ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් සොයන ශ්‍රී ලංකා හොකී පිල නම් කරයි

337

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමේ පිරිමි හොකී තරගාවලියට සහභාගී කරවන ශ්‍රී ලංකා ජාතික හොකී කණ්ඩායම ප්‍රකාශයට පත්කර තිබේ.

කොළඹ හත රීඩ් මාවතේ පිහිටි කෘතිම ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලද පුහුණු සංචිතයේ දී ප්‍රදර්ශනය කළ දක්ෂතා පදනම් කර ගනිමින් මෙම කණ්ඩායම නම් කිරීමට ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුව පියවර ගත්තේය.

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමේ පිරිමි තරගාවලිය මැයි මස 05 සිට 15 දක්වා තායිලන්තයේ බැංකොක් අගනුවර දී ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා සහභාගී වන රටවල් සංඛ්‍යාව 09 කි.

ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරෙන මූලික වටයේ දී ‘ඒ’ කාණ්ඩය යටතේ ඕමානය, තායිලන්තය, හොංකොං, උස්බෙකිස්ථානය සහ කසකස්ථානය යන රටවල් තරග බිමට අවතීර්ණ වන අතර ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, සිංගප්පූරුව සහ ඉන්දුනීසියාව යන රටවල් ‘බී’ කාණ්ඩය යටතේ තරග වදිති.

මෙවර තරගාවලිය තුළ පෙරමුණ ගන්නා රටවල් 06 කට මීළඟ ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා වරම් ලබා දීමට ආසියානු හොකී සම්මේලනය පියවර ගෙන තිබේ.

ක්‍රීඩකයින් සංඛ්‍යාව 18 දෙනෙකුගෙන් සැදුම්ලත් මෙවර ජාතික කණ්ඩායම මෙහෙය වීමේ වරම තරංග ඉරෝෂ් ගුණවර්ධන වෙත පවරා ඇති අතර තරිදු කුමාර හේන්දෙණිය උප නායකත්වයෙන් සහය වෙයි.

මෙවර කණ්ඩායමටද වැඩිම ක්‍රීඩකයින් සංඛ්‍යාව මාතලේ පුරවරයෙන් ඇතුළත්ව සිටීම කැපී පෙනේ. එම සංඛ්‍යාව 10 කි. සෙසු ක්‍රීඩකයින් පුත්තලම (05), කොළඹ (01), මාතර (01) සහ ගාල්ල (01) යන දිස්ත්‍රික්කවලින් හොකී ක්‍රීඩාවට අවතීර්ණ වූවෝ වෙති.

මාතලේ ක්‍රිස්තුදේව විදුහලේ ආදි ශිෂ්‍ය වන චතුරංග චන්ද්‍රසේන සහ සමීර වීරසූරිය, කොළඹ නාලන්ද විදුහලේ ආදි ශිෂ්‍ය බෝධික ඩයස්, ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලේ ආදී ශිෂ්‍ය ලක්ෂාන් සඳරුවන් සහ වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විදුහලේ ආදී ශිෂ්‍ය භාතිය ද අල්විස් මෙවර ජාතික කණ්ඩායමට එක්ව සිටින නවක ක්‍රීඩකයෝ වෙති.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට නායකත්වය දී ඇති ඩේමියන් නිලන්ත ද සිල්වා සහ සඳරුවන් ප්‍රියලංකා සුදුසිංහ මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීම ද කැපී පෙනෙන්නකි.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම

තරංග ඉරෝෂ් ගුණවර්ධන (නායක), තරිදු කුමාර හේන්දෙණිය (උප නායක), ධම්මික ප්‍රභාත් රණසිංහ, රජිත ඩිලාන් කුලතුංග, අනුරාධ සුරේෂ්, කුසල් හේෂාන් තිලකසිරි, චතුරංග චන්ද්‍රසේන, සඳරුවන් ප්‍රියලංකා සුදුසිංහ, ඩේමියන් නිලන්ත ද සිල්වා, සජිත් ශමින්ද කොස්තා, ශෙරාන් නිමංක ප්‍රනාන්දු, චමල්ක රුක්ෂාන් ප්‍රනාන්දු, ප්‍රමෝද උදයශාන් ප්‍රනාන්දු, විපුල් ධනුෂ්ක ප්‍රනාන්දු, භාතිය ද අල්විස්, ලක්ෂාන් සඳරුවන්, බෝධික ඩයස්, සමීර වීරසූරිය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment