ඉතිහාස කතාව මෙන්න

ලොව වැඩිම රත්තරන් නිෂ්පාදනය කරන රට බවට දැන් චීනය පත්ව ඇතත් මීට වසර 16 කට පමණ උඩදී ලොව වැඩිම රන් නිෂ්පාදන “කප්” එක ගැසුවේ දකුණු අප්‍රිකාවයි. 1970 වසරේදී පමණක් ඔවුන් ගොඩ දැමූ රත්තරන්වල බර ටොන් 995 කි. අවුන්සවලින් ගත්තොත් එය මිලියන 32කි. ලෝක රත්තරන් නිෂ්පාදනයෙන් තුනෙන් දෙකක් ඔවුහු එවර නිපදවූහ.

2007 වසරෙන් පසුව දකුණු අප්‍රිකාව අභිබවා එක් එක් රටවල් රන් නිපැයුමේ කළ පෙරළි මගින් සිදු වූයේ ඔවුන් පියවර 6 ක් ඒ සටහනේ ආපස්සට යෑමය. ඒ අනුව ලොව රත්තරන් නිෂ්පාදනයේ හත්වන ස්ථානයට දැන් ඔවුන් පත්ව සිටී. එහෙත් රන් හා බැඳුණු දකුණා අප්‍රිකා කීර්තිනාමය තවමත් එලෙසම නොනැසී පවතී.

එසේ පසුවන ඔවුන් තව නොබෝ දිනකින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට “මැණික්” ඔපමට්ටම් කරන්න සූදානමින් සිටී. වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක බර දරමින් ඔවුහු ඊට සූදානම්ව සිටිති.

කොටින්ම ශ්‍රී ලංකාවට එල්ල වූ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම නිසා මෙරටේ සත්කාරකත්වයෙන් මිදුණු එම යොවුන් ලෝක කුසලාන තරගාවලිය නතර වූයේ ඒ ස්වර්ණ බිම තුළය. තව දින 5 කින් ලොව සතර දිග් භාගයේ යෞවන අංකුරයෝ ඒ ලෝක කුසලාන තරගාවලියේ සිය හැකියාව ප්‍රදර්ශනය කරනු ඇත. ජගත් ක්‍රිකට් පිටියට වැඩිම ක්‍රීඩකයන් පිරිසක් දායාද කරන තරගාවලිය වන ඒ දෙස දැන් සැමගේ අවධානය යොමු වී ඇත. 15 වන යොවුන් ලෝක කුසලාන තරගාවලිය ලෙස මෙවර පැවැත්වෙන එම තරගාවලියට පෙර පැවති අදියරයන් හා එහිදී ජාත්‍යන්තරයට දායාද වූ දක්ෂ ක්‍රීඩකයන් පිළිබඳ කෙටි සටහනක් මෙහි වේ.

යොවුන් ලෝක කුසලාන තරගාවලිය 1988 වසරේ දී ආරම්භ වූ අතර, මෙතෙක් පැවති අදියර 14 කදී ඉන්දියාව ඔවුන්ගේ නමට ශූරතා පහක් දිනා එහි පෙරමුණ ගෙන සිටී. ඔස්ට්‍රේලියාව (3), පාකිස්තානය (2), බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය ශූරතා එක බැගින් ජයග්‍රහණය කර ඇත. ක්‍රිකට් පිටියේ ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකාව සහ නවසීලන්තයට එහි මෙතෙක් ශූරතාවයක් හිමිකර ගැනීමට හැකිවී නොමැත.

1988 (ජයග්‍රාහකයන් : ඔස්ට්‍රේලියාව)

රත්තරන් බිමේ ක්‍රිකට් මැණික් ඔප මට්ටම් කිරීම ඇරඹේ

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ සමාරම්භක තරගාවලිය එය විය. මෙම තරගාවලිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජික රටවල් 8ක් සහභාගි විය.

සත්කාරක ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයේදී පාකිස්තානය කඩුලු 5කින් පරාජය කරමින් සමාරම්භක තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය නම ජාත්‍යන්තරය හඳුනා ගත්තේ එම සමාරම්භක තරගාවලියේදීය.

1988 කැපී පෙනුණු ජාත්‍යන්තර තරු:

නසාර් හුසේන්, මයිකල් ඇතර්ටන්, ක්‍රිස් කෙයාන්ස්, මුෂ්ටාක් අහමඩ්, සනත් ජයසූරිය, බ්‍රයන් ලාරා.

1998 (ජයග්‍රාහකයන් : එංගලන්තය)

1988 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තවත් තරගාවලියක් ක්‍රීඩා කිරීමට වසර 10 ක් ගත වූයේය. ඒ අනුව පළමු වරට අයිසීසී තරගාවලියකට සත්කාරකත්වය ලබා දෙමින් දකුණු අප්‍රිකාවේදී තරගාවලිය පැවැත්විණි. තරගාවලියට කණ්ඩායම් 16ක් සහභාගි විය.

ක්‍රිස් ගේල් වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් සිය සලකුණ ජාත්‍යන්තරය හමුවේ තැබුවේ එම තරගාවලියේදීය. ජොහැන්නස්බර්ග්හි වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේදී නවසීලන්තයට එරෙහිව කඩුලු 7ක ජයක් අත්කර ගැනීමට එංගලන්තය සමත් වූ අතර එය මේ දක්වා ඔවුන්ගේ මංගල සහ එකම යොවුන් ලෝක කුසලාන ජයග්‍රහණය වේ.

1998 කැපී පෙනුණු ජාත්‍යන්තර තරු:

ග්‍රෙහැම් ස්වොන්, විරේන්ද්‍ර ශෙවාග්, හර්බජාන් සිං, කොලින්ස් ඔබුයා, කයිල් මිල්ස්, ඉම්රාන් තහීර්, ශොයෙබ් මලික්, ක්‍රිස් ගේල්, රම්නරේශ් සර්වාන්

2000 (ජයග්‍රාහකයන් : ඉන්දියාව)

තරගාවලියේ තුන්වන අදියර ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දැරූ අතර එහිදී අසල්වැසි ඉන්දියාව පළමු වරට කුසලානය ජය ගත්තේය. අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 6 ක ජයග්‍රහණයක් ලැබූ ඉන්දියාව එහි ශූරතාවයට හිමිකම් කීය.

යුවරාජ් සිං තරගාවලියේ ක්‍රීඩකයා ලෙස නම් කෙරුණු අතර දකුණු අප්‍රිකාවේ ග්‍රේම් ස්මිත් වැඩිම ලකුණු ලාභියා බවට පත් විය.

2000 කැපී පෙනුණු ජාත්‍යන්තර තරු:

මයිකල් ක්ලාක්, මිචෙල් ජොන්සන්, ෂේන් වොට්සන්, ඉයන් බෙල්, යුවරාජ් සිං, නීල් ඕබ්‍රයන්, බ්‍රෙන්ඩන් මැකලම්, ග්‍රේම් ස්මිත්, ජොනතන් ට්‍රොට්, ටැටෙන්ඩා ටයිබු.

2002 (ජයග්‍රාහකයන් : ඔස්ට්‍රේලියාව)

ප්‍රථම වරට දෙවරක් ශූරයන් බවට පත් වූ රට බවට ඔස්ට්‍රේලියාව එවර පත් විය. තම ආධිපත්‍යය ප්‍රදර්ශනය කරමින් ඔස්ට්‍රේලියාව තරගාවලිය පුරා අපරාජිත වාර්තාවක් පවත්වාගෙන ගිය අතර අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 7ක ජයක් වාර්තා කරමින් සිය ජයග්‍රහණය තහවුරු කළේය.

සිම්බාබ්වේ කණ්ඩායමේ ටටෙන්ඩා ටයිබු තරගාවලියේ ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූ අතර ඔස්ට්‍රේලියානු නායක කැමරන් වයිට් වැඩිම ලකුණු ලාභියා බවට පත් විය. වත්මන් ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති උපුල් තරංග ජාත්‍යන්තරය හමුවේ කැපී පෙනුණු පළමු තරගාවලියද එය විය.

2002 කැපී පෙනුණු ජාත්‍යන්තර තරු:

හසීම් අම්ලා, රොස් ටේලර්, කමරන් වයිට්, ජෝර්ජ් බේලි, මශ්රු රෆී මොර්ටාසා, උමාර් ගුල්, සුරේෂ් රයිනා, උපුල් තරංග, ඩිවේන් බ්‍රාවෝ, ඩැරන් සැමී

2004 (ජයග්‍රාහකයන්: පකිස්තානය)

රත්තරන් බිමේ ක්‍රිකට් මැණික් ඔප මට්ටම් කිරීම ඇරඹේ

බංග්ලාදේශයේ සත්කාරකත්වය දරමින් පැවති එම තරගාවලියේ අවසන් මහා තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල පරදවා ශූරතාව දිනාගත් පාකිස්තානය පළමු වරට කුසලානය අතට ගත්තේය.

ඉන්දියාවේ ශිකර් ධවාන් වැඩිම ලකුණු ලාභියා මෙන්ම තරගාවලියේ වීරයා ලෙසින් නම් කෙරිණි. ඇන්ජලෝ මැතිව්ස් තරගාවලියේදී කැපී පෙනුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයා විය.

2004 දී කැපී පෙනුණු ජාත්‍යන්තර තරු:

සිකර් දවාන්, ඇලෙස්ටයාර් කුක්, ඇන්ජලෝ මැතිව්ස්, වර්නන් පිලෙන්ඩර්, ඔයින් මෝගන්, වහාබ් රියාස්, ක්‍රේග් අර්වින්

2006 (ජයග්‍රාහකයන්: පකිස්තානය)

කොළඹදී පැවැති අවසන් මහා තරගයේදී පරම ප්‍රතිවාදී ඉන්දියාව පරාජය කරමින් 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය සාර්ථකව රැකගත් පළමු කණ්ඩායම බවට පාකිස්තානය ඉතිහාසගත ජයග්‍රහණයක් වාර්තා කළේය.

අවසන් මහා තරගයේදී ඉන්දියාවට ලකුණු 110ක ඉලක්කයක් තැබීමෙන් පසු පාකිස්තානයට කිසිදු අවස්ථාවක් නොලැබුණි. කෙසේ වෙතත්, ඔවුන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර, පළමු කඩුලු 6 ලකුණු 9ක් තුළ බිඳ වැටෙද්දී ඉන්දීය බලාපොරොත්තු සුන් වී ගියේය.

චෙටේෂ්වර් පුජාරා තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා සහ ක්‍රීඩකයා විය.

2006 දී කැපී පෙනුණු ජාත්‍යන්තර තරු:

ඒරන් ෆින්ච්, උස්මන් කවාජා, ඩේවිඩ් වෝනර්, මුෂ්ෆිකාර් රහීම්, රවීන්ද්‍ර ජඩේජ, ටමීම් ඉක්බාල්, රෝහිත් ශර්මා, ටිම් සවුදි, ඩීන් එල්ගාර්, කීරන් පොලාඩ්.

2008 (ජයග්‍රාහකයන්: ඉන්දියාව)

2006 වසරේ පරාජයේ වේදනාව අකාමකා දමමින් 2008 වසරේ විරාත් කෝලිගේ නායකත්වයෙන් දෙවැනි වරටත් කුසලානය අතට ගැනීමට ඉන්දියාව සමත් විය. අවසාන මහා තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 12 කින් පරාජය කළ ඉන්දියාව තරගාවලියේ අපරාජිතව සිටියේය.

2008 ලෝක කුසලානය නූතනයේ ප්‍රබල පිතිකරුවන් තිදෙනකු වන කෝලි, විලියම්සන් සහ ස්මිත් ඉස්මතු වූ තරගාවලිය වේ. එසේම ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් ද එම තරගාවලියේදී කැපී පෙනුණි.

2008 කැපී පෙනුණු ජාත්‍යන්තර තරු:

ජොස් හේස්ල්වුඩ්, විරාත් කෝලි, ස්ටීව් ස්මිත්, කේන් විලියම්සන්, ශාන් මසූඩ්, කුසල් පෙරේරා, ඩැරන් බ්‍රාවෝ

2010 (ජයග්‍රාහකයන්: ඔස්ට්‍රේලියාව)

රත්තරන් බිමේ ක්‍රිකට් මැණික් ඔප මට්ටම් කිරීම ඇරඹේ

2002 දී සිදු වූ දේ නැවතත් කරමින්, අසල්වැසි නවසීලන්තය විසින් සත්කාරකත්වය දරන ලද ලෝක කුසලාන තරගාවලිය ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය.

එම අවසන් මහා තරගයේදී අඩු ලකුණු සංඛ්‍යාවක් හිමි වූ අතර, ජෝෂ් හේසල්වුඩ් කඩුලු 4ක් දවාලීමත් සමඟ මිචෙල් මාෂ්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියාව පාකිස්තානයට එරෙහිව ලකුණු 208 ක ඉලක්කයක් ආරක්ෂා කර ගැනීමට සමත් විය.

මෙම තරගාවලිය ඇෆ්ගනිස්ථානයේ 19 න් පහළ මංගල තරගයද සනිටුහන් කළේය.

2010 කැපී පෙනුණු ජාත්‍යන්තර තරු:

හෂ්මතුල්ලා ෂාහිඩි, ජොස් බට්ලර්, ජෝ රූට්, බෙන් ස්ටෝක්ස්, කේ.එල්. රාහුල්, මිචෙල් මාෂ්, ඇඩම් සම්පා, ටොම් ලැතම්, බබාර් අසාම්, ජේසන් හෝල්ඩර්

2012 (ජයග්‍රාහකයන්: ඉන්දියාව)

2012 ලෝක කුසලානය තරගාවලිය එහි සමාරම්භක තරගාවලියෙන් පසු ප්‍රථම වතාවට නැවත ඔස්ට්‍රේලියාවට පැමිණියේය.

ක්වීන්ස්ලන්තයේ පැවැති අවසන් මහා තරගයේදී සත්කාරක රට වන ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 6ක ජයක් අත්කර ගත් ඉන්දියාව ඔවුන්ගේ තෙවැනි 19 න් පහළ ලෝක කුසලාන ජයග්‍රහණය සනිටුහන් කළේය.

2012 කැපී පෙනුණු ජාත්‍යන්තර තරු:

ට්‍රැවිස් හෙඩ්, ඉමාම්-උල්-හක්, ඉෂ් සෝදි, අකේල් හොසේන්, රයන් බර්ල්, ලිටන් දාස්, ටස්කින් අහමඩ්, ජෙරාඩ් ඉරැස්මස්.

2014 (ජයග්‍රාහකයන්: දකුණු අප්‍රිකාව)

දකුණු අප්‍රිකාව ඔවුන්ගේ පළමු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන ශූරතාව 2014 වසරේදී උදාකර ගත්තේය. ඒ අපරාජිත ගමනකිනි. ඔවුන් ඩුබායිහිදී පාකිස්තානය කඩුලු 6කින් පරාජය කරමින් කුසලානය අතට ගැනීමට සමත් විය.

ඒඩ්න් මාක්‍රම් අවසන් මහා තරගයේදී ලකුණු 66ක් ලබාගත් අතර තරගාවලියේ ක්‍රීඩකයා ලෙස ද නම් කෙරිණි.

කගිසෝ රබාඩා ඉහළ දක්ෂතා ඇති පන්දු යවන්නකු ලෙස ඉස්මතු වූ අතර අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 25 කට කඩුලු හයක් දවා ගත්තේය. ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ජාත්‍යන්තරය හමුවේ එම තරගාවලියේදී කැපී පෙනිණි.

2014 කැපී පෙනුණු ජාත්‍යන්තර තරු:

ශ්‍රෙයාස් අයියර්, කුල්දීප් යාදේව්, ඒඩ්න් මාක්‍රම්, කාගිසෝ රබාඩා, කුසල් මෙන්ඩිස්, නිකොලස් පූරන්

2016 (ජයග්‍රාහකයන්: බටහිර ඉන්දීය කොදෙව්)

රත්තරන් බිමේ ක්‍රිකට් මැණික් ඔප මට්ටම් කිරීම ඇරඹේ
සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම

2016 අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය 2004 වසරෙන් පසු ප්‍රථම වරට බංග්ලාදේශයට පැමිණියේය.

බංග්ලාදේශයට සහ නැමීබියාවට එරෙහිව විස්මිත පරාජයන්ට ගොදුරු වෙමින් දකුණු අප්‍රිකාව කණ්ඩායම් අදියරේදී අනපේක්ෂිත ලෙස ඉවත්ව ගියේය.

අවසන් තරගයට බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාව ඇතුළත් වූ අතර, බටහිර ඉන්දීය කොදෙව්වන් ඔවුන්ගේ පළමු 19 න් පහළ ලෝක කුසලාන ශූරතාවය ඩකාහිදී කඩුලු පහක ජයග්‍රහණයක් සමගින් ලබා ගත්තේය. ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සිය දඟ පන්දුවේ සවිය ජාත්‍යන්තය හමුවේ ප්‍රදර්ශනය කිරීම ඇරඹුණේ එම තරගාවලියෙනි.

2016 කැපී පෙනුණු ජාත්‍යන්තර තරු:

මෙහෙදි හසන් මිරාස්, රශීඩ් ඛාන්, වනිදු හසරංග, රචින් රවීන්ද්‍ර, ජොස් ලිට්ල්, රිශාබ් පාන්ට්, සෑම් කරන්

2018 (ජයග්‍රාහකයන්: ඉන්දියාව)

නවසීලන්තය 2002 සහ 2010 දී තරගාවලිය පවත්වා තිබූ අතර තුන් වතාවක් ලෝක කුසලානයේ සත්කාරකත්වය දැරූ පළමු රට බවට මෙවර සත්කාරකත්වය දරමින් පත් විය.

අවසන් තරගයේදී ඉන්දියාව කඩුලු 8කින් ඔස්ට්‍රේලියාව පරදවා හතර වතාවක් ශූරයන් බවට පත් වූ අතර එය ඕනෑම කණ්ඩායමක් විසින් වැඩිම වතාවක් ශූරතාවය දිනූ අවස්ථාව වේ.

2018 කැපී පෙනුණු ජාත්‍යන්තර තරු:

ශුබ්මන් ගිල්, නවීන් උල්හක්, රහමහ්නුල්ලා ගුර්බාස්, ශහීන් අෆ්රිඩි, හැරී ටෙක්ටර්, මුජීබ් උර් රහමන්

2020 (ජයග්‍රාහකයන්: බංග්ලාදේශය)

2020 වසරේ පැවති 19 න් පහළ ලෝක කුසලානය බංග්ලාදේශය ඕනෑම මට්ටමකින් අයිසීසී ඉසව්වකදී ඔවුන් ලබාගත් පළමු ජයග්‍රහණය වේ.

තරගාවලිය අතරතුරදී 19 න් පහළ මට්ටමින් ජයග්‍රහණ 200 ක් ඉක්මවා ගිය පළමු සහ එකම කණ්ඩායම වීමේ ගෞරවය ඉන්දියාව අත්කර ගත්තේය.

කෙසේ වෙතත්, අවසන් මහා තරගය දිනයේදී බංගලිදේශය ඉන්දියාවට එරෙහිව කඩුලු තුනක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූයේය. ශ්‍රී ලංකාවේ මතීශ පතිරණගේ අසාමාන්‍ය පන්දු යැවීම ජාත්‍යන්තරය හමුවේ කැපී පෙනෙන ලෙස පළමුව ප්‍රදර්ශනය වූයේ එම
තරගාවලියේදීය.

2020 කැපී පෙනුණු ජාත්‍යන්තර තරු:

නූර් අහමඩ්, ෆසාල්හක් ෆාරුකි, තන්වීර් සිං, මහමුදුල් හසන් ජෝයි, යෂස්වි ජයිස්වාල්, රවී බිෂ්නෝයි, මොහොමඩ් වසීම්, මතීෂ පතිරණ, ජේඩන් සීල්ස්.

රත්තරන් බිමේ ක්‍රිකට් මැණික් ඔප මට්ටම් කිරීම ඇරඹේ

2022 (ජයග්‍රාහකයන්: ඉන්දියාව)

බටහිර ඉන්දීය කොදෙව් දූපත් ඉතිහාසයේ ප්‍රථම වතාවට 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සත්කාරකත්වය ලබා දුන්නේ මෙම වසරේදීය.

තරගාවලියේ කැපී පෙනෙන සිදුවීමක් වූයේ ඇෆ්ගනිස්තානය මූලික වටය පසු කර පළමු වරට සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමයි.

ඉන්දියාවට ඔවුන්ගේ පස්වන 19 න් පහළ ලෝක කුසලාන ජයග්‍රහණය එහිදී හිමි විය. ශ්‍රී ලංකා නායකත්වය දරමින් දුනිත් වෙල්ලාලගේ එවර ප්‍රදර්ශනය කළ දක්ෂතා ජාත්‍යන්තර විචාරකයන්ගේ මහත් අගය කිරීමට ලක් විය.

2022 කැපී පෙනුණු ජාත්‍යන්තර තරු:

දුනිත් වෙල්ලාලගේ, ඩේවල්ඩ් බ්‍රවේස්, ටැන්සිම් හසන් සකිබ්, රෙහාන් අහමඩ්

අයිසීසී වාර්තා ඇසුරිණි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment