පිරිවෙන් අධ්‍යාපනයට සම්පූර්ණ වෙනසක් ඕනෑ – පිරිවෙන් අධ්‍යක්ෂ ජනරාල් කුඹල්ගොඩ ධම්මාලෝක හිමි

174

වත්මන් පිරිවෙන් අධ්‍යාපනය තුළින් ගුණ ගරුක භික්ෂුවක් බිහි කිරීමේ ගැටලුවක් පවතින බව පිරිවෙන් අධ්‍යක්ෂ ජනරාල් දර්ශන විශාරද කුඹල්ගොඩ ධම්මාලෝක හිමියෝ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසූහ.

එබැවින් වහාම පිරිවෙන් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය විය යුතු බව ද උන්වහන්සේ සඳහන් කළහ.

සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය හා සැසඳීමට යෑම නිසා මෙම තත්ත්වය උදා වී ඇතැයි ද පැවසූ උන්වහන්සේ ත්‍රිපිටකය, පාලි හා වෙනත් භාෂා පිළිබඳ දැනුම භික්ෂුන් වහන්සේ ගෙන් ගිලිහීයමින් ඇති බව ද පැවසූහ.

බුද්ධාගම දැනගැනීමට ඇති එකම භාෂාව පාලි භාෂාව බවත් එමගින් පිරිපුන් භික්ෂුවක් බිහි කළ හැකි බවත් උන්වහන්සේ සඳහන් කළහ.

පිරිවෙන් අධ්‍යාපන පනතේ සඳහන්ව ඇත්තේ පර්යාප්ති, පඨිපත්ත,ි පරිවේද යන කරුණු තුන සාක්ෂාත් කර ගතහැකි භික්ෂුවක් බිහි කළ යුතු බවය. එසේම ධර්මධර විනයධර සහ සිල්වත් භික්ෂුවක් බිහි කිරීමයි.

නමුත් එම අරමුණුවලින් ඈත්ව පාසල් අධ්‍යාපනයේ ඇති විෂයයන් හදාරා ඉන් ඉදිරියට යෑමේ අරමුණින් වර්තමානයේ භික්ෂූන් වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය හදාරන බව ද ධම්මාලෝක හිමියෝ සඳහන් කළහ.

බුදුන් වහන්සේගේ අධ්‍යාපන ක්‍රමය තුළ ඇත්තේ දෑතට ශිල්පයක් සහ මනසට ශාස්ත්‍රයක් විෂය ධාරාවකි. භාහුසච්චන්ච, සිප්පචං යන දේශනයෙන් බුදුන් වහන්සේ අර්ථ දක්වා ඇත්තේ ද එයයි.

ඉන් හොඳ ජීවන දර්ශනයක් පුද්ගලයකුට ලැබෙනවා. අනුරාධපුරය, පොළොන්නරුව, යුගවලදී ලංකාවේ තාක්ෂණය, විද්‍යාව, ගණිතය, තාරකා විද්‍යාව පවා ඉගැන්වූයේ පිරිවෙනෙහිය.

මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කර සෑදු පළමු ගොඩනැඟිල්ල නම් කළේ මහා කාල ප්‍රාසාද පිරිවෙන ලෙසය.

ඒ නිසා පිරිවෙන යනු අප රටේ ජාතික අධ්‍යාපනයේ මහගෙදරය.

පිරිවෙන් අධ්‍යාපනය කඩා වැටුණහොත් සමස්ත සමාජයම සහ අධ්‍යාපන ක්‍රමයට ම එය බලපානවා. එය පැහැදිලිව මේ වනවිට දැකගත හැකියි.

අනුරාධපුර යුගයේ සිට නුවර යුගය දක්වා ග්‍රන්ථාරූඪ කළ පොත් හැරුණු විට මිෂනාරි අධ්‍යාපන ක්‍රමයත් සමග බිහිවූ අධ්‍යාපන ක්‍රමය මගින් එවැනි පොත් බිහි වී නැහැ. ඒ නිසා වර්තමාන අධ්‍යාපන ක්‍රමය මගින් රටේ සාහිත්‍යකරණයක් බිහිවන්නේ නැහැ. ජාතක පොත, සද්ධර්ම රත්නාවලිය වැනි පොත් බිහිවන්නේ පන්සල තුළිනි. එවැනි පොත් වර්තමානයේ පන්සල තුළින් බිහි වන්නේ නැහැ. ඊට හේතු වී ඇත්තේ පවතින අධ්‍යාපන ක්‍රමය තුළින් හොඳ විද්වතුන් බිහි නොවීමයි යැයි ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment