එසේ 2023 ලෝක කුසලාන තරගාවලිය 09 වැනි තැනට නිම කිරීම මත ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දොරටුවත් ශ්‍රී ලංකාවට අවහිර විය.

ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන්

දඹුල්ලෙන් ඇරඹුණු ප්‍රේක්ෂක පුනරාගමනය

ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ ටෙස්ට් ජයග්‍රහණය ඉතා විශේෂ එකක් නොවේ. මන්ද ඔවුහු තවම ටෙස්ට් පිටියේ අත දරුවෝ වෙති. එහෙත් සුදු පන්දුවේදී ඇෆ්ගනිස්තානය අත්දැකීම් සහ දස්කම් අතින් ශ්‍රී ලංකාවට වඩා දැන් ඉදිරියෙන් පසුවන කණ්ඩායමකි. එක් දින තරගාවලියේදී ශ්‍රී ලංකාව 3-0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් ලැබූවේ අපට වඩා ස්ථාන 03ක් ඉදිරියෙන් සිටි ඒ ඇෆ්ගනිස්තානයට එරෙහිවය.

අත්දැකීම් සපිරි දැනට අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ වයස්ගතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස එක්දින ජාත්‍යන්තර පිටියේ අංක එක හිමි මොහොමඩ් නබී ඔවුන් සතුවිය. ෆසාල්හක් ෆාරුකී ලෝකයේ හොඳම විස්සයි 20 පන්දු යවන්නන් 15 දෙනා අතර සිටින්නේය. මොහොමඩ් නබී විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල 04 වන තැන පසුවන ක්‍රීඩකයා ය. වනිඳු හසරංග සිටියේ ඔහුට වඩා අංක 05ක් පහළිනි.

ශ්‍රී ලංකාව විසින් පරාජය කරන ලද ඇෆ්ගනිස්තාන කණ්ඩායම සුළු පටු කණ්ඩායමක් නොවේ. ලොවේ ඕනෑම තැනක ප්‍රතිවාදීන්ට මහත් සටනක් දිය හැකි ඔවුහු වත්මන් ක්‍රිකට් පිටියේ තියුණු සටන්කාමීහු වෙති. අන්තර්ජාතික තලයේ දී මහා දැවැන්තයන් සොලවා දැමූ ඔවුන් සටන්කාමී ජවසම්පන්න කණ්ඩායමකි. මේ තරග සංචාරය ආරම්භ කරන විට ඇෆ්ගනිස්ථානය හිටියේ අපට වඩා බොහෝ ඉහළිනි. ඔවුන් ලංකාවට එන්නේ ඉන්දියාවේ සංචාරය කර ඉන්දියානු කණ්ඩායමට එරෙහිව සුපිරි ක්‍රීඩාවක් කරමිනි. අප තරග වැදුනේ ලෝකයේ අංක එකේ එක් දින තුන් ඉරියව් ක්‍රීඩකයා සිටි කණ්ඩායම සමගය. ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටිනා ක්‍රීඩකයන් තිදෙනෙක් සහිත කණඩායමක් සමගය.

විස්සයි 20 අන්තර්ජාතික පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වලදී මුල් පිතිකරුවන් 20 දෙනා අතරට අපේ ක්‍රීඩකයෙක් නැත. නමුත් ඇෆ්ගනිස්තාන නොම්බර 02 පිතිකරු වූ රහ්මනුල්ලා ගුර්බාස් 19 වැනි තැන සිටින්නේය. අපේ පිතිකරුවන් සියල්ලන්ම ඉන්නේ ඔහුට පහළිනි. අපේ හොඳම පිතිකරු පැතුම් නිශ්ශංක සිටියේ ගුර්බාස්ට ස්ථාන 02ක් යටය.

හැනිබල් නෝ “නෝබෝල්”

සදාකාලිව තරග ජයගන්නට නොහැකිය. එසේ නම් ලබන පරාජය පිළිගත හැකි එකක් විය යුතුය. ගෞරවනීය එකක් විය යුතුය. සටන්කාමී පරාජයක් විය යුතුය. ක්‍රිකට් ලෝලීන් ඉල්ලන්නේ ජයග්‍රහණයම නොවේ. අවසන් තරගයේදී ශ්‍රී ලංකාව ලැබුවේ පරාජයක් වුවද එය ජයග්‍රහණයක් හා සමාන පරාජයකි. ලකුණු 209 ක ඉලක්කයක් යනු හීනෙකින්වත් හිතන්නට බැරිව සිටි ශ්‍රී ලංකාව අවසාන පන්දු වාර විස්සයි විස්ස තරගයේදී ලකුණු 03 ක් මෙපිටින් නවතින්නේ පිටියේ විනිසුරු හැනිබල් ගේ දුර්වල විනිශ්චයක ප්‍රතිඵල මතිනි. නිවැරදි විනිශ්චයක් ලැබුණේ නම් පන්දු වාර විස්සයි විස්ස තරගාවලිය ද ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි ජයක් උරුම වන්නට තිබුණි.

ප්‍රේක්ෂක රැල්ල

දඹුල්ලෙන් ඇරඹුණු ප්‍රේක්ෂක පුනරාගමනය

ක්‍රිකට් පිටියෙන් ඈතට යමින් සිටි ප්‍රේක්ෂකයෝ මේ ජයග්‍රහණ රැල්ලත් සමග ක්‍රිකට් වළල්ල තුළට යළි උද්යෝගයෙන් පැමිණෙමින් සිටිති. නැති වෙමින් පැවති ක්‍රිකට් එසේ නැගිටින විට දෙපයින් නැගී සිටි ප්‍රේක්ෂකයෝ දඹුල්ල ක්‍රීඩාංගණය අවට සැතපුම් ගණන් දිග පෝලිම් ගැසුණාහ. ගිනියම් අව්වේ අව් රැස් කමින් ඔවුන් පෝලිම්වල රැඳුණේ අපේ ක්‍රීඩකයන් අතීත ශ්‍රී ලංකා ක්‍රිකට් විභූතිය නැවත මහ පොළොවේ ඇති කරමින් සිටියදී ඔවුන්ට දිරි දීමටය. වෙනදා නොමිලේ තරග නරඹන්නටවත් ප්‍රේක්ෂකයන්ව හොයාගන්න බැරි වුණු රටක දඹුල්ල ක්‍රීඩාංගණයේ ප්‍රවේශපත්‍ර තරගයට දින තුන හතරකට පෙරම අලෙවි වීම අප ලැබූ කෙතරම් ජයග්‍රහණයක්ද? ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත යළි ජනී ජනයා මෙසේ එකතු වෙමින් සිටින්නේ පහුගිය ලෝක කුසලාන තරගාවලියට යැවූ කණ්ඩායමට වඩා දඹදිව වඳින්න ආච්චිලා නඩයක් යැව්වා නම් හොඳයි කියා වැඩි කාලයක් ගත වෙන්නට පෙරය. ඒ නිසා මෙසේ ලබමින් තිබෙන ජයග්‍රහණ තව නොබෝ කලකින් ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියටද මහත් පන්නරයකි.

තෝරා ගැනීමේ තරම

ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණයන් ලැබුවේ අමුතු හාස්කමකින් නොවන බවද සැබෑය. මේ ක්‍රීඩකයෝ වෙනත් ලොවකින් ගෙනැවිත් කණ්ඩායමට යෙදවූවෝද නොවෙති. අපට සිටි අයම අප දැන් කළමනාකරණය කරගෙන ඇත. එනම් නිසි තැන නිසි අයට ලබා දී ඇත. ඒ අනුව අතීතයේ සිදු වූ කුමක් හෝ වරදකින් ශ්‍රී ලංකාවට එම පරාජයන් උරුම වූයේද යන්නද දැන් ප්‍රශ්නයකි. එකල තිබූ තරුණ ප්‍රතිපත්ති ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඒ පරාජයේ උරුමයන් ගෙනාවේද යන්නද ප්‍රශ්නයකි. මේ ජයග්‍රහණ රැල්ලේ ආරම්භය ඇති වූ සිම්බාබ්වේට එරෙහි පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ වීරයා වූයේ මැතිව්ස් ය. එමෙන්ම ඇෆ්ගනිස්තානය සමග දෙවැනි පන්දුවාර විස්සයි විස්ස තරගයේ වීරයා වූයේද මැතිව්ස් ය. ලකුණු අවැසි මොහොතේ ඔහුගේ පිත්තෙන් එක පිට එල්ල වූ හයේ පහර තුනකි. අවැසි මොහොතේ ඔහුගෙන් කඩුලුද ලැබේ. මේ තේරීම් කමිටුව නොවන්නට මැතිව්ස් යළි 20-20 කණ්ඩායමේදී හෝ එක් දින ක්‍රිකට් පිටියේදී අපට බලන්නට හැකි වේදැයි අඩමාන තත්ත්වයක තිබුණි. එහෙත් වත්මන් කණ්ඩායම තෝරන්නෝ හරිමානයෙන් යුතුව කණ්ඩායම තේරූහ. කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතමයා වන මැතිව්ස් ගේ වචනවලින්ම නම් දැන් කණ්ඩායම සහ තෝරන්නෝ අතර හොඳ සබැඳියාවක් වේ. මැතිව්ස් එය විග්‍රහ කරන්නේ මෙසේය.

“ක්‍රීඩකයෝ නිදහසේ සෙල්ලම් කරද්දී එතැන ලොකු වෙනසක් පේනවා. ඔබ දන්නවා, අපට අවශ්‍ය වන්නේ එය බව. ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාවේදී සන්නිවේදනය ප්‍රධාන අංගයක්. තේරීම් කමිටුව, නායකයා, ක්‍රීඩකයන් සමඟ හොඳ සන්නිවේදනයක් සිදු කරන්නේ නම් මම හිතන්නේ ප්‍රතිඵලය අන් සියල්ලටම වඩා හොඳ වෙනවා. වෙනස්කම් ගැන අමතක කරන්න. පෞද්ගලික න්‍යාය පත්‍ර අමතක කරන්න. පළිගැනීම් අමතක කරන්න. එකතු වී ශ්‍රී ලංකා ජයග්‍රහණ ගැන සිතන්න කාලය උදා වෙලා. නව ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩකයන්ට විශාල විශ්වාසයක් ලබා දී තිබෙනවා. ඒ වගේම කණ්ඩායමේ නිසි සැලසුමක් තිබෙන බව පෙනෙනවා. මේ නිසි සැලසුම වැදගත්. තේරීම් කමිටුව මා සමඟ වගේම බොහෝ ක්‍රීඩකයන් සමඟ කතා කරනවා. අනාගතය සඳහා හොඳ සැලැස්මක් සකසා තියෙනවා. ඕනෑම තරගයක් ජයගත්තාම රටටත් කණ්ඩායමටත් හොඳයි. එයින් ක්‍රීඩකයන් තුළ විශ්වාසය වැඩි වෙනවා.”

මැතිව්ස් ඒ අදහස් ප්‍රකාශ කළේ දෙවැනි පන්දු වාර විස්සයි විස්ස තරගයේ ලකුණු 72 ක ජයග්‍රහණයක් ලැබීමෙන් පසුවය. 20-20 තරගයක ප්‍රතිවාදීන්ට එරෙහිව එවන් විශාල ජයග්‍රහණයක් ලැබීමද සුළු පටු දස්කමක් නොවේ. අප ඉහතින් කීවාක් මෙන් ලෝක කුසලාන තරගාවලියක් අභිමුව සංචිතය සඳහා හොඳම 16 දෙනෙක් තෝරා ගැනීමද මහත් අභියෝගයකි.

ආදේශකයන් අභියෝගයක් වීම

ඒ අනුව එක් දින සහ පන්දුවාර විස්සයි විස්ස අවසන් තරග දෙකේදීම ක්‍රීඩක ආදේශනයන් සිදුවිණි. ඒවායින් සිදුවූයේ කුමක්ද? හිටපු අයටත් අභියෝග වන තරමට ආදේශකයෝ දස්කම් පෑමය. මෙය නම් බලාපොරොත්තු ඉහළ නැගීමකි. වත්මන් ක්‍රිකට් උසස් කාර්ය සාධන අංශයේ ප්‍රධානියා වන සනත් ජයසූරිය ඔහු ක්‍රීඩා කරන කාලයේ ක්‍රීඩකයන් එක තරගයකින් හෝ ඉවත්වීමට අකැමැති වූයේ ඇයි ද යන්න පිළිබඳව මෙසේ ප්‍රකාශ කළේය.

සනත් කීවේ ඔවුන් ක්‍රීඩා කරන වකවානුවේ දී එක තරගයකින් හෝ ඩ්‍රොප් වීමට බය හිතෙන බවය. ලෙජෙන්ඩ්ස්ලා නැති බවත් තරගයක් හැලුනොත් ඒ තැන ගන්නට හැකි සුපිරි වැඩ්ඩන් එදා සිටි ආකාරයත් සනත් පැවසුවේය. කණ්ඩායමේ රැඳී සිටිය යුතු නම් කොන්දේසි නැතිව උපරිමය ලබා දිය යුතු බවට වන ඒ අතීත තියරිය යළිත් ආදේශ වනු දැකීමට අපිත් කැමතිය. මෙවර සිදුවූයේද එවැන්නකි.

අවසන් එක්දින තරගයේදී මහීෂ් තීක්ෂණ එළියේ තබා කණ්ඩායමට කැඳවූ අඛිල ධනංජය මහීෂ් තීක්ෂණ එළියේම තැබීමට බල කරන පන්දු යැවීමක නිරත වූයේය. හසරංග වෙනුවට කැඳවූ දුනිත් වෙල්ලාලගේ සිය වගකීම නියමෙටම කළේය. ප්‍රමෝද් මධුශාන් පන්දු ඕවර 8.2ක් යවා ලකුණු 45ට කඩුළු 03ක් බිඳහෙළුවේය. අසිත ප්‍රනාන්දු කැඳවූයේ ආබාධයට ලක් වූ දුෂ්මන්ත චමීර වෙනුවටය. ඔහු පන්දු ඕවර 9ක් යවා කඩුළු 02ක් ලබා ගත්තේය. අසිතගේ ආක්‍රමණශීලී මෙන්ම බුද්ධිමත් පන්දු යැවීම තමන් කණ්ඩායමේ සිටිය යුතුම ක්‍රීඩකයෙක් බව ඔහු තහවුරු කළේය. ධනංජය ද සිල්වා වෙනුවට අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගයට පැමිණි කමිදු මෙන්ඩිස්ගේ දක්ෂතා කෙසේ නම් අමතක කරන්නද?

ඒ අනුව අවසාන තරගයෙන් පසුව නායක වනිදු හසරංග පැවසූ පරිදි ශ්‍රී ලංකාවට දැන් තරග දිනවන කණ්ඩායමක් සිටී. පැරදුනත් ගෞරවනීය විදිහට පරදින්නට තරම් ශක්තියක් ඔවුන්ට ඇත. තවත් වැටෙන්නට තරම් තැනක් නොමැති තරම් පරාජය වූ ශ්‍රී ලංකාව මේ ලබා ගත් ජයග්‍රහණයේ රිද්මය පවත්වාගෙන යෑම ලෝක ශූර කණ්ඩායමක් ලෙස අපේ අතීත අභිමානය ජගත් පිටිය ඉදිරියේ ආරක්ෂා වීමට මහත් උපකාරී වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment