රත්තරන් සබ්‍රි කම්ටුවලින් ඉවතට!

317

සජිත්ගෙන් යෝජනාවක්: කිරිඇල්ල ස්ථිර කරයි

මිලියන 80ක් වටිනා රත්‍රං ගෙනා ප්‍රංශ ජාතිකයකුට රුපියල් ලක්ෂ 700ක් දඩ නියම කරද්දී මිලියන 74ක් වටිනා රත්‍රං, ස්මාට් ෆෝන් ගෙනා මන්ත්‍රීට ලක්ෂ 75ක් පමණක් දඩ නියම කළේ කොහොමද?

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතාගේ පාර්ලිමේන්තු කාරක සභා නියෝජනය අත්හිටුවීම සඳහා විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ගෙන එන ලද යෝජනාවට ඊයේ පාර්ලිමේන්තුවේදී අනුමැතිය හිමිවිය.

අනවසරයෙන් රත්තරන් සහ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන රැගෙන ඒමට වරදකරුවකු බවට පත්වූ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා පාර්ලිමේන්තුවේ සියලුම කම්ටුවලින් නෙරපිය යුතු බවට වූ විශේෂ යෝජනාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (22 දා) ඉදිරිපත් කරන ලදී.

රහීම් මන්ත්‍රීවරයා රුපියල් මිලියන 74ක් වටිනා රත්‍රං ග්‍රෑම් 03.3ක් සහ රුලියල් මිලියන 04.2ක් වටිනා ස්මාට් ෆෝන් 91ක් නීති විරෝධී ලෙස ගෙන ඒම මන්ත්‍රීවරයකුට නොගැළපෙන විෂම ක්‍රියාවක් යැයි ද විපක්ෂනායක කීය.

එම වැරදි ක්‍රියාවන්ට මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ 75ක් පමණක් දඩ වශයෙන් අයකර ගෙන ඇති නමුත් එය ප්‍රමාණවත් නොවන බවත් කී ඒ මහතා මිලියන 80ක් වටිනා රත්‍රං ගෙනා ප්‍රංශ ජාතිකයකුට රුපියල් ලක්ෂ 700ක් දඩ අයකර ගෙන ඇතැයි ද කීය.

එබැවින් මන්ත්‍රීවරයාට ලිහිල් දඩයක් පණවා ඇතැයි පෙනී යන බවත් ඒ පිළිබඳව ද පරීක්ෂයක් කරන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා කථානායකගෙන් ඉල්ලා සිටියේය.

ඔහු පාර්ලිමේන්තුව තුළ සිටීමට සුදුසු අයකු නොවන බවත් ඉහත යෝජනාවෙන් නොනැවතී පාර්ලිමේන්තුවෙන් එළියට දැමීමට අවශ්‍ය යෝජනාව ද ගෙන ඒමට සූදානම් බවත් හෙතෙම මෙහිදී පැවසීය.

යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ස්ථිර කරනු ලැබීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment