ඇමැතිගේ වගකීම පැය 24ම විදුලිය දීමයි – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික

79

‘ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා සේ’ ඉහළ යන ජීවන බර හමුවේ පීඩිතව සිටින මහජනයා මත නැවත විදුලි බිලේ බරත් පැටවෙන සේයාවන් දිස්වේ. පසුගිය සතියේ විදුලි බිල වැඩිකිරීමේ යෝජනාවන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළද, ඒ ගැන තීරණයක් ගැනීමට හෙටින් එළැඹෙන සතියට කල් තැබුණි. මෙවර යෝජිත විදුලි බිලේ වැඩිම බරක් පැටවෙන්නේ අඩු විදුලි ඒකක ප්‍රමාණයක් භාවිත කරන පාරිභෝගිකයන් වෙතය. අප ඒ පිළිබඳව මෙන්ම වර්තමාන සමාජ, ආර්ථික, දේශපාලන වියවුල ගැන විමසුවේ බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණිකයෙක්ම මෙන්ම හිටපු විදුලිබල ඇමැතිවරයෙක් වූ 43 කණ්ඩායමේ නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගෙනි.

ප්‍රශ්නය – ආණ්ඩුව විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණය මදක් පමා කළත් බිල ඉහළ දැමීමේ වැඩි ප්‍රවණතාවක් තමයි පවතින්නේ. ඇත්තටම මේ වෙලාවෙ විදුලි බිල වැඩි කළ යුතු ද?

පිළිතුර – විදුලි බල මණ්ඩලයේ දෛනික වියදම්, පරිපාලන වියදම් පාලනය කරගත හැකි තත්ත්වයකට අගෝස්තු මාසයේ කළ විදුලි බිල වැඩිකිරීමෙන් හැකිවෙලා තිබෙනවා. නමුත් විදුලිබල මණ්ඩලයේ පරණ ණය, බැංකු පොලී ආදී වියදම් ඒකෙන් ආවරණය වෙලා නෑ. ඒක ඇත්ත. දැන් තියෙන ප්‍රශ්නය විදුලිබල මණ්ඩලය පරණ වියදම් ඔක්කොම විදුලි බිලෙන් ආවරණය කරන්නට යෑම. එය නම් ජනතාවගේ පැත්තෙන් කිසිසේත් යුක්තිසහගත වෙන්නෙ නෑ.

ඇත්තටම අපේ තෙල් මිල ගත්තොත් අන්තර්ජාතික තෙල් මිල නියෝජනය කරන්නෙ නැහැ. අන්තර් ජාතික වෙළෙඳපොළේ ඩොලර් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80යි. මේ බදු බර, බඩු මිල වගේ දේවල් එක්ක තව විදුලි බිල වැඩිවීමක් මිනිසුන්ට දරාගන්න බැහැ. ඒක නිසා ලංකා විදුලි බල මණ්ඩලය දැනට දීල තියෙන මිල සංශෝධනය යටතේ කටයුතු කරන්න ඕන. එහෙම කරල තමන්ගේ පරණ ණය ගෙවාගන්න වෙනත් විකල්ප සොයාගන්න ඕන.

තෙල් සංස්ථාව කරන්නෙත් ඒකනේ. පරණ ණය ගෙවීමේ බර මිනිස්සු මත දාල. ඒ දේවල්වල වැරැද්දක් තියෙනවා. මහා භාණ්ඩාගාරය තෙල් සංස්ථාවෙන් අධික බදු අය කළා. තෙල් සංස්ථාවට ඒව ගෙවන්න ණය වෙන්න වුණා. ඒ විදිහට හැදුණු විෂම චක්‍රයක් තියෙනව. ඒක අපි පිළිගන්න ඕන. තෙල් සංස්ථාවට කරන්න බැරිවෙද්දි රාජ්‍ය බැංකු දෙකට ණය වුණා. බැංකු දෙක ණය වෙද්දි ඒකෙ ණය පියවන්න මහ බැංකුව මැදිහත් වුණා. ඊළඟට අද වෙද්දි මේ විෂම චක්‍රය නිසා බැංකු පද්ධතිය අභියෝගයට ලක්වෙලා. ඔක්කොම ඇත්ත. බැංකුවල බර සම්පූර්ණ විදුලි පාරිභෝගිකයන්ගෙන් වගේම තෙල් පාරිභෝගිකයන්ගෙන් ගන්න යෑම වැරැදියි. මොකද බැංකුවලට තියෙන 10%කට 15%කට වැඩියෙන් අය කර නොගත් ණය. ඒක රුපියල් බිලියන 215ක් විතර. පළමුවෙන් බැංකු පද්ධතිය ස්ථාවර කර ගැනීම සඳහා ඒ ගෙවීම් පැහැරහැරි ණය අයකර ගැනීමට කටයුතු කළ යුතු වෙනව. එසේ නොකර බිල ඉහළ දමා ජනතාවට බර පැටවීම නොකළ යුත්තක්.

ප්‍රශ්නය – යෝජිත විදුලි සංශෝධනය අනුව ඒකක 180ට වඩා අඩුවෙන් විදුලිය භාවිතා කරන විදුලි පාරිභෝගිකයන්ගේ ගාස්තු විශාල ලෙස ඉහළ දමා ඇති බව සඳහන්. ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්න වගේ සිද්ධියක් වෙන්න යන බව පේනවා..

පිළිතුර – විවිධාකාරයේ විදුලි පාරිභෝගිකයො පනස් හත් ලක්ෂයක් ඉන්නවා. ඒ අය මේ ඩීසල් බාලාගාර විදුලි ජනනය සම්බන්ධයෙන් වගකිව යුතු නැහැ. ඒකට වගකියන්න ඕන ඒකක 300ට වඩා වැඩියෙන් පාවිච්චි කරන පාරිභෝගිකයෝ. ඒ නිසා ගාස්තු වැඩි විය යුත්තේ වැඩියෙන් විදුලිය පාවිච්චි කරන පාරිභෝගිකයන්ට. හැබැයි මේ දැන් කරන්න යන විදුලි බිල සංශෝධනයේදී ඒ අයට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. කිසිම බරක් නෑ. ඒ නිසා ඒ මේක එක පැත්තකින් අවිද්‍යානුකූලයි. අනෙක මේක සමාජමය වශයෙන් ගත්තාම යුක්තිසහගත බවේ මූලධර්මවලට විරුද්ධයි.

ප්‍රශ්නය – රටේ නිෂ්පාදන ක්ෂේත්‍රයත් අර්බුදයට යෑම මේ තුළින් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

පිළිතුර – ඔව්. කොහොමත් මේ වසරේ ඒ ක්ෂේත්‍රය අර්බුදයට යන්න නියමිතයි. ඒය දැනටමත් ලොකු ප්‍රශ්න ගණනාවකට මුහුණදී තියෙන්නේ. විදුලිබිල, ඉන්ධන මිල, බැංකු පොලී අනුපාත, බදු මේ කියන හැම ආකාරයෙන්ම මේව අර්බුදයට ගිහින්. මේ වෙද්දි ව්‍යාපාර ගණනාවක්ම නූලෙන් එල්ලිලා ඉන්නෙ. ඒක හොඳට පැහැදිලියි. ලංකා විදුලිබල මණ්ඩලයේ 2021-2022 සංඛ්‍යා ලේඛන අරගෙන බලද්දි ඉහළ ගණයේ ව්‍යාපාරවල විදුලි ඉල්ලුම 19%කින් විතර අඩුවෙලා තියෙනව. ඒ කියන්නෙ කර්මාන්ත වැහිල. විදුලි තවත් ඉහළ ගිහොත් වෙනත් සාධක මත වැහෙමින් තියෙන කර්මාන්ත වැහෙන්න ඒක තව උත්තේජනයක් වෙනවා. ඔච්චරයි වෙන්නෙ. ඒ නිසා එහෙම වුණොත් මුළු ආර්ථිකයම නැවත වතාවත් නාය යෑමකට ලක්වෙනව බැංකු පද්ධතියත් එක්කම. ඒ නිසා ආර්ථිකයේ වෙනත් තැන්වල ඇතිවෙලා තියෙන ප්‍රශ්න, ඒ කියන්නෙ මූල්‍ය කළමනාකරණයේ තියෙන ප්‍රශ්න විදුලි පාරිභෝගිකයන්ගෙන් පියවන්න යන එක සාධාරණ නෑ.

ප්‍රශ්නය – විදුලි බිල වැඩි නොකළොත් පැය අටක විදුලි කප්පාදුවකට සූදානම් වෙන්න කියල විදුලි බල ඇමැතිවරයා අනතුරු අඟවනවා…

පිළිතුර – විදුලි බල ඇමැතිට ලයිට් කපනව කියල එහෙම කියන්න පුළුවන්ද? ඔහුට වගකීම දීල තියෙන්නෙ පැය 24ම විදුලිය දෙන්නනෙ. එහෙම කියන්න වෙන්නෙ ජනන විදයම් පියවගන්න බැරිවුණොත්. මම මුලින්ම කිව්ව වගේ ජනන වියදම පියවා ගැනීමේ කිසිම අර්බුදයක් නෑ. අනෙක මේ වෙද්දි ලෝක වෙළෙඳපොළේ ගල් අඟුරු මිල අඩුවෙලා. කොහොම වුණත් පරණ අලාභයන්ට දේශපාලනඥයෝ වගකියන්න ඕන. මම යහපාලන කාලයේ මිල සූත්‍රයක් යෝජනා කළත් ඒක ක්‍රියාත්මක වුණේ නෑ.

ප්‍රශ්නය – විදුලි බල ඇමැතිවරයයි, මහජන උපයෝගීතා කොමිසමයි එකිනෙකාට චෝදනා කර ගනිමින් ඉන්නව. කොමිසම විදුලි බිල වැඩි කරන්න දෙන්නෙ නෑ කියල පැවැසුවත්, ඇමැතිතුමා නම් කියන්නෙ විදුලි බිල වැඩි කරනවාමයි කියල. මේකෙ අවසානය කොතැන ද?

පිළිතුර – කැබිනට් මණ්ඩලයට සහ ඇමැතිතුමාට පුළුවන් විදුලි බිලේ තියෙන්න ඕන ප්‍රතිපත්ති තීරණය කරන්න. උදාහරණයකට නිෂ්පාදන ක්ෂේත්‍රයට යම් සහනයක් දෙනව, ඒකක 180ට වැඩි අයගෙන් ඒකකයක මිල වැඩිකරනවා වගේ. හැබැයි විදුලිබිල ගැන අවසාන තීන්දුව ගන්න ඕන 2009 මහජන උපයෝගීතා කොමිසම් පනතට අනුව. එහෙම නැත්නම් ඒක නීති විරෝධීයි. පනතට අනුව විදුලිබල මණ්ඩලය තමන්ගේ ආදායම්, වියදම් ගැන තොරතුරු ලබාදිය යුතුයි මහජන උපයෝගීතා කොමිසමට. එතනදී එම කොමිසම මහජනයාත් එක්කත් සාකච්ඡා කරල තීරණ ගන්නෙ. එහෙම තමයි අගෝස්තු මාසයෙ වුණේ. හැබැයි එතනදි අඩු ඒකක ප්‍රමාණයක් පාවිච්චි කරන පාරිභෝගිකයන්ට වැඩි බරක් පටවල තිබුණ.

ප්‍රශ්නය – අගෝස්තු මාසයෙ සංශෝධනයේදීත්, දැනුත් වෙන අඩු විදුලි ඒකක පරිභෝජනය කරන පාරිභෝගිකයන්ම මේ විදිහට ඉලක්ක වෙන්නෙ ඇයි…?

පිළිතුර – ඒකක 180ට අඩුවෙන් පාවිච්චි කරන පාරිභෝගිකයන්ගෙන් රුපියල් බිලියන 110 ආදායම් ආණ්ඩුව බලාපොරොත්තු වෙනව. මේක ඇතුළෙ ඉන්නවා සමෘද්ධි සහනාධාර ලබන පවුල් දාහත් ලක්ෂය සහ දැනට අලුතෙන් දුගීභාවයට පත්වුණු පවුල් ලක්ෂ 11ක්. මේ අයගෙන් තව අමතර බිලියන 110ක් ගන්න තමයි හදන්නෙ. එතකොට සමෘද්ධියට සහ පොහොර සහනාධාරයට වියදම් කරන සල්ලියි දෙකම මේ හරහා ආණ්ඩුව ආපහු ගන්නව. මේ වගේ දුප්පත් මිලියන 5ක් පවුල් පද්ධතියකින් වාර්ෂික රුපියල් බිලියන 110ක් වැනි මුදලක් ඇද ගන්න ගියොත් ඒක මොනතරම් ඒ අයගෙ ආර්ථිකයට බලපායි ද?

ප්‍රශ්නය – ඔබ කියන්නෙ ආණ්ඩුව දකුණු අතින් දෙන සහනාධාර වම් අතින් ආපසු ගැනීමක් කරනවා කියලද?

පිළිතුර – ඔව්.. ඒ කටයුත්ත සම්පූර්ණයෙන්ම වැරැදියි. සමාජයේ ආරක්ෂා කරන ඕන කණ්ඩායමක් අති භයානක අනතුරක හෙළීමක් තමයි ඒ වෙන්නේ.

ප්‍රශ්නය – සාමාන්‍යයෙන් ලෝකයේ මට්ටමින් ගත්තාම විදුලි වියදම ආදායමෙන් 10%ක් කියල තමයි ගැනෙන්නෙ. ඒත් අපේ රටේ මේ වෙද්දි ඒක 30%ක් වගේ ඉහළ අගයක තියෙන බව වාර්තා වෙනව.

පිළිතුර – ඒකට සම්පූර්ණයෙන්ම විදුලිබල මණ්ඩලයම වගකිව යුතු නෑ. නමුත් විදුලි බල මණ්ඩලයටත් ඉලක්ක තිබිය යුතුයි. උදාහරණයකට ඔවුන්ගෙ විදුලි බල නාස්තියක් 10%ක පමණ. අඩුම තරමේ මේක 1%කින්වත් අඩුකර ගන්න වැඩපිළිවෙළක් තිබිය යුතුයි.

ප්‍රශ්නය – විදුලි බිලෙන් එහාට ගොස් කතා කළොත්, මේ වන විට රටේ ආර්ථිකය හසුරුවන ආකාරයෙන් ඉදිරි කාලයෙදී යම් සැනසුම් සුසුමක් හෙළන්න පුළුවන් තත්ත්වයක් තියෙනව ද? මොකද මහ බැංකු අධිපතිවරයා කියන්නෙ මේ වසරේ අග වෙද්දි ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට පැමිණෙන බව.

පිළිතුර – අපිට ගොඩඑන්න පුළුවන් වෙන්නෙ ජනතාවට ඇත්ත කියල, සියලු දේශපාලන පක්ෂවල එකඟතාවක් ඇතිකරගෙන වැඩ කළොත් විතරයි. රජය දැන් කරන්න ඕන දේ තමයි මේ දේශපාලන සභාපතිල, අධ්‍යක්ෂල අයින් කර බැංකු පද්ධතිය වෘත්තීයවේදී පිරිසක් අතට පත් කිරීම. විදුලි බල මණ්ඩලය සහ තෙල් සංස්ථාවටත් ඒක කරන්න ඕන. ඒ වගේම අපට වාර්තා වෙනව බෙහෙත් ගන්න ගියත්, පොහොර ගන්න ගියත්, ගල් අඟුරු ගන්න ගියත්, ගෑස් ගන්න ගියත් මහා දැවැන්ත වංචා වෙනවා. ඉතින් එහෙම අවිශ්වාසසහගත තත්ත්වයක මහජනයා ලෑස්ති නෑ රජයේ බිල් ගෙවන්න, රජය පැත්තෙන් කැපවීමක් කරන්නෙ නැතිව. ඒකයි මේ තියෙන්නෙ.

ප්‍රශ්නය – මේ හැම දේකම අවසානය මහජනයා දැඩි පීඩාවට පත්වීම. මේක කොතනින් නවතියි ද?

පිළිතුර – දැනටමත් අපේ ආර්ථිකය 11%කින් විතර සංකෝචනය වෙමින් තියෙනව. ලබන වසරේදි තවදුරටත් මේක සංකෝචනය වේවි. දැනටමත් ජනගහණයෙන් 26%ක් දුප්පත්භාවයට පත්වෙලා තියෙනව. කර්මාන්ත වැහීගෙන යනව අතිවිශාල වශයෙන්. කර්මාන්ත තුනෙන් එකකට අති විශාල අභියෝගයක් එල්ලවෙලා තියෙනව. මේ විදිහට යද්දි ආර්ථිකයේ විශාල ක්ෂේත්‍රයක් නාය යනව. ඒ නාය යද්දි බැංකු ක්ෂේත්‍රයත් නාය යයි. ඒ නිසා බැංකු පද්ධතිය ගලවා ගැනීම සහ විදුලි බල හා බල ශක්ති ක්ෂේත්‍ර දෙකට වෘත්තීය පිරිසක් පත්කිරීම අනිවාර්යයි.

ප්‍රශ්නය – මේ වෙද්දි විශාල වශයෙන් ශ්‍රී ලාංකිකයන් විදෙස් රැකියා සොයා යනවා. ඉන් විශාල බුද්ධිගලනයක් සිදු වෙමින් තිබෙනවා. මේ තත්ත්වයේ බරපතළ කම පිළිබඳ හරි තක්සේරුවක් කිසිවකුට නැති බවයි පේන්න තියෙන්නේ.

පිළිතුර – ජනතාව රටෙන් පළා යනව වගේම 2019 වුණා වගේ දේශපාලන සිහිනවලට ජනතාව රැවටෙමින් ඉන්නව. රජය මතක තියාගන්න ඕන දේ තමයි රටක් බංකොළොත් වුණාම එන අර්බුද එක රැල්ලකින් නිමාවෙන්නෙ නෑ කියල. රැලි පිට රැලි එනව. උදාහරණයකට ග්‍රීසිය ගත්තොත් පසුගිය අවුරුදු දෙකේ රැලි පිට රැලි ආව. ඒ නිසා අපිටත් ඒ අවදානම තියෙනව. ඒ නිසා මතක තියාගන්න ඕන තමන්ගේ දේශපාලන සුරක්ෂිතභාවය ගැන. විදුලිබලය සම්බන්ධයෙන් අනුගමනය කරන උද්ධච්ඡ ක්‍රියාපිළිවෙත මත මේ තත්ත්වය තවත් උග්‍රවෙනව. මහජනයාගේ කෝපය වෛරය, තවත් වැඩිවෙන ක්‍රියාදාමයකට යනව. ඒ නිසා රජය මහජනයා එක්ක එකඟවෙලා බැංකුවලට තියෙන ණය ප්‍රශ්න විසඳාගත යුතුයි. මෙහෙම ගියොත් රට මානව කාන්තාරයක් බවට පත්වෙයි. මේවට දේශපාලකයො, කූඨ නිලධාරී පැළැන්තියක් වගේම කූඨ ව්‍යාපාරික පැළැන්තියකුත් ඉන්නව, කූඨ ජනමාධ්‍ය පැළැන්තියකුත් ඉන්නව. මේ සියල්ලේ ප්‍රතිඵලයක් විදිහට අදක්‍ෂ, කළමනාකාරීත්වයක් දන්නෙ නැති පාලකයො විසින් ඇතිකරපු තත්ත්වයක් මේක. ඒ නිසා මේකට හැමෝම වගකියන්න ඕන. එහෙම නැතිව අපි නිදහස්, අපි රට පාලනය කළේ නෑ වගේ කතා කියල බේරෙන්න කාටවත් බෑ.

ප්‍රශ්නය – මේ පවතින අර්බුදය සමනය කිරීමට මැතිවරණයක් පැවැත්වීම හේතු වේවීද. ?

පිළිතුර – මැතිවරණයත් යම් හේතුවක් වේවි. හැබැයි පළාත් පාලන මැතිවරණයකින් පාලන වෙනසක් වෙන්නෙ නෑ. පාලන වෙනසක් වෙන්න නම් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි. පළාත් පාලන මැතිවරණය තමයි නීත්‍යානුකූලව මුලින්ම පැවැත්විය යුත්තෙ. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වරමක් නෑ දැන් රට පාලනය කරන්න.

ප්‍රශ්නය – ඉදිරියේදි පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වූවොත් ජනතාව තෝරාගත යුතු මාර්ගය මොකක් ද?

පිළිතුර – අපේ ජනතාව තමන්ගෙ නියෝජිතයන් තෝරගන්න යනව ඔවුන්ගේ වෙනත් ක්ෂේත්‍රවල හැකියාවන්ගෙන්. නළුවෙක් හෝ නිළියක් ආවොත් ඔවුන්ගෙ කතාබහට, හිනාවට, සින්දුවලට ඡන්දය දෙනව. එහෙම නැත්නම් පොළවල්වල තෙල් බෙහෙත් විකුණන තෙල් බෙහෙත් වෙළෙන්දන් වගේ ඉන්න ශූර කථිකයන්ට ඒ කථිකත්වය මත හිතල ඡන්දය දෙනව. එහෙම නැත්නම් ක්‍රීඩකයන්ට, හමුදා නිලධාරීන්ට ඡන්දය දෙනව. එහෙම නැත්නම් තාත්තලගේ හැකියාවන්ට පුත්තුන්ට, අම්මලගෙ හැකියාවන්ට දුවලට ඡන්දය දෙනව. එහෙම නැත්නම් කවුරුන් හෝ අයථා ක්‍රමයට මුදල් හොයාගෙන බෙදන්න පටන් ගත්තොත් ඒ බෙදන එකට ඡන්දය දෙනව.

එහෙම නෙමෙයි වෙන්න ඕන. අමත්‍යාංශවල කෙරුවාව සම්බන්ධයෙන් අත්දැකීම් තියෙන, කළමනාකාරීත්ව අත්දැකීම් තියෙන අයව යවන්න මහජනයා තීරණය නොකළහොත් මේ රට ඉදිරි දශකයේදීවත් ගොඩගන්න බැරිවෙයි.

ප්‍රශ්නය – ඔබ නිතරම කියන දෙයක් තමයි වෘත්තීයවේදීන්ට රට භාරදෙන්න ඕන කියන එක. එහෙම පිරිසකට රට භාරදුන්නොත් කොච්චර කාලයකින් රට ගොඩගන්න හැකිවේ යැයි ඔබට පුරෝකථනය කළ හැකි ද?

පිළිතුර – මම කියන්නෙ නෑ වෘත්තීයවේදීන්ට රට දෙන්න කියල. මොකද වෘත්තීයවේදීන් අතර ඉන්න විවිධාකාර අය. පිරිසක් ඉන්නව ඔවුන් පොතේ ගුරාල. තියරි, සිද්ධාන්ත ඉලක්ක ඔවුන් දන්නව. ගෝඨාභය මහත්තය මහ බැංකු අධිපති කරගත්ත ලක්ෂ්මන් මහත්තය එහෙම කෙනෙක්නෙ. ඒ වගේ අයට ප්‍රායෝගික මොනවත් කරගන්න බෑ. ඒ වගේම තව වෘත්තීයවේදීන් පිරිසක් ඉන්නව ඒ අය හොරු. අර්ජුන මහේන්ද්‍රන් ගත්තත්, අජිත් නිවාඩ් කබ්රාල් ගත්තත් එක ගණයට තමයි වැටෙන්නෙ. ශූර කථික වෘත්තීයවේදීන් පිරිසකුත් ඉන්නවා. නියම වෘත්තීයවේදීන් විදිහට මම කියන්නෙ කළමනාකාරීත්ව හැකියාවන් පෙන්නපු විශේෂයෙන් රාජ්‍ය අංශයේ කණ්ඩායමක්.

ප්‍රශ්නය – මේ අර්බුදයෙන් එළියට එන්න නම් ජාත්‍යන්රයෙන් අපට ලබාගන්න පුළුවන් ආදර්ශයක් කොතැනද තියෙන්නේ…?

පිළිතුර – පසුගිය කාලයෙ අර්බුදයට ලක්වෙච්ච රටවල් ගත්තොත් ග්‍රීසිය, ලෙබනනය, ආර්ජන්ටිනාව, අයිස්ලන්තය වගේ රටවල් බංකොළොත් වුණා. හැබැයි ඒ අතරින් ගොඩ ආපු එකම රට තමයි අයිස්ලන්තය. ඒ වගේම මූල්‍ය අර්බුදයකට ලක්වුණා ආසියාවේ රටවල් 97, 98 කාල සමයේ. ඒකෙදි තායිලන්තය වැනි රටවල් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සරණින් ගොඩවුණා. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහය නැතිව මැලේසියාව වගේ රටවල් ගොඩගියා. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අපිට ලැබෙයිද, ලැබුණත් අපිට ගොඩ එන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නය තියෙනව. මම හිතනවා සාර්ථක අත්දැකීම් ලබපු රටවල් හඳුනගෙන විශේෂයෙන් මහතීර් මොහොමඩ්ගේ 97,98 මැලේසියාවේ ක්‍රියාමාර්ගය අනුගමනය කිරීම වැදගත් කියල.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment