තවදුරටත් දුකසේ ජීවත්වීම

878

(අයවැය පිළිබඳ කුඩා අදහසකි)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පෙරේදා (14) අයවැය ලේඛනය ඉදිරිපත් කරන ලද අවස්ථාව මේ රටේ ආර්ථික ඉතිහාසයේ ඉතාම නරක අවස්ථාව බවට කිසිදු තර්කයක් නැත. ශ්‍රී ලංකාව ආර්ථික හපයක්ව තිබූ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහගේ දෑත් මතට කඩා වැටිණ. මීට දින එකසිය ගණනකට පෙර කඩා වැටුණු එම ආර්ථික උල්කාපාතය මේ රටේ දේශපාලනඥයකුට වැදුණු ලොකුම හෙණ ගුලිය බව අපි විශ්වාස කරමු. ඒ වෙලාවේදී රටේ භාණ්ඩාගාරය හිස්ව තිබිණ. ඩොලර් සංචිතය සම්පූර්ණයෙන්ම පරිහානියට පත්ව තිබූ බැවින් රට තුළ තෙල් පෝලිම් සහ ගෑස් පෝලිම් විශාල වශයෙන් හටගෙන තිබිණ. මේ කියන කාලයේදී බොහෝ පාරවල්වල ගමන් කළේ පාපැදි පමණි. පෙට්‍රල් සහ ඩීසල්වලින් දුවන සියලු වාහන එක්කෝ ගෙමිදුල්වලත් නොඑසේ නම් ෂෙඩ් එකේ වාහන පෝලිම්වලත් ගාල්කර තිබිණ. ඒ අතර භූමිතෙල් ලිප් ඇති පහළ මධ්‍යම පාන්තික ගෘහණියන් වැඩිදෙනා හිස් බූලි පාමුල තබාගෙන දින ගණන් භූමිතෙල් පෝලිම්වල ලැග සිටියහ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති තනතුරට පත්වීමෙන් සතියක් ඇතුළත භූමිතෙල් පෝලිම හැර සෙසු සියලුම පෝලිම් අතුරුදන් වූ බව අපි පිළිගනිමු. අද වනවිට භූමිතෙල් පෝලිම් කිසිසේත්ම නැත. එයට හේතුව පෙට්‍රල් ෂෙඩ්වල භූමිතෙල් කිසිසේත්ම නැති බැවිනි. හිස්වූ භාණ්ඩාගාරයක් ඇති රටක ජනතාවට කන්න දීම ලොකු ප්‍රශ්නයකි. එසේම එවැනි භාණ්ඩාගාරයකින් රටේ ඉන්ධන අවශ්‍යතා, බෙහෙත් අවශ්‍යතා යනාදිය පිරිමැසිය නොහැක. කෙසේ වුවද පැය 12 ක්ව තිබූ ලයිට් කැපිල්ල පැයක් හෝ දෙකක් දක්වා අඩුකර ගැනීමට ආණ්ඩුවට හැකි විය. ඒ අතර ජනාධිපති වික්‍රමසිංහ විසින් කුඩා හදිසි අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. ජනාධිපතිතුමා පෙරේදා ඉදිරිපත් කරන්නේ එම අයවැයේම විශාල ප්‍රක්ෂේපණයක් ලෙස ගත හැකි අලුත් අයවැයකි. එය මේ රටේ මුදල් ඇමැති වශයෙන් ඔහු ඉදිරිපත් කරන පළමුවන විධිමත් අයවැය වේ.

මේ අයවැය ලේඛනය ඉදිරිපත්වීමට පළමුව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය වැදගත් කතාවක් කීවේය. එනම් මේ අයවැය සුබසාධන අයවැයක් බවයි. ඇත්තටම අයවැයක් මගින් තවදුරටත් බඩු මිල නැංවීමට අවස්ථාවක් මේ රටට නැත. එබැවින්, පුද්ගල බදු, වක්‍ර බදු හොඳටම නැග තිබෙන මේ වෙලාවේදී හොඳටම අවශ්‍ය වන්නේ සුබසාධන අයවැයක්ම පමණි. අයවැය ලේඛනයේ ඇති යෝජනා රැසක් ගැන අප තුළ ප්‍රසාදයක් තිබේ. පාඩුවට දුවන ශ්‍රී ලංකන් ගුවන් සේවය වැනි ආයතන පුද්ගලික අංශයට ලබාදිය යුතුමය. රජයේ රෝහල්වලට ගෙවන වාට්ටු හඳුන්වාදිය යුතු නමුත් නොගෙවන වාට්ටුවල සිටින ජනයා නොසලකා නොහැරිය යුතුය. එසේම රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත්කිරීම ද ඉතා වටිනා යෝජනාවකි. එහෙත් 1972 දී බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව විසින් පිහිටුවන ලද අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවට හැර, කොමිසමෙන් වැරදිකරුවන් වන අය සඳහා නෛතික දඬුවම් පැනවීමේ බලයක් වෙනත් කිසිදු කොමිසමකට ලැබී නැත. මේ රටේ වර්තමාන කොමිෂන් සභා මගින් කෙරෙන්නේ නිර්දේශ ඉදිරිපත් කිරීම පමණි.

කිසියම් කාරණයක් වෙනුවෙන් කොමිෂන් සභාවක් පත්කරන ආණ්ඩුව රුපියල් කෝටි ගණන් වියදම් කර එම කොමිෂන් සභා පවත්වාගෙන ගොස් ඒවායේ නිර්දේශ විශාල පොත් වශයෙන් පිළියෙල කර අල්මාරිවල දමා වසා තබයි. මෙවර අයවැය යෝජනා අතර ඇති වැදගත්ම නිර්දේශයක් වන්නේ පොල් ඉඩම් කැබලි කිරීම තවදුරටත් සීමා කිරීම ය. මේ වනවිට මේ රටේ පොල් මිල රුපියල් 100, රුපියල් 110, රුපියල් 120 වැනි මිල ගණන් අතර දෝලනය වෙමින් පවතී. පොල් ඉඩම් ටික ඉඩම් වෙන්දේසිකාරයන් විසින් කා දමනු ලැබේ. මේ රටේ පොල් වතු වැඩිහරියක් මේ වනවිට නිවාස යෝජනා ක්‍රම බවට පත්වී තිබේ. පොල් ඉඩම් කැබලි කිරීම සීමා කිරීමෙන් ඉදිරියේදී යම්කිසි මෙහෙවරක් පොල් කර්මාන්තයට සිදුවනවා ඇත. ඒ අතර විදුලි මෝටර් කාර් සහ සූර්ය බලශක්තියට පහසුකම් සැපයීමට ගෙනවිත් තිබෙන යෝජනාව ද බෙහෙවින් අගනේය. ඛනිජ තෙල් මත යැපීමේ හැකියාව ඉතා වේගයෙන් ක්ෂය වෙමින් පවතී. දැනට රුපියල් 370 ක් වන පෙට්‍රල් ලීටරය තව අවුරුදු දහයකට පසු රුපියල් 2000 ක් පමණ වීමට ඉඩ තිබේ. එබැවින් බලශක්තිය සහ ප්‍රවාහනය වෙනුවෙන් ඛනිජ තෙල් නොවන විකල්ප මාර්ගවලට යෑම ආණ්ඩුව සතු බරපතළ වගකීමකි. මේ සියලුම කලබගෑනි අස්සේ මේ රටේ මිනිසුන් කෙසේ ජීවත් වන්නේද යන්න ගැනත් කල්පනා කරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලමු. බෙහෙත් මිල වැඩිවීම, ආහාර මිල වැඩිවීම, ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම යන කාරණා නිසා ශ්‍රී ලංකාව පසුගිය අවුරුද්දක පමණ කාලයක් තිස්සේ විඳින ලද දුක අදටත් එසේම පවතී. අප මුදල් ඇමැතිතුමා ද වන ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලන්නේ මේ රටේ ජනයාගේ ජීවන වියදමත් කෙසේ හෝ අඩුකර දෙන ලෙසය.

ශ්‍රී ලංකාව නමැති යන්ත්‍රය පසුගිය කාලයේදී නැවතී තිබිණ. එය ටිකෙන් ටික නැවත වතාවක් ස්ටාර්ට් වීමට පටන්ගෙන තිබේ. මෙෂින් එක හරියට දුවන තුරු අපේ කාලය දිගටම දුෂ්කරතා මධ්‍යයෙහි ගතවනු ඇත. මිනිස්සු දුකට පුරුදු වී ඇති බව අපි නොසිතිය යුතුය. දුකසේ ජීවත්වීම ඉතාම දුෂ්කර දෙයකි.

advertistmentadvertistment
advertistmentadvertistment