කඩුලු දෙසීයෙන් සැරසුණු වනිඳු පල්ලෙකැලේ තුන් ඉරියව්වෙන්ම සරසයි

475

විස්සයි – 20 තරග දිවියේ කඩුලු 200 ක් වාර්තා කිරීමට සමත්වීම හේතුවෙන් විශේෂ ටී ෂර්ටයකින් සැරසී පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට අවතීර්ණ වූ බී ලව් කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග ගෝල් ටයිටෑන්ස් පිලට එරෙහිව විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කරමින් තම කණ්ඩායම ඊයේ (08 වැනිදා) ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

මෙවර එල්පීඑල් තරගාවලියේ 12 වෙනි තරගය වූ එම තරගයේ ඔහු දැක්වූ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් තරගයේ වීරයා සම්මානය ද හිමි කර ගත්තේය.

මෙම ජයග්‍රහණයත් සමග මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පත්වීමට බී ලව් කැන්ඩි කණ්ඩායමට හැකි විය.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් බී ලව් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 5 ක් දැවී ලකුණු 203 ක් ලබා ගත් අතර ගෝල් ටයිටෑන්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 114ක් පමණි.

කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් පන්දු 27 කදී වේගවත් ලකුණු 64 ක් ලැබූ වනිඳු ඒ සඳහා හතරේ පහර 9 ක් සහ 6 පහර දෙකක් එල්ල කළ අතර වනිඳුගේ එම ඉනිමේ ප්‍රහාරාත්මක වේගය 230 ද ඉක්මවීය.

පන්දු 18 කින් ඔහු එහිදී තම අර්ධ ශතකය වාර්තා කළ අතර එම අර්ධ ශතකය මෙවර තරගාවලියේ මෙතෙක් වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකය වේ.

අංක 5 පිතිකරු ලෙස පිටියට පැමිණි වනිඳු ඇන්ජලෝ මැතිව්ස් සමග එක්ව 4 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

මැතිව්ස් පන්දු 23 කදී ලකුණු 40 ක් ලබාගත් අතර ඊට හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් විය.

පන්දු යැවීමේදී යළිත් සිය සුපුරුදු දස්කම් අතරට පැමිණි වනිඳු ලසිත් කෲස්පුල්ලේ සහ ශකීබ් අල් හසන්ගේ කඩුලු දවා ගෙන තරගය ජය මාවතට ගෙන ආ අතර අනතුරුව බ්‍රසේ ශම්සි සහ රිචඩ් නගර්වාට ලකුණු ලබා ගන්නට ඉඩ නොදීම දවා ගත්තේය.

වනිඳුගේ පන්දු යැවීම ලකුණු 17 කට කඩුලු 4 ක් ලෙසින් සටහන් වූයේය.

මෙම කඩුලු 4 ත් සමග මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාට හිමි ඔරෙන්ජ් හිස් වැස්ම ද වනිඳුට හිමි වූ අතර ඔහු තරග 5 කදී කඩුලු 8 ක් දවා ගෙන ඇත.

වනිඳු මේ දක්වා විස්සයි – 20 තරග 152 කට සහභාගි වී කඩුලු 203 ක් බිඳ හෙළා ඇති අතර විස්සයි – 20 ජාත්‍යන්තර තරග 58 කට ක්‍රීඩා කර ඇති ඔහුගේ නම ඉදිරියෙන් ජාත්‍යන්තර කඩුලු 91 ක් සටහන් වෙයි.

පසුගිය 05 වැනිදා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී පන්දුවාර 4 ලකුණු 09 කට සීමා කරමින් කඩුලු 3 ක් දවා ගැනීමට වනිඳු සමත් වූ අතර එහිදී මහීෂ් තීක්ෂණගේ කඩුල්ල දවා ගැනීමත් සමග සිය 200 වැනි විස්සයි – 20 කඩුල්ල දවා ගත්තේය.

මේ අතර එල්පීඑල් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස පළමු තරග 12 අවසානයේ පෙරමුණේ පසුවීමට කළම්ඹු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බාබර් අසාම් සමත් වූයේය.

ඔහු තරඟ හතරකට පමණක් මුහුණ දී ලකුණු 211 ක් ලබා වැඩිම ලකුණු ලාභියාට හිමිවන ග්‍රීන් හිස් වැස්ම පැළඳ සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment